ස්විස් එම්බසියේ ‘අත අත නෑර’
තමන් පැහැරගැනීමට ලක්වුණේ යයි ප්‍රකාශ කළ, ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය විසින් සිදුකර තිබෙන්නේ ව්‍යාජ ප්‍රකාශයක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අධිකරණයටත් පෙර තීන්දුව දෙන ලදී. එපමණක් නොව, මානසික තත්වය පිළිබඳ කරන ලද ඉල්ලීම් නොතකා එම කාන්තාවගෙන් ප්‍රශ්න දින තුනක් තුළ පැය 30ක් ප්‍රශ්න කළ ආකාරය ඉතා පැහැදිලිව ම මානසික වධහිංසනයකි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමග පළිගැනීමේ නව සංස්කෘතියක් පමණක් නොව, පැහැරගැනීම්, වධහිංසනයන්, පහරදීම් ආදිය නැවත ආරම්භ වී තිබෙන බව මේ වන විට සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ.
උදාහරණ කීපයක් දැක්විය හැකි ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ඇමතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මව්බිම පුවත්පතට කළ ප්‍රකාශයක් පහත රූපයේ දැක්වේ.
එසේම, පාඨලී චම්පික රණවකගේ අමාත්‍යාංශයේ වාහනයක් හදිසි අනතුරකට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මගින් දණ්ඩනයට ලක්කරන ලද රියදුරකුගේ බිරිඳ හා ළදරුවකු පොලිසිය විසින් පැහැරගෙන යාම හා නීති විරෝධී අන්දමින් සිරගත කර බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් සිදුකිරීම මේ වන විට අතටම හසු වී හමාර ය.
මේවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඍජු නියෝග මත සිදුවන බවක් අප කියන්නේ නැත. ඔහු බලයට පත්වීමත් සමග ඇති වී තිබෙන නව සංස්කෘතිය තුළ මෙවැනි ක්‍රියා සිදුකිරීමට දුෂ්ට බලවේගවලට උත්තේජනයක් ලැබී තිබෙන බව පෙනේ. ඒවා වැළැක්වීමට ජනාධිපතිවරයා පාර්ශ්වයෙන් යම් ප්‍රතිචාරයක් ලැබිය යුතු ය. තවම නම් එවැන්නක් සිදු වී තිබේ.
ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාව බොරු චෝදනාවක් සිදුකළා නම්, එසේ කළේ ඇයි ද යන්න පොලිසිය හා අධිකරණය කෙසේ වෙතත්, සමාජය විසින් සැලකිල්ලට ගත යුතුව තිබේ. මෙය කිසියම් මනෝ භ්‍රාන්තියක් ද? නැතිනම්, බටහිර රටවල් රවටා දේශපාලන රැකවරණ ලබාගැනීමේ ලාංකිකයන්ගේ පරණ පුරුදු කූට සෙල්ලමක නව ජවනිකාවක් ද?
මෙම කූට උපාය භාවිතා කරමින් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබාගත් බොහෝ අය සිටින අතර එක් වාමාංශිකයකු පිළිබඳ මා මීට කලින් ලිපියක විස්තර ලියුවේ මෙසේ ය:
කලක් මා ක්‍රියාකාරිකයකු වූ හිරු කණ්ඩායම සමග සම්බන්ධව සිටි එක්තරා ව්‍යාපාරිකයකු පවුල පිටින් විදේශගතවීම සඳහා අනුගමනය කළ උපායමාර්ගය මෙසේ ය: මෙම පුද්ගලයා ව්‍යාපාරික වශයෙන් අසාර්ථක වූයේ ය. දේශපාලන කණ්ඩායම සමග ද ගැටුම් ඇතිකරගත් ඔහු දේශපාලන කටයුතුවලින් ද ඈත් වී සිටියේ ය. මේ අතර, අප කණ්ඩායමේ අයෙකු සේවය කළ සන්නිවේදන ආයතනයක් හරහා යම් යම් කටයුතු කරගනිමින් මෙම පුද්ගලයා විදේශ රටවල ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කළේ ය. එය ද අසාර්ථක විය.
2007 වන විට මම හිරු කණ්ඩායමෙන් ඉවත් වී සිටියෙමි. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් පෙනී සිටීම නිසා ඒ වන විට හිරු කණ්ඩායම වෙත මර්දනය යොමුවෙමින් තිබිණි. ඒ සමග ම මෙම පුද්ගලයා නැවතත් හිරු කණ්ඩායම සමග සම්බන්ධ වූයේ ය. වෙබ් අඩවි සම්බන්ධ දේශපාලන කුමන්ත්‍රණවල ගෝඩ් ෆාදර් කෙනෙකු ලෙස හැඳින්වෙන පුද්ගලයකු සමග එක්ව වෙබ් අඩවියක සංස්කාරකවරයකු ලෙස ඔහු වැඩ කරන්නට පටන් ගත්තේ හිරු කණ්ඩායමේ නායකයාගේ මගපෙන්වීමෙනි. පසුගිය දිනවල ආන්දෝලනයට ලක් වූ ප්‍රසිද්ධ පරිවර්තකයකු ද මෙම වෙබ් අඩවියේ සේවය කළේ ය.
මේ අතර, එම වකවානුවේ නිතර නිතර මාධ්‍ය මර්දනයට එරෙහිව පැවති උද්ඝෝෂණවල ද මෙම පුද්ගලයා ඉදිරියෙන් ප්‍රදර්ශනය වන්නට පටන් ගත්තේ ය. ඔහු උද්ඝෝෂණවල යෙදී සිටින ඡායාරූප මාධ්‍යවල පළ විය. දේශපාලනය දෙස හැරීවත් නොබැලූ මොහුට සිදු වී ඇත්තේ කුමක්දැයි ඒ දිනවල අපට තේරුණේ නැත.
මොහු අප කණ්ඩායමට මීට පෙර සැලකූ අන්දම සම්බන්ධ සිදුවීමක් මට දැනුදු සිහිපත් වේ. අපගේ කණ්ඩායමේ සිටි නෙවිල් උදිත වීරසිංහගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ ඊට වසරකට පෙර ය. රාත්‍රියේ පැවැත්වුණු එම උත්සවයට සහභාගි වූ අප රාත්‍රිය නතර වීමට යාමට සිටියේ ඒ වන විට මෝදර සොල්දර ගෙදරක ඉහළ මාලයේ පැවැති අපගේ කාර්යාලය ලෙස ද භාවිතා කළ නිවසට ය. මෙම පුද්ගලයාගේ වෑන් රථය එහි පැමිණ තිබුණේ පිටුපස ආසන කිසියම් කාර්යයක් සඳහා ගලවා ය. අපි එහි පිටුපස බිම වාඩි වී පැමිණියෙමු. කොළඹින් උතුර දෙසට යාමට පැමිණි ඔහු රෑ දොළහට පමණ අප සියලු දෙනා කොටුවේ මග දමා යන්නට ගියේ ය. මෝදර පැත්තට කිලෝමීටර් හතරක පමණ දුර අපි පයින් ගියෙමු. ඔහුට කරන්නට තිබුණේ තමන් යන දිශාවට ම වෙනත් මාර්ගයක ගොස් අප අදාළ තැනින් බස්වා යළි මාර්ගයට යොමුවීමයි. එම කණ්ඩායමේ සිටි අය අතර ඒ වන විටත් යම් තර්ජනයන්ට ලක්වී සිටි භාෂණ ද කාන්තාවන් කිහිපදෙනෙකු ද සිටිය හ. අද පවා මගේ වාහනයෙන් හඳුනන හෝ නාඳුනන කෙනෙකුට ලිෆ්ට් එකක් දෙන විට මට මෙම සිදුවීම මතක් වේ. මා කිසි විටෙක පුද්ගලයකු අතරමග දමා යන්නේ නැත්තේ එම අත්දැකීම නිසා ය.
එම වෙබ් අඩවියට තර්ජන ඇති බවට වාර්තා එම වෙබ් අඩවියේ ම පළ විය. ඒ වන විට සක්‍රියව පැවති මාධ්‍ය සංවිධාන විසින් මාධ්‍ය මර්දනය පිළිබඳ වාර්තාවල එම වෙබ් අඩවියේ නම ද සඳහන් කරන ලදී. එය වනාහි මාධ්‍යවලට ඇත්තට ම තර්ජන ද තිබුණු, තිබුණාටත් වඩා තර්ජන ඇති බව මාධ්‍යකරුවන් හා මාධ්‍ය සංවිධාන විසින් ප්‍රචාරය කරන ලද සමයක් විය.
හදිසියේ ම මෙම වෙබ් අඩවිය වසා දමන ලදී. හේතුව ලෙස දක්වනු ලැබුවේ මර්දනය නිසා එය කළ නොහැකි බවයි. අපේ කතානායකවරයා රටින් පළා ගියේ ය. ටික කලකට පසු ඔහු ස්විට්සර්ලන්තයෙන් මතු වූයේ නිකම් නොව, මර්දනය හමුවේ පළා ආ ශ්‍රී ලාංකික ජනමාධ්‍යකරුවකු ලෙස ය. ශ්‍රී ලංකාවේදී චිත්‍ර ගුරුවරියක වූ ඔහුගේ බිරිය තර්ජන නිසා පළා එන්නට සිදු වූ මාධ්‍යකරුවකුගේ බිරිඳක් විසින් තම කටුක අත්දැකීම් ප්‍රකාශයට පත් කරන අන්දමේ චිත්‍ර ප්‍රදර්ශනයක් ද කළා ය.
මෙම දේශපාලන කණ්ඩායමෙහි නායකයා විසින් වරක් තම සමීප හිතවතකු වූ කතෝලික පූජකවරයකුගේ, දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නැති රස්තියාදුකාර ඥාති පුත්‍රයකුට දේශපාලන රැකවරණ ලබාදීම සඳහා ව්‍යාජ හිරු පුවත්පතක් සැලසුම් කර අදාළ අංශවලට ඉදිරිපත් කළේ ය. ඒ වන විට මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කොළඹ පැවැත්වුණු උද්ඝෝෂණවලදී ගන්නා ලද ඡායාරූපයකට දේශපාලන රැකවරණ අපේක්ෂා කළ පුද්ගලයාගේ ඡායාරූපයක් බද්ධ කර ව්‍යාජ ඡායාරූපයක් ද සැලසුම් කරන ලදී. ලාංකිකයන් බටහිර තානාපති කාර්යාල රවටන්නට පාවිච්චි කරන්නේ එවැනි කූටෝපායන් ය. මේවා පිළිබඳ ලංකාවේ රජය මෙන් ම, බටහිර තානාපති කාර්යාල ද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා මහ කොමසාරිස් කාර්යාලය වැනි ආයතන ද දැනුවත් කළ යුතු ය.
ආණ්ඩුව කරන ජන මර්දනවලට එරෙහිව සටන් කිරීම එකකි. එය පාවිච්චි කරමින්, රට හා ජනතාව පාවා දී දේශපාලන සරණාගතභාවයන් අපේක්ෂා කිරීම තවත් දෙයකි. අප මේ දෙකට ම විරුද්ධ ය.
කෙසේ වෙතත්, උපුටා පළ කර තිබෙන මෙම ලිපිය සමග පළවන ඡායාරූපය දෙස බලන්න. එයින් කියවෙන කතාව ඉතා වැදගත් ය. එහිදී එම කාන්තාවගේ අත අත නොහැර දැඩිව අල්ලාගෙන තිබෙන අත් බලන්න. ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ සේවිකාවක වූ නිසා ම ඇය වරදක් කර ඇතත්, නැතත්, ඇගේ අත මෙසේ අල්ලාගැනීමට එම තානාපති කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළ හ. මේ කාන්තාව නිසා ස්විස් තානාපති කාර්යාලය පමණක් නොව එරට රජය පවා රාජ්‍ය තාන්ත්‍රික දුෂ්කරතාවකට පත්වන්නට ඇත. එහෙත්, ඇය මේ මොහොතේ අසරණ ය. ඇය වරදක් කළා විය හැකි ය. එසේ නම්, වරද කරද්දී ඇයට අනුබල දුන් අයට ඇය ප්‍රතිවිපාකවලට මුහුණ දෙද්දී ඇය අතහැර නොයාමේ වගකීමක් තිබේ. ඔවුන් මේ කරන්නේ එය විය හැකි ය.
අපේ රටේ ආණ්ඩු, දේශපාලකයන්, නිලධාරීන් සහ සමාජයේ අධිපති බලවේග අපේ රටේ මිනිසුන්ගේ අත් මෙසේ අල්ලාගන්නට සමත් වන දවසක ලංකාවේ මිනිසුන් මෙන් ම රජයන් ද, වෙනත් රටවල රජයන් ද මෙවැනි තත්වයන්ට මුහුණ නොදෙනු ඇත. මේ රටේ මිනිසුන් ලද පළමු අවස්ථාවෙන් රටින් පළා යාමට කුරුමානම් අල්ලන්නන් බවට පත් නොවනු ඇත.