ලබන අවුරුද්දේ ට්‍රම්පච්චි ගෙදර යයි ද?

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 ලංකා පුවත්පතේ පළ විය

එක්සත් ජනපදයේ 45වන ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක්කර තිබෙනවා. එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ හෙවත් කොංග්‍රස් සභාවේ මණ්ඩල දෙකක් තිබෙනවා. ඒ අතරින් නියෝජිත සභාවේ ඡන්ද විමසීම් දෙකකට පසුව ඔහු දෝෂාභියෝගයට ලක්කරනු ලැබුවා. එම ඡන්ද දෙකේදී ට්‍රම්ප් බලය අපහරණය කළ බවට වූ වගන්තිය 237-197 ලෙස හා කොංග්‍රසයට බාධා කළ බවට වූ අනෙක් වගන්තිය ඡන්ද දෙකේදී 229-198 ලෙස ඡන්ද ලැබ සම්මත වුණා. ට්‍රම්ප් මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.
Translations by Creative Content Consultants
නියෝජිත සභාවේ බහුතර බලය තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. ට්‍රම්ප් අයත් වන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි. ඊළඟ අදියරේදී කොංග්‍රසයේ උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාවේ සහාය ලැබුණොත් ඔහු ධුරයෙන් ඉවත් කරනු ඇති. රාජ්‍ය ද්‍රෝහීත්වය, අල්ලස හා බරපතල අපරාධ හා වැරදි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක්කර දණ්ඩනයට ලක් කළ හැකි බව එක්සත් ජනපද ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එහෙත්, මෙම දෝෂාභියෝග ක්‍රියාවලිය අපරාධ විමර්ශනයකට වඩා දේශපාලන ක්‍රියාවලියක් බවට පත් වී තිබෙනවා.
මීට කලින් ජනාධිපතිවරුන් දෙදෙනෙකු මේ අන්දමින් දෝෂාභියෝගයට ලක්කර තිබෙනවා. ඒ තමයි, ඇන්ඩෘ ජොන්සන් සහ බිල් ක්ලින්ටන්. එක්සත් ජනපදයේ 17වන ජනාධිපතිවරයා වූ ඇන්ඩෘ ජොන්සන් 1868දී බරපතල අපරාධ සහ වැරදි සම්බන්ධයෙන් වගන්ති 11ක් යටතේ දෝෂාභියෝගයට ලක්කරනු ලැබුවා. 1998දී බිල් ක්ලින්ටන් දෝෂාභියෝගයට ලක්කරනු ලැබුවේ බොරු සාක්කි දීම හා යුක්තියට බාධා කිරීම යන චෝදනා යටතේයි.
ඓතිහාසික වෝටර්ගේට් අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති රිචඩ් නික්සන් දෝෂාභියෝගයට ලක්කිරීමට පෙර 1974දී ඔහු ඉල්ලා අස්වුණා. වෝටර්ගේට් කියන්නේ දේශපාලන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ හෝටලයක නමයි. එහිදී තමයි නික්සන්ගේ පළමු අපරාධකාරී ක්‍රියාවන් සැලසුම් වන්නේ. ඔහු ජනාධිපතිවරණයේදී තම ප්‍රතිවාදී අපේක්ෂකයාට හානි සිදුකිරීමේ අරමුණින් දුරකථන සංවාදවලට හොරෙන් සවන් දීමටත්, රහස්‍ය ලේඛන සොරකම් කිරීමටත් නිලධාරීන් යොදවා හසුවෙනවා. එය හෙළිකරන්නේ ඔත්තු සේවා නිලධාරීන් ඩිමොක්‍රටික් පක්ෂයේ කාර්යාලයට හොරෙන් ඇතුල් වූ බව දැනගත් ආරක්ෂක නිලධාරියකු විසිනුයි. ඔහු ධුරයෙන් ඉවත් වීම නිසා දෝෂාභියෝගයට ලක්කිරීම හා දණ්ඩනය පැණවීම නතර වෙනවා. ඔහුගෙන් පසු ජනාධිපති ධුරයේ වැඩ භාරගන්නා ජෙරල්ඩ් ෆෝඩ් නික්සන්ගේ සියලු අපරාධවලට ජනාධිපති සමාවක් ලබාදෙනවා.
ජනාධිපති ට්‍රම්ප්ට බලය අපහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ 2020 ජනාධිපතිවරණයේදී ඔහුට බාධාකාරී විය හැකි ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපති අපේක්ෂකයකු වන හිටපු උප ජනාධිපති ජෝ බිඩ්න් සහ ඔහුගේ පුත්‍ර හන්ටර් බිඩ්න් පිළිබඳ ඔවුන්ට හානිකර තොරතුරු සොයාගැනීම සඳහා යුක්රේනයට බලකිරීම සම්බන්ධයෙනුයි. ජනාධිපති බැරැක් ඔබාමා යටතේ 2009 සිට 2017 දක්වා ජෝ බිඩ්න් උප ජනාධිපති ධුරය දැරූ සමයේ හන්ටර් යුක්රේනයේ බලශක්ති සමාගමක රැකියාව කළා. බලපෑම් කිරීම සඳහා යුක්රේනයට එක්සත් ජනපද කොංග්‍රසය විසින් වෙන්කර තිබුණු ඩොලර් මිලියන 400ක යුද ආධාර අත්හිටුවීමට හා යුක්රේන ජනාධිපතිවරයාට ලබාදීමට නියමිතව තිබුණු ධවල මන්දිර ජනාධිපති හමුවක් අත්හිටුවීමට කටයුතු කළ බවට ට්‍රම්ප්ට චෝදනා එල්ල වෙනවා. මෙමගින් ට්‍රම්ප් තම තනතුර පෞද්ගලික දේශපාලන වාසි සඳහා භාවිතා කරමින් ජාතික ආරක්ෂාවට හානිකර ලෙස කටයුතු කළ බව ට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් චෝදනා කරනවා. මෙම යුද ආධාර යුක්රේනය පාවිච්චි කරන්නේ රුසියාව සමග ඇති අර්බුදය සම්බන්ධයෙනුයි.
මේ පිළිබඳ කොංග්‍රසය විසින් පවත්වන ලද විමර්ශනයට සහයෝගය දීම ප්‍රතික්ෂේප කිරීම තමයි ට්‍රම්ප්ට චෝදනා එල්ල වන අනෙක් ක්‍රියාව.
පසුගිය ජුලි 25දා යුක්රේනයට සපයන යුද ආධාර අත්හිටුවීමෙන් පසු, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිට දුරකථනයෙන් අමතා එක්සත් ජනපද හිටපු උප ජනාධිපති බිඩ්න්ගේ පුත්‍රයාට එරෙහිව තිබෙන දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටි බව හෙළිදරව් කළේ නම ප්‍රසිද්ධ නොවූ එක්සත් ජනපද බුද්ධි නිලධාරියෙකු විසිනුයි. එහිදී එම නිලධාරියා කටයුතු කළේ අකටයුතු නාදකයකු හෙවත් විස්ල්බ්ලෝවර් කෙනෙකු ලෙසයි. මේ පිළිබඳ පවත්වන ලද විමර්ශන ගණනාවකදී එක්සත් ජනපද රාජ්‍ය නිලධාරීන් රැසක් සාක්ෂි දුන්නා. එහෙත්, ට්‍රම්ප් පවසන්නේ තමන් හා යුක්රේන ජනාධිපතිවරයා අතර පැවැත්වුණු දුරකථන සංවාදයේ කිසිදු ගැටලුවක් නැති බවයි. ඩිමොක්‍රටික් පක්ෂය තමන් දඩයම් කිරීමට උත්සාහ කරන බව ඔහු ප්‍රති චෝදනා කරනවා.
මෙහිදී යුක්රේනය පැත්තෙන් කියන්නේ ජනාධිපතිවරුන් දෙදෙනා අතර දුරකථන සංවාදය සිදුවන විට යුද ආධාර අත්හිටුවීමට ට්‍රම්ප් ගන්නා ලද තීරණය සෙලෙන්සිකි දැන නොසිටි බවයි. එසේම, තමන්ට පීඩනයක් එල්ල නොවූ බව ද යුක්රේන ජනාධිපතිවරයා පවසනවා. එසේම, මෙම යුද ආධාර මුදල පසුව නිදහස් කර තිබෙනවා.
ජනවාරියේදී එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලයේදී විභාගයක් සිදුවෙනවා. එහිදී සෙනෙට් මන්ත්‍රීන් අතරින් තුනෙන් දෙකක බහුතරය ට්‍රම්ප්ට දඬුවම් කළ යුතු බවට ඡන්දය ප්‍රකාශ කළහොත්, ඔහු ධුරයෙන් පහකරනවා. තුනෙන් දෙකක ඡන්ද නොලැබුණොත් ට්‍රම්ප්ට දිගට ම ධුරයේ කටයුතු කළ හැකියි. සෙනෙට් සභාවේ බලය තිබෙන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයටයි.
එක්සත් ජනපද ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයකු ධුරයෙන් පහකිරීම සඳහා සෙනෙට් සභාවේ හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකේ බහුතර ඡන්දය ලැබී නැහැ. කලින් දෝෂාභියෝගයට ලක්කරන ලද ජනාධිපතිවරුන් දෙදෙනා වන ඇන්ඩෘ ජොන්සන් සහ බිල් ක්ලින්ටන් ද එයින් බේරුණා. මෙහිදී ඇන්ඩෘ ජොන්සන් බේරුණේ අනූනමයෙන්. ඔහුට එරෙහිව සෙනෙට් සභාවේ තුනෙන් දෙකේ බහුතරය අහිමි වුණේ එක් ඡන්දයකින්.
එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක්කර ධුරයෙන් නෙරපාහරිනු ලැබුවහොත්, ජනාධිපති ධුරයට පත්වන්නේ උප ජනාධිපතිවරයායි. මීළඟ ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන තෙක් උප ජනාධිපතිවරයා ජනාධිපති ධුරය දරනවා. ඒ අනුව, සමහර විට 60 හැවිරිදි මයික් පෙන්ස් මීළඟ එක්සත් ජනපද ජනාධිපති විය හැකියි.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)