අලුත් රටක් හැදෙන බූගන්විල් කතාව

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 8 ලංකා පුුවත්පතෙහි පළ වේ

බූගන්විල් නම් එතරම් ප්‍රසිද්ධ නැති දූපත් රාජ්‍යයේ මේ දිනවල සිදුවන දේ ලංකාවට ද වැදගත් ය. මේ දිනවල එහි අලුත් රාජ්‍යයක් බිහිවෙමින් තිබේ.
Translations by Creative Content Consultants
බූගන්විල් යනු පැසිෆික් සාගරයේ ඔස්ට්‍රේලියාවට උතුරින් පැපුවා නිව්ගිනි වෙරළට කිලෝමීටර් 700ක් ගිනිකොනදිගින් සොලමන් මුහුදෙහි පිහිටි දූපත් රාජ්‍යයකි. එරටට එම නම ලැබෙන්නේ 18වන සියවසේ ප්‍රංශ දේශ ගවේෂකයකු වූ ලුවී ඩි බූගන්විල් නිසා ය. භූගෝලීය වැදගත්කම හේතුවෙන් පළමු සහ දෙවන ලෝක යුද්ධ දෙකට ම බූගන්විල් දූපත සම්බන්ධ ය. පළමු ලෝක යුද සමයේ ජර්මනිය බූගන්විල් අල්ලාගත් අතර, දෙවන ලෝක යුද සමයේදී ජපානය විසින් අල්ලාගන්නා ලදී. පසුව ඕස්ට්‍රේලියාව විසින් පාලනය කරන ලද මෙම කලාපයේ පැපුවා නිව්ගිනියට 1975දී ස්වාධීනත්වය හිමි විය.
පසුගිය නොවැම්බර් 23දා බූගන්විල්හි ආරම්භ වූ ජනමත විචාරණය දෙසැම්බර් 7දා දක්වා පැවැත්වේ. එම ජනමත විචාරණයේදී ජනතාව ඡන්දය දෙන්නේ වෙනම රාජ්‍යයක් පිහිටුවාගැනීමට කැමති ද නැද්ද යන කරුණ වෙනුවෙනි. දෙසැම්බර් 20 වන විට ප්‍රතිඵල ප්‍රකාශ වන මෙම ජනමත විචාරණය සම්බන්ධයෙන් නිරීක්ෂකයන්ගේ අදහස වන්නේ අති විශාල බහුතර ඡන්ද සංඛ්‍යාවකින් වෙන්වීම තහවුරු වනු ඇති බවයි. වෙන් වන්නේ පැපුවා නිව්ගිනි රාජ්‍යයෙනි. ඉන් අනතුරුව බූගන්විල් ලොව අලුත් ම රාජ්‍යය වනු ඇත.
මෙම ජනමත විචාරණය පැවැත්වෙන්නේ 1997 වසරේදී සටන් කරන පාර්ශ්ව අතර එළැඹි සාම ගිවිසුම යටතේ ය. පැපුවා නිව්ගිනි රජය මෙම ජනමත විචාරණය පැවැතවීමට එකඟ වූයේ 2001 වසරේදී ය. එම වසරේදී පළමු වරට පැපුවා නිව්ගිනි ස්වයං පාලනය පත් කරගන්නා ලදී. සාම ගිවිසුම අනුව, ස්වයං පාලනය පිහිටුවීමෙන් අවුරුදු 15-20 අතර කාලයකදී පවත්වනු ලබන ජනමත විචාරණයේදී ජනතාව වෙන්වීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහොත් පැපුවා නිව්ගිනි රාජ්‍යය නව බූගන්විල් රාජ්‍යය බිහිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කළ යුතු ය. දෙලක්ෂයකට මඳක් වැඩි ඡන්දදායකයන් ප්‍රමාණයක් ජනමත විචාරණයේදී ඡන්දය දීමට ලියාපදිංචි වී තිබේ. එහෙත්, මෙම ජනමත විචාරණය බැඳීම් රහිත එකකි. ජනමතය ක්‍රියාත්මක කිරීම පැපුවා නිව්ගිනියේ බලයට යටත් ය.
බූගන්විල් නිදහස් සටන පසුපස ටොන් බිලියන් ගණනක තඹ නිධියක් සහ රන් නිධියක් තිබේ. පැන්ගුනා පතල නමින් හැඳින්වෙන මෙම නිධිය පිහිටා තිබෙන්නේ දකුණු බූගන්විල්හි ය. බූගන්විල්හි කලක් සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයකු වන නිමල් සිරිපාල Praja.lk වෙබ් අඩවියට ලිපියක් ලියමින් මෙම අර්බුදයේ පසුබිම විස්තර කළේ ය. අප මෙම කරුණු උපුටාගන්නේ ඔහුගේ සටහනෙනි. එම ලිපිය මෙතැනින් >>
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ පතල් සමාගමක් වන රියෝ ටින්ටෝ අනුබද්ධ සමාගමක් ලෙස බූගන්විල් තඹ සමාගම විසින් 1976දී මෙම පතලෙහි මෙහෙයුම් ආරම්භ කරන ලදී. ඕස්ට්‍රේලියානු සමාගම විසින් පැපුවා නිව්ගිනි රජයට 20%ක හිමිකමක් ලබා දෙන ලදී. එමගින් පැපුවා නිව්ගිනි රජයේ ආර්ථිකය ශක්තිමත් විය. එක් වකවානුවකදී ශ්‍රී ලාංකික ගුරුවරුන්ට හා වෘත්තිකයන්ට පැපුවා නිව්ගිනි අගනුවර වන පෝට් මොස්බිහි රැකියා පවා ලැබිණි. එහෙත්, මේ ධනය නිෂ්පාදනය කළ බූගන්විල් වෙත එහි ප්‍රතිලාභ ලැබුණේ නැත. ඔවුන්ට පතල් කර්මාන්තයෙහි රැකියා හෝ ලැබුණේ ඉතා සුළු වශයෙනි.
ඉඩම් ප්‍රශ්නය හේතුවෙන් අර්බුදය තවත් තීව්‍ර විය. වෙනත් ආසියාතික රටවල මෙන් නොව, පැපුවා නිව්ගිනියේ ඉඩම්වලින් 97%ක් ම අයිති ජනතාවටයි. පැන්ගුනා කන්දෙහි තඹ නිධි සොයාගත් පසු රජය ඉඩම් හිමියන්ට ඉතා සුළු මුදලක් ගෙවා එම ඉඩම් ලබාගන්නා ලදී. එහෙත්, එම ඉඩම් ලබාගත් ආකාරය ද නීති විරෝධී ලෙස සැලකිණි. බූගන්විල් සම්ප්‍රදාය අනුව ඉඩම් අයිතිය මාතෘ මූලික ය. ඉඩම් අයිතිය යන්නේ මවගෙන් දුවට ය. මෙම ඉඩම්වල සත්‍ය උරුමකරුවන් වූ කාන්තාවෝ ඉඩම් කොල්ලයට විරුද්ධ වූ හ. එහෙත්, බූගන්විල් නායකයෝ එය නොතකා හැර සමාගම සමග ගිවිසුම් අත්සන් කර ඉඩම් ලබාදුන් හ.
පතල් කර්මාන්තය නිසා අසලින් ගලා ගිය ගංගාව ඇතුළු පරිසරය දූෂණය විය. එමගින් වැසියන්ගේ ජීවනෝපායට බලපෑම් ඇති විය. 1988දී පැන්ගුනා ඉඩම් හිමිකාර සංගමය නියෝජනය කළ වැඩිහිටි කාන්තාවකගේ නායකත්වයෙන් වන්දි හා ගිවිසුම නැවත සාකච්ඡා කිරීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් විය. සාකච්ඡා වට කීපයක් පැවැත්වුණමුත් අවසන් එකඟතාවකට එළැඹීමට බැරි විය.
ඉඩම් හිමි නායකයකු වූ ෆ්‍රැන්සිස් ඔනා පතලෙහි සේවය කර ඒ පිළිබඳ හොඳින් දැන සිටි අයෙකි. ඔහු සන්නද්ධ කණ්ඩායමක් බිහි කර පතල් කටයුතු අඩාල කිරීමට කටයුතු කළේ ය. පතලේ මෙහෙයුම්වලට එල්ල වූ ප්‍රධාන ම අභියෝගය වූයේ පතලට විදුලි සැපයුම අඩාල කිරීමයි. මෙම සාර්ථක ප්‍රහාරයෙන් පසු එම කණ්ඩායම බූගන්විල් විප්ලවීය හමුදාව ලෙස තමන් නම් කරගත්තේ ය. එම හමුදාවේ නායකත්වය ගත්තේ ආයුධ හා පිරිස් සමග පැපුවා නිව්ගිනි හමුදාවෙන් වෙන්ව ආ සෑම් කවුනා නම් නිලධාරියෙකි

ඕස්ට්‍රේලියාව සාම සාකච්ඡා ආරම්භ කළමුත් ඒවා සාර්ථක වූයේ නැත. එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ සටන් විරාමයකට එකඟතාවක් ඇති විය. එහෙත්, එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මුණ නොගැසුණු පැපුවා නිව්ගිනි හමුදාව බූගන්විල් වෙතින් ඉවත්ව ගියේ ය. බූගන්විල් නීතියක් නැති, පොලිසියක් නැති අරාජික ප්‍රදේශයක් බවට පත් විය. බූගන්විල් විප්ලවීය හමුදාවට ද තත්වය පාලනය කරගැනීමට බැරි විය. බොහෝ සටන්කාමී සංවිධාන බිහි විය. ඇතැම් ඒවා බිහි කරනු ලැබුවේ අපරාධකරුවන් විසිනි. මෙම තත්වයට මුහුණ දීම සඳහා බූගන්විල් ප්‍රතිරෝධක බලකාය නිර්මාණය කරන ලදී. සටන්කාමී කණ්ඩායම් අතර ගැටුම් පැනනැගිණි. කෙසේ වෙතත්, දැවැන්ත අර්බුදයක් නිර්මාණය විය. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ආදිය සුලබ විය. පැපුවා නිව්ගිනිය බූගන්විල් වෙත සම්බාධක පැනවී ය. කාන්තාවන් සහ ළමයින් දැඩි පීඩනයකට ලක් වූ අතර ආහාර හා බෙහෙත් හිඟ විය.
තත්වය උත්සන්න වෙද්දී උතුරු බූගන්විල් ජනතාව අතරින් පිරිසක් පැපුවා නිව්ගිනි හමුදාවට නැවත පැමිණෙන්නට ආරාධනා කළ හ. පැපුවා නිව්ගිනි හමුදාව බූගන්විල් ප්‍රතිරෝධක බලකායට සහාය දැක්වී ය. බූගන්විල් විප්ලවීය හමුදාව අනෙක් පැත්තෙන් සටන් කළේ ය. තත්වය දිනෙන් දින උග්‍ර විය. මේ අතර කාන්තාවෝ සාමය වෙනුවෙන් හඬ නැගූ හ. සාම සාකච්ඡා සඳහා නැවත දොරටු විවර වුණේ ඒ සමගයි.
බූගන්විල් රාජ්‍යයට ස්වාධීනත්වය ලැබුණ ද ඔවුන් යා යුතු දුර බොහෝ ය. රටේ ජනගහනයෙන් 90%ක් ජීවත් වන්නේ ග්‍රාමීයව ය. රටේ ජනගහනයෙන් අඩකට සාක්ෂරතාව නැත. මුළු රට ම ආවරණය කරන රූපවාහිනී, රේඩියෝ පමණක් නොව පුළුල්ව අලෙවි වන පුවත්පත් ද නැත. රටේ වැඩි භූමිභාගයකට විදුලි බලය ද නැත. රටේ නිල ආරක්ෂක හමුදාවක් නැත. පොලිසිය තවමත් නවසීලන්තය විසින් පුහුණු කරමින් තිබේ. බුකා හා අරවා ප්‍රධාන නගර වේ. දියුණු කර්මාන්ත නැත. රාජ්‍ය ආදායම් අවම ය. රජයට බදු එකතු කරගැනීමේ ලා ප්‍රමාණවත් ධාරිතාවක් නැත.
පැන්ගුනා ආකර කර්මාන්තය යළි ආරම්භ කිරීමට වුව, විනාශ වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක ආයෝජන අවශ්‍ය ය. ආයෝජන සමග වුව, නැවත කර්මාන්තය ආරම්භ කිරීමට වසර ගණනාවක් ගත වනු ඇත. සිවිල් යුද්ධයෙන් පසු ජන ජීවිතය නැවත ගොඩනැගීමේ දැවැන්ත අභියෝගය ද තිබේ. සාමය ස්ථාවර කරගැනීම වෙනුවෙන් ද සුවිසල් ප්‍රයත්නයක් අවශ්‍ය ය. ස්වයංව ප්‍රකාශයට පත් කරගත් රජෙකු විසින් අල්ලාගෙන සිටින මුදා නොගත් කලාපයක් තවමත් එරට තිබේ. මේ සියලු කණ්ඩායම් නව රාජ්‍ය සම්මුතියට එකඟ කරගත යුතු ය. ස්වයං පාලනය ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය පාලනයක් දක්වා වර්ධනය කරගැනීම පහසු නැත. මේ සියල්ලටමත් වඩා මූලික ගැටලුවක් වන්නේ පැපුවා නිව්ගිනිය කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇද්ද යන්නයි. මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵලය අනුව කටයුතු කිරීමට පැපුවා නිව්ගිනිය බැඳී නැත. කලාපීය බලවතා හා ආර්ථික හවුල්කරුවා වන ඕස්ට්‍රේලියාවේ ප්‍රතිචාරය ද වැදගත් ය. සෙසු ලෝක බලවතුන් ද නව බූගන්විල් රාජ්‍යය කෙරෙහි අවධානය යොමු කරමින් තිබේ.
මේ සියල්ල මැදින් ජනතාවකගේ නිදහස හා ස්වාධීනත්වය පිළිබඳ අපේක්ෂා දැල්වෙමින් තිබේ.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)