සුරාව, ලාලකාන්තය සහ නීතිය

මාංශ භක්ෂකයා කියන වචනෙට carnivore කියනවා වගේ පලතුරු පමණක් කන්නා කියන එකට fruigivore කියනවා. මත්වීම කියන එක ලෝකයට ආවෙ මේ පලතුරු භක්ෂණයෙන් විය හැකියි. අධික ලෙස ඉදුණු පලතුරු ස්වාභාවිකව ම පැසවා කුරුල්ලන් හා සතුන් මත් කළ හැකි තත්වයට පත් වෙනවා. හැබැයි ඒවායේ මත්පැන් සාන්ද්‍රණය බෙහෙවින් අඩුයි. 4-5% මත්පැන් සාන්ද්‍රණය තියෙන බීර ගොඩක් බොන්න ඕනැනෙ මත්වෙන්න. ඒ වගේ තමයි මේ පැසීමට ලක් වුණ පලතුරු පරිභෝජනයත්.
මිනිහා මත් වීම ආරම්භ කළේ එවැනි අහම්බයකින් වන්නට ඇත. ඒ වසර 10,000කට පමණ පෙර යයි විශ්වාස කෙරේ. එහෙත්, ක්‍රිස්තු පූර්ව 8,000කට පමණ පෙර කෘෂිකර්මාන්තය ආරම්භ කිරීමට පෙර වනයෙන් ආහාර රැස්කිරීම පමණක් කළ මිනිසාට විශාල ප්‍රමාණයෙන් පලතුරු හෝ ධාන්‍ය හෝ පැසවා මත්පැන් නිෂ්පාදනය කරගත හැකි තරම් අතිරික්ත භෝග සොයා ගන්නට බැරි වන්නට ඇත. මන්ද, වයින් නිපදවීමට පලතුරු විශාල ප්‍රමාණයක් ද, බීර නිපදවීමට ධාන්‍ය විශාල ප්‍රමාණයක් ද අවශ්‍ය වන බැවිනි. ක්‍රිස්තු පූර්ව 6000දී පමණ මෙසපොටේමියාවේ බීර නිෂ්පාදනය සිදු වූ බවට පුරා විද්‍යා සාක්ෂි ලැබී තිබේ.
Sinhala Tamil English Translations and Content Writing
එහෙත් මේ වන විට මිනිසා 30%ට වැඩි අධික සාන්ද්‍රණයකින් යුත් ආසවනය කරන ලද මත්පැන්වලට පමණක් නොව වෙනස් ආකාරවල මත්ද්‍රව්‍යවලට ද ලොල් වී සිටියි. මත්පැන් ආසවනයේ ඉතිහාසය ඉතා කෙටි ය. එය ආරම්භ වී තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 700දී පමණ මැදපෙරදිග හා චීනයේ ය. ඇල්කොහොල් යන වචනයේ ද නිරුක්තිය අරාබි භාෂාවෙනි.
සුරා පානය හෙවත් සෝම පානය පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ මෙන් ම වෛදික සාහිත්‍යයේ ද සඳහන් වේ. බුදුන් ජීවත් වූ යුගය වන විට ද මත්පැන් පානය පැවතිණි. දෙව්දත්, බුදුන් ඝාතනය කරන්නට එවූ නාලාගිරි ඇතාට පොවා එවා තිබුණේ රා කල සොළසකැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ජේසුතුමන් ද වතුර වයින් කළ කතාවක් තිබේ.
සිංහල පැරණි සාහිත්‍යයේ සුරා පානය ගැන සඳහන් වේ. නිදසුනක් ලෙස, ගුත්තිල කාව්‍යයේ සඳහන් කවියක් මෙසේයි.
රැගත් සුරා පිරූ විතින් සුරත් තඹුරු පෙති සෙ නෙතින් පුවත් නොදැන බමන ගතින් නටත් අයෙක් සුරා මතින්
රොබට් නොක්ස්ගේ සටහන්වල ද සුරා පානය ගැන දැක්වේ. අතීතයේ ලාංකිකයන්ගේ සුරා කිතුල්, පොල් රාවලට සීමා වන්නට ඇති. මත්පැන් ආසවනය අප ඉගෙන ගත්තේ බටහිරින් ය කියා සිතුවත්, ආයුර්වේදයේ ආසවනය තිබුණු බවත්, අරිෂ්ඨ වැනි එතනෝල් ඇල්කොහොල් පාදක ඖෂධ වර්ග භාවිතාවේ තිබෙන්නට ඇති බවත් සිතිය හැකියි. කෙසේ වෙතත්, මත්පැන් පෙරීම හා අලෙවිය කර්මාන්තයක් ලෙස ලංකාවේ සංවර්ධනය වුණේ ඉංග්‍රීසි යටත් විජිත සමයේ ය.
මත්පැන් පානය මේ වන විට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරී හමාරයි. එය ලංකාවේ සංස්කෘතිකාංගයකි. සංස්කෘතිය යනු භාවිතාවක් මිස පරිකල්පනයක් නොවේ. වැඩියෙන් ම මත්පැන් පානයේ යෙදෙන්නේ පිරිමින් ය. 1955 සිට ලංකාවේ ක්‍රියාත්මක නීතියක් අනුව ඉතා පැහැදිලිව ම කාන්තාවන්ට වෙනස් අන්දමින් සැලකීමක් සිදු වේ. එය වෙනස් කිරීමේ වැදගත්කම ඇත්තේ කාන්තා අයිතිවාසිකම් පැත්තෙන් මිසක් මත්පැන් පානය පැත්තෙන් නොවෙයි.
මත්පැන් යනු ඉතා පරිස්සමින් පරිහරණය කළ යුතු දෙයකි. එය නිසා ඇති වන අයහපත් ප්‍රතිඵල බොහොමයි. ලංකාවේ කාන්තාවන් අතර මත්පැන් බීම ප්‍රචලිත නො වීම නිසා කාන්තාවන් අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ අතර කාන්තාවන්ගේ උපතේදී ආයු අපේක්ෂාව පිරිමින්ට වඩා අවුරුදු හයකටත් වඩා වැඩි වෙන එකත් තිබේ. 
මත්පැන් ඇබ්බැහිකාරකයකි. ඇබ්බැහි කිරීම තේ, කෝපි පමණක් නොව බත් වැනි ආහාර විසින් ද ඇති කරයි. ලංකාවේ අප හුඟදෙනෙකුට බත් නැතුව බැරි ය. සීනි, ලුණු වැනි ඇබ්බැහි වීම් විසින් ඇති කරන සෞඛ්‍ය ගැටලු මත්පැන්වලින් ඇබ්බැහියෙන් ඇති වන ගැටලු තරම් ම භයානකයි.
එහෙත්, සීනිවලින් මෙන් නොව, මත්පැන්වලින් රජය අධික ලෙස බදු අය කරයි. සමස්ත කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියම සඳහා ඒ කාලයේ ගිය වියදම රු. කෝටි 845කි. දැන් එමෙන් පස්ගුණයකවත් සුරාබදු ආදායමක් රජය වාර්ෂිකව මත්පැන්වලින් උපයා ගනියි. ඒ නිසා ලංකාවේ සුරා පානය අධික වියදම්කාරී වැඩකි. එය අධික ලාභදායී ව්‍යාපාරයක් ද වන නිසා බාල හා ව්‍යාජ නිෂ්පාදන ද වෙළඳපොළ ආක්‍රමණය කරයි. එයින් සෞඛ්‍ය ගැටලු තවත් උග්‍ර වේ. ලාභ මත්පැන් පානයට පෙළඹෙන දිළිඳු ජනකොටස් අතර තමයි මේ ගැටලු වැඩි වෙන්නේ. අනෙක් පැත්තෙන් මෙම පිරිස අතර විනෝදාස්වාද භාවිතාව ද ආර්ථික හේතු මත මත්පැන්වලට සීමා වන නිසා ඔවුන් අතර සමාජ ගැටලු බොහොමයි.
හාල්වලින් සීනිවලින් පෙට්‍රල්වලින් බදු ගසන්නා වාගේ නොව අරක්කුවලින් හිටගෙන බදු ගැසිය හැකිය. එසේ බදු අය කිරීමට පක්ෂව ඡන්දෙ දීම පිණිස බණ කීමට හාමුදුරුවරු ද, එකී බණ ඇසීමට පීඩිත උපාසකම්මලා ද ඕනෑ තරම් සිටිති. උන්ගේ මිනිස්සු ඔය බණ නොඅසා බණ ගෙවල්වල එළියේ කාඩ්, කැරම් ගසති. පෝය දාට කඩමණ්ඩියේ රස්තියාදු ගසති. දවසේ වැටුප හා සම වන රුපියල් හයසීයක් පමණ ගෙවා අරක්කු ගන්නට සල්ලි නැති වූ විට අඩු මිළට දෙන හැලි අරක්කු ගසා අබල දුබලව ඉක්මණින් මැරෙති. ආණ්ඩුවේ හයිය අරගෙන ගෙවල් ඇතුළේ මතට තිත තියන්නට යන අසරණ ගෑනු මේ බේබද්දන්ගෙන් වැඩියෙන් ගුටි කති. 
කොයි හාමුදුරුවන් අකැමැති වුණත් මත්පැන් අපේ සංස්කෘතියේ අංගයකි. බොන ගමන් ම එය වැරදි වැඩක් යයි සිතීම ද, ගැහැනුන්ට වඩා පිරිමි මත්පැන් බීම ද අපේ සංස්කෘතියේ හැටියයි. මත්පැන්, මත්ද්‍රව්‍යවලට උග්‍ර ලෙස විරුද්ධ බව කියන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේනගේ නමින් ද බාර් ලයිසන් තිබේ. සංස්කෘතිය යනු භාවිතාවෙන් හඳුනාගත හැකි දෙයක් මිස කාගේවත් හිස් කුහර තුළ නිර්මානය වූ මනස්ගාතයක් නොවේ. 
ගැහැනුන්ට වඩා පිරිමි බොති. බොන මිනිහාට වඩා නොබොන එකා හොඳ යයි ඔප්පු කළ හැකි කිසිවෙක් මේ සමාජයේ නොවෙති. හොඳ වුවත්, නරක වුවත් අතීතයේ පටන් අපේ රටේ මිනිස්සු ද මත්පැන් පානය කළහ. මත්පැන් බීමෙන් සමාජ විනය නැති වේ යයි කීව ද වර්තමාන සමාජයේ දරුණු ම අපරාධ වන මිනිස් සංහාර හා මහජන දේපල මංකොල්ලකෑම් මෙහෙයවන්නෝ රා, අරක්කු පොදක්, දුම්වැටියක්, බුලත් විටක්වත් තොල නොගාන බව කියන්නෝ ය. බිව්වත්, නොබිව්වත් තමන් අත ඇති සැරයටිය වන වනා යාමේ නිදහස අනෙකාගේ නැහැ තුඩ ළඟින් අවසන් වන බව සමාජ සම්මතයයි. ඒ සම්මතයන් බිඳින අය වෙනුවෙන් නීති හා නිති ක්‍රියාත්මක කරන ආයතන තිබේ.
බීමතින් රිය පැදවීම දඬුවම් ලැබීමට සිදු වන වරදකි. ජවිපෙ ලාල් කාන්තට ද නීතිය පොදු ය. ලාල්ගේ දේශපාලන පක්ෂය කලෙක මත්පැනින් වැළකීම සීලයක් ලෙස ආරක්ෂා කළේ ය. පක්ෂය පොදු ජනයාගේ සංස්කෘතියට ඉහළින් තිබෙන පූජනීය එකක් බවට පත් කළේ ය. එයින් ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ලොකු බලයක් නැත. දැන් එම පක්ෂය වෙනස් වෙමින් වඩ වඩා පොදු ජන සංස්කෘතියට ළංවෙමින් තිබෙයි. කලින් විජිත හේරත් සහ දැන් ලාල් කාන්ත අතින් සිදු වූ බව කියන නීතිමය වැරදි පක්ෂ සදාචාරය සමග දැඩිව නොපැටලෙන ස්ථානයක් කරා ජවිපෙ වර්ධනය වෙමින් සිටියි. එය සාධනීය ලක්ෂණයකි. වාහනය හැප්පීම සම්බන්ධයෙන් ලාල් කාන්ත දඬුවම් විඳිය යුතු ය. එහෙත්, පක්ෂ කතිකාව යථාර්ථය සමග හැප්පීම දේශපාලනික ය. කෙසේ වෙතත්, මත්පැන් යනු පරිස්සමෙන්, පමණ දැන පානය කළ යුතු දෙයකි. මත්පැන් පමණක් නොව, අනෙකුත් කොයි දේත් එහෙම ය.
(පැරණි ස්කාගාරවල චිත්‍ර උපුටාගත්තේ මෙතැනිනි. sirimunasiha.wordpress.com)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා