ප්‍රේමදාසගේ අවතාරය සජිත්ගේ හෘදය සාක්ෂිය කළඹන හැටි

අජිත් පැරකුම් ජයසිංහ

අද පවත්වපු කතාවකදි සජිත් ප්‍රේමදාස කෙළෙහි ගුණ ගැන කතා කරනවා. චම්පික එයාගෙ කැම්පේන් එකට බැහැලම වැඩ කළ නිසා සජිත් ප්‍රේමදාස කෙළෙහි ගුණ අමතක කරන්නෙ නැහැ ය කියනවා. ඒ එක්ක මට කතාවක් මතක් වුණා.
Translations by Creative Content Consultants
සජිත් ප්‍රේමදාස අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ගෙදර ඇවිත්, නිදන් හාරන අරවා මේවා චෝදනාවන්ට ලක්වෙමින් ඉඳිද්දි හේමා ප්‍රේමදාස එක්කගෙන ගිහින් රනිල් වික්‍රමසිංහව මුණගස්වලා පක්ෂ සාමාජිකත්වය අරගෙන දෙනවා. ඒ වෙලාවෙ අම්මා පුතාගෙන් ඉල්ලා සිටි එක් දෙයක් තමයි කවදාවත් රනිල්ට විරුද්ධ වැඩ කරන්න එපා ය කියන එක. ඒකට හේතුව, දෝෂාභියෝගය වෙලාවෙ ලලිත්ලා, ගාමිණීලා ප්‍රේමදාසට එරෙහිව යද්දි රනිල් තමයි පක්ෂයේ නායකයාව බේරාගන්න මූලිකත්වය ගෙන වැඩ කළේ. ඒ සම්බන්ධයෙන් ආර්. ප්‍රේමදාසට රනිල් ගැන කෘතවේදිත්වයක් තිබුණ බව හේමා දන්නවා.
එක එක මිථ්‍යා විශ්වාසත් එක්ක රනිල් දැඩි ලෙසම විශ්වාස කළා එයාට මොන විදියකින් හරි රටේ ජනාධිපති වෙන්නට ලැබෙයි කියලා. ඒ නිසා තමයි ඔහු 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙදිත් අඩියක් පස්සට ගන්නෙ නැතුව සටන් කළේ. ඔහු බලාපොරොත්තු වුණා, පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය. හැබැයි, ඔහු පක්ෂය හරිහැටි සංවිධානය කරගන්නට සමත් වුණේ නැහැ. ඔහුගේ නායකත්වය තුළ ඔහුට සංවිධායකයන් එක්කවත් සමීප සම්බන්ධයක් නැහැ. ඔහුගේ මතය පක්ෂය තුළ මුල් බැසගෙනත් නැහැ. එජාප යල්පැනගිය ව්‍යවස්ථාවෙන් ලැබුණු බලයෙන් ගේම ගහන්නට පුළුවන් ය කියලා තමයි රනිල් හිතුවේ. ‍‍හැබැයි, රනිල්ට උදව් කරන්නට කවුරුවත් හිටියෙ නැති තරම්. ඔහු ඉදිරියට ගෙන ආ බොහෝදෙනෙකු රනිල් එක්ක ඇතිකරගත් පෞරුෂ ගැටලු නිසා අවසානයේදී ඔහුට විරුද්ධ වුණා.
එජාප ව්‍යවස්ථාව අනුව, ජේ.ආර්. ජයවර්ධන වගේ අතිශය ප්‍රබල පෞරුෂයක් තිබෙන චරිතයකට හැර පක්ෂය සාර්ථකව මෙහෙයවන්නට අමාරුයි. ප්‍රේමදාස, ලලිත්, ගාමිණී වැනි නායකයන්ගෙන් පස්සෙ ඇත්තට ම එජාපට ශක්තිමත් නායකත්වයක් බිහිවුණේ ම නැහැ. මේ නායකත්ව ගැටලුව ලංකාවේ සමාජ ගැටලුවක්. රනිල්ම පසුගිය කාලේ කොයි තරම් නායකයන් අතින් අල්ලන් පක්ෂයට ගෙනාවා ද? හැබැයි, ඔවුන් වෙතින් රනිල්ට උරුම වුණේ මිත්‍රද්‍රෝහිත්වය විතරයි. එක්සත් ජාතික පක්ෂයට ලැබුණෙ හීන පෞරුෂ ඇති, මුග්ධ, අමනයන් රොත්තක්. මොවුන් වැඩි දෙනෙකුට මහජන පිළිගැනීමක් නැත්තේ රනිල් නිසා නෙමෙයි. ඔවුන්ගේ ම ගැටලු නිසායි.
මේ අතර දිගින් දිගට ම පරාජය වෙමින්, අසාර්ථක වෙමින් සිටින එජාප පාක්ෂිකයන් හිතන්නේ මොකෙකු හරි ලවා රනිල් පන්නගත්තොත් තමන්ගෙ ගැටලුව විසඳෙයි කියලායි. ඒකට ලේසි ජොකියා සජිත්. තාත්තත් හිටපු ජනාධිපති කෙනෙකුනේ. මෑන් ලොසෙක් හෙවත් අසාර්ථක චරිතයක් ය කියන එක පාක්ෂිකයාට එච්චර අදාළ නැහැ. හේතුව, එජාප දෙවෙනි, තුන්වෙනි පෙළේ ඉන්නෙ තනිකර ම ලොසාලා ගොඩක්. උන් එක්ක ජේ.ආර්. වලෙන් නැගිටලා ආවත් එජාප ගොඩගන්නවා බොරු.
ඉදිරි අවුරුදු පහේ ජනාධිපතිකම කියන්නෙ දැවැන්ත අභියෝගයක්. ඒක සජිත්ට කරන්නට පුළුවන් වැඩක් නෙමෙයි. සජිත්ට තව ටිකක් ඉවසන්නට තිබුණා. කොහොමත් 2025 වෙනකොට රනිල් වයස නිසා එක්ස්පයර් වෙනවා. දැනුත් රනිල් ගොඩක් දුබලයි. සාර්ථක වෙන්නට හෝ අසාර්ථක වෙන්නට හෝ රනිල්ට මේ අවස්ථාව දෙන්නට තිබුණා. ඒක සජිත් ඩැහැගත්තා ය කියලා කිසිම වෙනසක් නොවුණ බව 2019 ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා.
ඒත්, සජිත්ගෙ මුග්ධකම් වෙනත් බලවේග දිගින් දිගට ම තමන්ගෙ වාසියට පාවිච්චි කළා. දේශපාලනික වශයෙන් නන්නත්තාර වෙච්ච බලවේග රැසක් ම සජිත්ගෙ කරපිටින් ගමනක් යන්නට සැලසුම් කළා. ඔවුන් සජිත් ඉදිරියට දමමින් දිගින් දිගට ම රනිල්ට පහර දුන්නා. අවසානයේදී රනිල් විනාශ ම කර දමමින් මේ වන විට ඔහුගේ පක්ෂ නායකත්වයත් ඩැහැගන්නට සූදානම් වෙමින් සිටිනවා.
සජිත්ට මෑතක් වනතුරු ම හෘදය සාක්ෂියේ ගැටලුව තිබුණු බව පෙනෙන්නට තිබුණා. ඒත්, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයෙන් ඔහුට තමන්ගේ ඇත්ත තත්වය මොකක්ද කියන එක තේරුණා. මේ වන විට සජිත් ඉන්නේ රනිල් එක්ක දැඩි ඉරිසියාවකින්. මේ සම්බන්ධකම මේ වන විට චම්පික රණවක – උදය ගම්මන්පිල සම්බන්ධකම මට්ටමට යමින් තිබෙනවා.
හැබැයි රනිල් තවමත් සජිත්ව විවේචනය කරන්නෙ නැහැ. සජිත්ට සාපේක්ෂව රනිල් තවමත් කොලිටි. සජිත් කියන්නෙ දුෂ්කර වෙලාවක තමන්ගෙ තාත්තාව බේරගන්න ඉදිරිපත් වුණ මිනිහගෙ ඔලුවටත් අත හෝදපු කෙනෙක්. සජිත් කියන්නෙ රනිල් ළඟ තවමත් ඇඹරෙන දුබලයෙක්. තමන්ගෙ හෘදය සාක්ෂියේ ගැටලුව නිසා තමයි සජිත්ගෙ කටින් කෙළෙහි ගුණ කතාව පනින්නෙ. හේතුව, තමන් කෙළෙහි ගුණ නොදත්, මිය ගිය පියාට පමණක් නොවෙයි, මවටත් පිටුපෑ අයෙකු බව සජිත් දන්නවා. සජිත් විතරක් නෙමෙයි, ඔහු සමග එකතුව රනිල්ට පහර දෙන හුඟක් අය රනිල් ළඟට කිට්ටුවෙන්න තරම්වත් පෞරුෂයක් නැති අය.
සජිත් රනිල්ව පරාජය කරයි. එජාප නායකත්වයත් පැහැරගනියි. රනිල් බලාපොරොත්තු සුන්වුණ මහළු මිනිහෙක්. ඒ නිසා ඒක දෙන එක ඔහුට එච්චර අමාරු නැහැ. පරිණතකම නිසා රනිල් තමන්ගෙ දුක මැඩගෙන වෘත්තිකභාවයෙන් යුතුව තත්වයන් කළමනාකරණය කරගන්නට දන්නවා. මේ මොහොතෙ රනිල් ප්‍රමාද වෙන්නට එකම හේතුව ඔහු සමග ඉතිරි වුණ ඔහුට පක්ෂපාතී ඉතා සුළු පිරිස සජිත්ගේ සහ තිස්ස අත්තනායක වැනි පක්ෂය රාජපක්ෂලාට පාවා දුන් අයගේ ප්‍රහාරයෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයයි.
තමන්ගෙ නායකයාට ව්‍යාජ හේතු මත වෛර කරන්නට පුළුවන් වයසින් හා ගුණධර්මවලින් බාල පිරිසකට නායකයා විනාශ කරන එක පහසුවෙන් කරන්නට පුළුවන්. හැබැයි කවදාවත් සජිත්ට රනිල් අහලකටවත් යන්න බැරිවෙයි. ඒකට හේතුව මොන අඩුපාඩු තිබුණත් රනිල් ගාව යම් වැදගත්කමක් තිබෙනවා. සජිත් හෝ සජිත්ගේ අනුගාමිකයන් වැඩිදෙනෙකු ළඟ නැත්තෙ ඒක.
සජිත්ගේ හෘද සාක්ෂියේ ගැටලුවත් එක්ක ආර්. ප්‍රේමදාසගේ අවතාරය සජිත් පසුපස එනවා. සජිත්ට ඒකෙන් බේරෙන්න බැහැ. සජිත්ගේ අනාගතය මානසික වියවුලක්. ඒක පතුලක් නොපෙනෙන අඳුරු අගාධයක් විය හැකියි.
දේශපාලනය කියන්නෙ ආදරය නැති තැනක් නෙමෙයි. ආදරය නැතිකම නිසා මිනිසුන් විඳවන තැනක්. ආදරය නැති දේශපාලනය ලොකු පශ්චාත්තාපයක්. දේශපාලනය තුළට නැවත ආදරය ගෙන එන්නට ඕනැ. වාමාංශික ව්‍යාපාරයේ වගේ ම එක්සත් ජාතික පක්ෂයේත් අර්බුදය තියෙන්නෙ ඔතන. පසුගාමී, ම්ලේච්ඡත්වයට ආසන්න පිරිසක් වුණාට පොහොට්ටුකාරයන් ළඟ ප්‍රාථමික තිරිසන් ආදරයක් හෝ තියෙනවා. මහින්ද කියන්නෙ ඒ වගේ බොළඳ, ප්‍රාථමික ආදර වස්තුවක්. සතුරාගෙන් අප බොහෝ දේ උගත යුතුයි.
මං මේ කියපු කතාවත් එක්ක අර උඩ තියෙන පිංතූරය කියවාගන්න.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)