පොත්කාරයන්ගේ ඇත්ත: ‘පත්තර කන්තෝරුවේ පොත’ ටෙලිනළුව

අජිත් පැරකුම් ජයසිංහ

ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනියේ භාවතීර්ථ වැඩසටහන ඔස්සේ නැවත විකාශය වූ පැරණි ඒකාංගික ටෙලි නාට්‍යයක් වූ ‘පත්තර කන්තෝරුවේ පොත’ නම් සන්තුස ලියනගේ අධ්‍යක්ෂණය කළ. අතුල පීරිස් පිටපත ලියූ ඒකාංගික ටෙලිනාට්‍යය නැරඹුවෙමි. ටෙලි නාට්‍ය නරඹන්නේ නැති අයෙකු වන මට එය අපූරු නිර්මාණයක් යයි සිතිණි. එසේම, එය මා ද ඇතුළු ලේඛකයන්ගේ, ගුරුවරුන්ගේ හා ජනමාධ්‍යකරුවන්ගේ ජීවිතවල පොදු යථාර්ථයක් දෙසට ආලෝක ධාරාවක් යොමුකරන නිර්මාණයකි.
Translations by Creative Content Consultants
නිර්මාණයේ අපූරු චරිත නිර්මාණ තුනක් තිබේ. වැඩිහිටි, අවිවාහක, විදුහල්පතිවරයකු වන සෝමදාස, ඔහුගේ පාසලේ සිංහල ගුරුවරයා වන රණසිංහ සහ පුවත්පත් කලාවේදියකු වන කරුණාසේන එකී චරිත තුනයි. විදුහල්පතිවරයාගේ අවිවාහක නැගණියගේ සහ චිත්‍ර ගුරුවරයාගේ චරිත ද ටෙලිනාට්‍යය තුළ යම් සීමාවක් තුළ ගොඩනැගෙයි.
අවශේෂ චරිත නිර්මාණය කර තිබෙන්නේ සෝමදාසගේ චරිතය විවරණය කිරීම සඳහා ප්‍රමාණවත් වන දුරට පමණි. රණසිිංහ, කරුණාසේන වැනි චරිත ඉතා පැතලි අන්දමින් ගොඩනගා තිබෙන්නේ ඒ නිසා ය. එයින් නිර්මාණයට අඩුපාඩුවක් වන්නේ නැත.
සෝමදාස පොතක් ලියා පළ කරයි. එය ලිවීම සඳහා ඔහු දරණ වෙහෙස ටෙලිනාට්‍යයේ දැක්වෙන්නේ නැත. එහි දැක්වෙන්නේ ඔහු ඒ වෙනුවෙන් අච්චු කන්තෝරුවේ හා පත්තර කන්තෝරුවේ රස්තියාදු වන ආකාරයයි. පොත නිසා ඔහු අතින් පාසල් කටයුතු මගහැරෙන බව පෙනේ. පොතේ අන්තර්ගතය පිළිබඳ ඔහු කොතැනකවත් කතා කරන්නේ නැත. එය විශිෂ්ට අන්තර්ගතයක් බව ඔහු දැඩිව විශ්වාස කරන බව පෙනේ. පොතට යම් දිනෙක සම්මාන ලැබෙන ආකාරය ගැන ඔහු සිහින දකියි. එය ටෙලිනළුවේ සදය උපහාසයෙන් නිර්මිත මනරම් ජවනිකාවකි.
තනිවම පොත ලියා, තමන් ම එය පළ කරවාගෙන, තමන්ගේ පාසලේ ම දොරට වැඩුමක් ද පවත්වන සෝමදාස, තමන් විසින් ම ලියන ලද විචාරයක් රැගෙන කොළඹ ගොස් මාධ්‍යකරුවකු හා පැරණි හඳුනන පුද්ගලයකු වන කරුණාසේන හමුවන්නේ එය පුවත්පතේ පළ කරගැනීම සඳහා ය. කරුණාසේන එය පළ කර දෙන බව කියා ඔහු රවටයි. ටෙලිනළුවේ ප්‍රධාන නාට්‍යමය ජවනිකාව නිර්මාණය වන්නේ ලිපිය පුවත්පතේ පළ වන බවට බලාපොරොත්තු ඇති කරගෙන සෝමදාස හැසිරෙන ආකාරය තුළ ය. ඔහු පුවත්පතේ තමන් ගැන පළ වන බව ප්‍රචාරය කරයි. ගුරුවරුන්ට, පාසලේ ළමයින්ට හා ගම්වැසියන්ට පුවත්පත මිළ දී ගැනීමට කියයි. එහෙත්, සති දෙකකදී ම පුවත්පතේ මෙම ලිපිය පළවන්නේ නැත. මහත් කලකිරීමෙන්, ලජ්ජාවෙන් හා පසුතැවිල්ලෙන් යුතුව සෝමදාස ආපසු මාධ්‍යකරුවා මුණගැසීමට කොළඹ යයි. සෝමදාසට පෙනි පෙනී ම කරුණාසේන ඔහු රවටා මගහරියි. ආපසු එන අතර සෝමදාස රිය අනතුරකට මුහුණ දී මිය යයි.
ටෙලිනළුවේ ප්‍රධාන අඩුපාඩුව වන්නේ මෙම මනරම් නාට්‍යමය ජවනිකාව ඉසියුම් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට පිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා අසමත් වීමයි. උදාහරණයක් ලෙස, සති දෙකේ ම පත්තර සෝමදාස පෙරළා බලන ආකාරය දැක්වෙන රූප රාමු දෙකක් තිබේ. ඒ දෙකේ ම, සෝමදාස පත්තරය පෙරළා බලන්නේ එක වරක් ම පමණි. තමන්ට වැරදීමක් වෙන්නට ඇතැයි කියා දෙවෙනි පාරක් පෙරළා බලන්නට ඔහු පෙළඹෙන්නේ නැත්තේ ඇයි? ජවනිකා නිර්මාණයේ සියුම්කම තිබෙන්නේ මෙවැනි තැන්වල ය. ඒ ඉසියුම්කම තිබුණා නම්, මෙම නාට්‍යමය ජවනිකාව තවත් උපහාසාත්මකව, වඩා අපූර්ව නාට්‍යමය ආකාරයෙන් නිර්මාණය කිරීමේ හැකියාව නිර්මාණකරුවන්ට තිබිණි. ලංකාවේ බොහෝ ශ්‍රව්‍ය දෘෂ්‍ය කලාකරුවන් රූප රාමුවට, ශබ්දයට ලබාදෙන අවධානය කතාවට, තිරනාටකයට දෙන්නේ නැත. කතා කලාව සියුම් කලාවකි. එය සියලු කලාවන්ගේ මූලික පදනමකි.
ටෙලි නිර්මාණකරුවාගේ ප්‍රස්තුතය ඔහුට ම අදාළ වන තැන මෙයයි. කොටින් ම මෙතැන වනාහි ඔහු ම සෝමදාසකරණය වීමකි.
තවත් උදාහරණයක් කලා අධ්‍යක්ෂණය හා සම්බන්ධ ය. පැරණි ලෙටර්ප්‍රෙස් මුද්‍රණාලයක අපූරු රූප රාමු හසු කරගනිමින් මුද්‍රණය කරන පොත අවසානයේදී නවීන ඕෆ්සෙට් නිමාවකින් යුක්ත වූයේ කෙසේ ද? අපේ නිර්මාණකරුවන් මෙවැනි අලකලංචි කරගන්නා සෝමදාසලා වන්නේ ඇයි?
Translations
‘පත්තර කන්තෝරුවේ පොත’ ටෙලිනළුව කලාකරුවන් පිළිබඳ විශ්ව සත්‍යයක් නොවේ නම්, අඩු තරමේ ශ්‍රී ලංකාවේ යථාර්ථයවත් හෙළදරව් කරයි. කලාකරුවන්ට ස්වාධීනව පවතින්නට හා අව්‍යාජ අන්දමින් ප්‍රකාශනයේ යෙදෙන්නට නම්, පුළුල් කලාලෝලී සමාජයක් පැවතිය යුතු ය. එවැන්නක් ලංකාවේ නම් නැත. එහෙයින් අව්‍යාජ කලාවකට ලංකාව වැනි සමාජයන් තුළ පැවැත්මක් ඇත්තේ ම නැත. කලා සමාජයේ පවතින ගැටලුව හේතුවෙන් කලා නිර්මාණ කීර්තිය වැනි වෙනත් අරමුණු වෙනුවෙන් කරන වක්‍ර ජාවාරම් බවට පත් වේ. සම්මාන ජාවාරම් හා මාධ්‍ය ප්‍රචාරණය තුළ ඊනියා කලාකරුවන් අතරමං වේ. කීර්තිය, ජනාදරය, ප්‍රසිද්ධිය වැනි දේවලට බොහෝ මිනිසුන් කැමති ය. කලාකරුවකු වීම ඒ සඳහා එක් මාර්ගයකි. ඒ ඔස්සේ ඇතැම් අය ඒවා ලබාගනිති. ලබාගත් අය පසුව එය අහිමි වීම ගැන දුක්වෙති. නොලැබුණු අය නොලැබීමේ ශෝකයෙන් පීඩිත වෙති. අවසානයේදී බැලූ කල කලාව ඒ මිනිස් ආශාවන් සපුරාගැනීමේ මෙවලමක් බවට පත් වී තිබේ. පටු පරමාර්ථ හා වෙළඳපොළේ කටුක යථාර්ථයන් මැදින් සැබෑ කලාව සොයාගැනීම පහසු නැත.
පොත් ලිවීමට කැමති මෝඩයකු වන මට ද මෙවැනි මෝඩකම් ගැන කතා රැසක් තිබේ. ලේඛකයන් තමන්ගේ කතා අව්‍යාජව කියන්නට තරම් බය නැති සමාජයක් උදා වේ නම් ඇත්ත ප්‍රබන්ධයට වඩා කොයි තරම් රසවත් සාහිත්‍යයක් ද යන්න පැහැදිලි වනු ඇත.
ටෙලි නාට්‍යය මෙතනින් නරඹන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා