සේපාල් අමරසිංහ හා ICCPR පනත


 

අජිත් පැරකුම් ජයසිංහ

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කර ප‍්‍ර‍වර්ධනය කිරීම සඳහා වන ජාත්‍යන්තර බැඳීම්වලට යටත් වෙමින් ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වෙනි දින සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අත්සන් කළේ ය.

කේන්ද්‍රීය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සනාථ කිරිම සඳහා නීති සම්පාදනය කරමින් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත බලාත්මක කරන ලදී.

2019 ජුනි මස සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඥානරතන හිමි විසින් දියකෙළිනාව කිත්සිරිමෙවන් රජමහා විහාරයේ විසිඑක් රියන් සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවයෙන් පසු පවත්වන ලද කතාවේදී මෙසේ පැවසීය: “ඔය වගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නැහැ. උපාසකම්මලා වගයක් කිව්වා ගල් ගහලා මරන්න ඕනේ කියලා. මම එහෙම කියන්නේ නෑ. නමුත් කළ යුත්තේ ඒක තමයි.” ඔහු එසේ පැවසුවේ දොස්තර ශාෆි සම්බන්ධයෙනි. දොස්තර ශාෆි සිදුවීම ද්වේෂ සහගත අයුරින් නිර්මාණය කරන ලද බොරුවක් බව දැන් ඔප්පු වී හමාරය.

මුස්ලිම් වෙළඳාම් වර්ජනය කළ යුතු බව කියමින් අස්ගිරි නාහිමි එදා පැවසුවේ “මමත් කියනවා මුස්ලිම් කඩවලට යන්න එපා. ඒ කඩවලින් කන්න බොන්න එපා,” කියා ය.

මෙම ප්‍රකාශ ඉතා පැහැදිලිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන වැරදි යටතට වැටේ. මෙම පනත අනුව, කිසිදු පුද්ගලයකු යුද්ධය හෝ ජාතික, වාර්ගික, ආගමික වෛරය හෝ වෙනස්කම් කිරීමකට, එදිරිවාදිත්වයට හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් ඇති වන පරිදි ප්‍රචාරය නොකළ යුතු ය.

නීතිය ඉදිරියේ සියල්ලන් ම සමාන මුත් ලංකාවේ පවතින තත්වය තුළ භික්ෂූන් නීතිය ඉදිරියේ වැඩිපුර සමාන ය. මහනායක හිමි කිව්වා ම උපරිම සමාන ය. ඒ නිසා ලංකාවේ පොලිසියට හෝ දේශපාලකයන්ට හෝ කිසිවක් කරන්නට බැරි ය.

එහෙත්, කෙටිකතාවක යශෝධරා චරිතය හෝ භික්ෂු සම්බන්ධතා හෝ සම්බන්ධයෙන් සමාජයේ පවත්නා පිළිගැනීම්වලට පටහැණි කතාවක් ලියූ ශක්තික සත්කුමාර නම් ලේඛකයා දිගුකලක් රිමාන්ඩ් භාරයේ සිටියේය.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත අනුව, කිසිදු පුද්ගලයකු යුද්ධය හෝ ජාතික, වාර්ගික, ආගමික වෛරය හෝ වෙනස්කම් කිරීමකට, එදිරිවාදිත්වයට හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් ඇති වන පරිදි ප්‍රචාරය නොකළ යුතු ය.

මෙම පනත යටතේ ගැනෙන වරදකට වරදකරු බව මහාධිකරණ නඩු විභාගයකින් පසු ඔප්පු වුවහොත් වරදකරු අවුරුදු 10කට නොවැඩි දඬුවමකට ලක් කළ හැකි ය.

මෙම පනතෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මෙම පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩු විභාග අවසන් වන තෙක් ඇප ලබාදිය නොහැකි වීමයි. ඇප ලබාදීම කළ හැක්කේ සුවිශේෂ තත්වයන් යටතේ මහාධිකරණය විසින් පමණි.

එම නිසා පොලිසිය තෝරාගත් පුද්ගලයන්ගෙන් පළිගැනීම සඳහා එම පනත යටතේ නඩු පවරයි. නඩු විභාගයේදී චෝදනාව ඔප්පු කළ හැකි වුණත්, බැරි වුණත්, විත්තිකරුවා නඩු විභාගය අවසන් වනතෙක් රිමාන්ඩ්ය.

දන්ත ධාතුවට අපහාස කිරීමෙන් වරදක් සිදු කළැයි චෝදනා ලබා තිබෙන සේපාල් අමරසිංහ සම්බන්ධයෙන් ද මෙම පනත යටතේ කටයුතු කිරීමට ඉඩ තිබේ. එසේ වුවහොත්, ඔහුට ඇප ලබාගැනීම ද අතිශය දුෂ්කර වනු ඇත.

ශක්තික සත්කුමාර වෙනුවෙන් ලේඛක ප්‍රජාව, කලාකරුවෝ හා සිවිල් සමාජය පෙනී සිටියහ.

මේ හා සමාන අන්දමින්, 2019 මැයි 17 වන දින “From Islamic Terrorism to marauding Sinhala  Buddhist violence” හෙවත් “ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ සිට කොල්ලකාරී බෞද්ධ ප‍්‍රචණ්ඩත්වය” දක්වා යන ලිපිය පදනම් කරගෙන කුසල් පෙරේරාට එරෙහිව මෙම පනත යටතේ කටයුතු කිරීමට සූදානම් වන විට, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි සංවිධාන එයට එරෙහිව පෙනී සිටියහ.

සේපාල් අමරසිංහ පසුගිය කාලයේ ජාතික ජන බලවේගය ප්‍රවර්ධනය කළ අයෙකි. ඔහු වෙනුවෙන් එම පක්ෂය පෙනී සිටින බවක් දැනට නොපෙනේ. ඔහු වෙනුවෙන් සමාජ නියෝජනයක් නොමැති වුවහොත්, ඔහුට ඇප ලබාගැනීම දුෂ්කර වනු ඇත. නඩු විභාගයෙන් ඔහු වරදක් කර ඇති නම්, දඬුවම් ලැබෙනු ඇත.

මෙම පනතෙහි ඇප පිළිබඳ වගන්තිය වහා සංශෝධනයට ලක්කළ යුතුව තිබේ. එසේ නැතහොත්, පොලිසිය එම වගන්තිය අපහරණය කිරීම දිගටම සිදුවනු ඇත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

සුදු කොඩි නඩුව පාලකයන්ට ම සුදු කොඩියක් වේවි ද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු