මේක මොන වගේ විප්ලවීය කාලයක්ද?
අජිත් පැරකුම් ජයසිංහ
වාමාංශිකයන් නොවන අය විප්ලවය, විප්ලවීය අවධිය වගේ වචන භාවිතා කළාම මුලින්ම කලබල වෙන්නෙ මාක්ස්වාදීන්. ඔවුන් සිතන්නේ ඒ සංකල්ප වරනැගුවේ ඔවුන්ගේ රැවුල්කාර සීයලාය කියායි. ඒ නිසා ඒවා අයිති ඔවුන්ට යයි ඔවුන් සිතනවා. ඒත් විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදීයි. ඒ කාලයේ එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට විප්ලවයෙන් අදහස් කරනු ලබන්නේ පෙර පැවති දේශපාලන පර්යායට අභියෝගයක් වන රැඩිකල් ලෙස වෙනස් වූ නව පිළිවෙලක් ස්ථාපිත කරනු ලැබීමයි. ඉතිහාසයේ මහා විප්ලවයන් ලෙස සැලකෙන ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු විප්ලවයන්වලදී ආණ්ඩු ක්‍රමය මෙන්ම එම සමාජවල ආර්ථික ක්‍රමය, සමාජ ව්‍යුහය සහ සංස්කෘතික වටිනාකම් ද පරිවර්තනයට ලක්වුණා.
16 වැනි සියවසේ ඉතාලියේ ජීවත් වූ චින්තකයකු වන නිකොලෝ මැකියාවෙලි විප්ලවයේ තර්ජනය දරාගත හැකි රාජ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කටයුතු කළ අයෙක්. එහෙත්, බලය පිළිබඳ ඔහුගේ දැක්ම අනුව, ඇතැම් අවස්ථාවලදී ආණ්ඩු ව්‍යුහයේ වෙනස්කම්වල අවශ්‍යතාවය පිළිගන්නා හෙයින් මැකියාවෙලි නූතන විප්ලවවාදී චින්තනයේ පුරෝගාමියෙක්. ඔහු කිසි විටෙක විප්ලවය යන වචනය ඔහුගේ ග්‍රන්ථවල භාවිතා නොකළ අතර, මූලික වශයෙන් සැලකිලිමත් වූයේ ස්ථාවර රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහායි. ඒ සඳහා ද පරිවර්තන අවශ්‍ය වුණා.
ඒ අර්ථයෙන් ගත් කල 2022 මහජන නැගිටීමෙන් පසු බලය ලබාගත් රනිල් වික්‍රමසිංහ ද නූතන මැකියාවෙලි කෙනෙකි. ඔහු කිසි විටෙකත් විප්ලවය යන වචනය භාවිතා නොකරන අතර ස්ථාවර රාජ්‍යයක් වෙනුවෙන් සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික පරිවර්තනයකට මුලපුරා තිබෙනවා. විප්ලවයත්, ප්‍රතිවිප්ලවයත් තිබෙන්නේ එකට බැඳිලායි. මේ ගැටුමෙදි වරෙක විප්ලවයත්, තවත් වරෙක ප්‍රතිවිප්ලවයත් ඉදිරියෙන් ඉන්නවා. විප්ලවය ජයගත්තොත්, සමාජය පරිවර්තනය වෙනවා. විප්ලවයේ ජයග්‍රහණය අනිවාර්ය නැහැ. පරාජය වුණොත්, සමාජය ම්ලේච්ඡත්වය කරා පවා යන්නට පුළුවන්. ලංකාවේ වත්මන් තත්වය විස්තර කිරීමට ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් පවසනු ලැබ, පළමු ලෝක යුද සමයේ රෝසා ලක්සම්බර්ග් විසින් උපුටාගෙන ප්‍රවර්ධනය කරන ලද පහත සඳහන් ප්‍රකාශනය යෝග්‍යයි. “Bourgeois society stands at the crossroads, either transition to socialism or regression into barbarism.” ධනේශ්වර සමාජය මං සන්ධියකට සපැමිණ ඇත. එය එක්කෝ සමාජවාදය දෙසට සංක්‍රාන්ති විය යුතු ය. නැතිනම් ම්ලේච්ඡත්වය දෙසට පසුබැසිය යුතු ය.
පසුගිය අයවැය කතාවේදී රනිල් පැහැදිලිව පැවසූ ලෙස මේ වන විට 1977දී ආරම්භ කරන ලද ක්‍රම වෙනස ද යල්පැන ගොසිනි. 1977ට පෙර පැවති රාජ්‍ය ධනවාදී සමාජවාදී ක්‍රමය තුළ ආර්ථිකයේ ක්‍රියාකරුවෙකු ලෙස රාජ්‍යය මූලික වුණා. 1977න් පසු සිදුවූයේ රාජ්‍යය ව්‍යාපාරකරණයේ යෙදෙන ගමන්ම පෞද්ගලික අංශය ද ශක්තිමත් කිරීමයි. විශේෂයෙන්ම විදේශ ආයෝජනවලට රට විවෘත කළා. කෙසේ වෙතත්, විවෘත ආර්ථිකය ලෙස ප්‍රසිද්ධ වුව ද, අවුරුදු 50කට ආසන්න කාලයක් ගතවී තිබියදී පවා ලංකාවේ ආර්ථිකය ලෝකයට පමණක් නොවෙයි රට තුළට පවා විවෘත වී තිිබෙන්නේ සීමා සහිතවයි. තවමත්, බලශක්ති, ජල සම්පාදනය වැනි අංශවල තිබෙන්නේ රාජ්‍ය ඒකාධිකාරයන්. ඒ වගේම, බැංකු, ප්‍රවාහන, ජන සන්නිවේදන, කෘෂිකර්මාන්තය, කර්මාන්ත වැනි තවත් අංශ රැසක ඒකාධිකාරී රාජ්‍ය ව්‍යවසායන් හේතුවෙන් සමබිම හා තරගකාරීත්වය දුර්වල වී තිබෙනවා. ජනතාවට අධික බදු බරක් දරන්නට සිදු වී තිබෙනවා.
මේ අතර, පොදු භාණ්ඩ ලෙස සැලකිය හැකි සෞඛ්‍යය මෙන්ම පාසල් අධ්‍යාපනය ද විශාල වශයෙන් වෙළඳපොළකරණය වී හමාරයි. ඒ අංශවල වෙළඳපොළකරණය සිදුවී තිබෙන ආකාරය අනුව විකෘති තත්වයන් නිර්මාණය වෙලා. උදාහරණයක් හැටියට, පාසල් අධ්‍යාපනය අභිභවමින් කිසිදු අධ්‍යාපන විද්‍යාවකට අයත් නොවන දේශනාකරුවන් පිරිසකගේ විකෘති අධ්‍යාපනය ස්ථාපිත වෙලා එමගින් රටේ අනාගත පරම්පරා විකෘති වෙන තත්වයක් නිර්මාණය වෙලා. එහෙත්, ඒ සඳහා හේතු වන තරගකාරීත්වය නිර්මාණය කරන ගැටලුවලට විසඳුම් දෙන්නට සමාජය අසමත් වෙලා. උසස් අධ්‍යාපනයේ පෞද්ගලික අංශ ක්‍රියාකාරීත්වයට ඉඩනොදීම හා රජයේ විශ්වවිද්‍යාලවල ඉඩකඩ සීමිත වීම පිළිබඳ ගැටලුවක් හේතුවෙන් නිරන්තරයෙන් රටේ ගැටුම් ඇතිවෙනවා.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය විනය පිළිබඳ ගැටලුව දීර්ඝකාලීන එකක්. රජය දිගින් දිගටම වියදම් පියවාගැනීමට ණය හා ආධාර බලාපොරොත්තු වුණා. මුල් කාලයේදී ණය ලබාගත්තෙ ලෝකයේ දුප්පත්ම රටවලට අඩු පොලී අනුපාත යටතේයි. ඒත්, 1997 දී ශ්‍රී ලංකාව පහළ මධ්‍යම මට්ටමේ ආදායම් තත්ත්වයට උසස් වූ අතර 2019-2020 අතර කෙටි කාලයකදී ශ්‍රී ලංකාව ඉහළ-මැදි මට්ටමේ ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කරන ලදි. ලංකාවට ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී ණය ලබාගැනීමේ හැකියාව මේ උසස්වීම් නිසා නැති වුණා. ඉන්පසු, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය මූලාශ්‍රය වුණේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ. කතාව අවසන් වූ හැටි පමණක් කීම ඇති. මේ වන විට ලංකා රජය ඩොලර් බිලියන 50කට වැඩි ණය ගෙවාගත නොහැකිව තාවකාලිකව ණය ගෙවීම නවත්වා ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
මේ සමගම, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඩොලර් බිලියන 2.9ක ණයක් ද ලබාගැනීම සඳහා නිලධාරි මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. එය එතරම් විශාල මුදලක් නොවුණත්, ඒ සමග බැඳුණු ආර්ථික හැඩගැසීමේ කොන්දේසි මාලාව රටට ඉතා වැදගත්. ඒ අනුව, මේ වන විට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පිරිවැය අනුව ගාස්තු සැකසෙන ක්‍රම ඛනිජ තෙල්, ගෑස් හා විදුලිය සම්බන්ධයෙන් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා. ලංකාවේ විප්ලවීය සමාජ වෙනස සිදුවන එක් ප්‍රධාන සන්ධිස්ථානයක් මෙහි තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ ලාංකිකයන් පුරුදු වී සිටියේ රජය වැඩි මිලට ආනයනය කර අඩු මිලට අලෙවි කළ ඉන්ධන මිලදීගන්නටයි. ඒ හිඟය රජය පියවූයේ වක්‍ර බදුවලින්. විදුලිය, ජලය සම්බන්ධයෙනුත් තත්වය එයයි. ඒවා වැඩිපුර පරිභෝජනය කළ අය සිටියා. උදාහරණ ලෙස සහනාධාර මත අලෙවි කළ ඩීසල්වලින් තමයි සුඛෝපභෝගී එස්යූවී වාහනත් දිව්වෙ. හැබැයි, හාල්, පිටි, සීනි හෝ දුරකථන ඇමතුම් ගන්නා විට ධනවතුනුත්, දිළින්දනුත් ගෙව්වෙ එකම බද්දක්. වැඩිපුර පරිභෝජනය කළ අයත් අඩුවෙන් පරිභෝජනය කළ අයත් පරිභෝජනය වෙනුවෙන් ගෙව්වෙ සමාන බදු. දැන් ඒ සහනාධාර නැහැ. හැබැයි වක්‍ර බදු තියෙනවා. මේ අතර, පැරණි පාරිභෝජනවාදී ජීවන රටාවන් උඩු යටිකුරු වී තිබෙනවා.
මේ අතර රජය ඍජු බදු වැඩි කළා. බදුවලින් නිදහස් කර තිබූ බොහෝ කර්මාන්තවලට නැවතත් බදු පනවා තිබෙනවා. ඒ සමගම සමාගම් ආදායම් බදු 30% දක්වා වැඩි වෙනවා. පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු සීමාව පහත හෙළා ඇති අතර බදු අනුපාතික ඉහළ නංවා තිබෙනවා. කලින් උපයන විට ගෙවන බද්ද (PAYE) ලෙස හැඳින්වුණු පුද්ගල ඉහළ ආදායම් බද්ද (APIT) ඉහළ නංවා තිබෙනවා. කුලියට දීමෙන් සහ උපදේශනයෙන් ලැබෙන ආදායම මත රඳවා ගැනීමේ බද්ද (WHT) වැනි රඳවා ගැනීමේ බදු නැවත හඳුන්වා දී තිබෙනවා. ආදායම ලැබෙන තැනදීම බදු අඩුකරනු ලැබේ.
ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි පෙන්වාදෙන පරිදි, 2019 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව, ලංකාවේ රු. 79,000ට වඩා ආදායම් උපදවන්නන් අයත් වන්නේ ඉහළම 10%ටයි. මේ 10% දැන් කැළැඹී අනෙක් 90% කුපිත කරන්නට පටන්ගෙන තිබෙනවා.
මීළඟ කාරණය තමයි රාජ්‍ය වියදම්. රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.5ක් පමණ වුණත්, රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.5ක් වෙනවා. රජයේ වියදම්වලින් 30%ක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටයි. තවත් 30%ක් ණය පොලිය ගෙවීමට වැය වෙනවා. ඉතිරි 30% විවිධ සහනාධාර සඳහා වැය වෙනවා. රාජ්‍ය වියදම් අඩුකිරීම සඳහා කරන්නට පුළුවන් මොනවාද? විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබුණත්, ඒවා නැවත ගෙවන්නට සිදුවෙනවා. ඒ වගේම, දේශීය ණය සේවා වෙනුවෙන් වියදම් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. දැන් පවතින සංදර්භය තුළ සහනාධාර කප්පාදු කරන්නටත් බැහැ. කප්පාදු කරන්නට වෙන්නේ රාජ්‍ය ආදායමෙන් 60%කට වැඩි ප්‍රමාණයකට වගකියන රාජ්‍ය සේවක වැටුප්. ඒක කරන්නෙ කොහොමද? පසුගිය කාලයේ රැකියා දන්සැලක් බවට පත්වී තිබුණු රජය දැන් පිනට රැකියා දීම නවත්වලා. රජයේ හා රාජ්‍ය ව්‍යවසායවල සේවකයන් විදේශ රැකියාවලට යාම, ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම දිරිගන්වනවා. ඒ වගේම, රජයට දැවැන්ත බරක් වී තිබෙන ශ්‍රීලන්කන් ගුවන් සේවය, ලංවිම, සිපෙට්කෝ, ලංගම, ජල සම්පාදනය, දුම්රිය වැනි ව්‍යවසාය ආදායම මත වියදම් කරන තත්වයට පත්කිරීමට රජයට සිදුවෙනවා. එවිට එම ආයතන විසින් සපයන සේවාවන්ගේ මිල පාරිභෝගිකයන්ගෙන් අයකරගන්නට ඔවුන්ට සිදුවෙනවා. අවශ්‍ය ප්‍රමාණය මෙන් හතර පස් ගුණයක් ඉංජිනේරුවන් සිටින, ඒ ඉංජිනේරුවන් ඇතුළු සේවකයන් අවුරුද්දට දෙතුන් වතාවක් බෝනස් පවා ගන්නා වියදම් ඔක්කොම දරන්නට සිදුවන්නේ පාරිභෝගිකයන්ටයි. දැන් මහජනයා ඇත්ත තේරුම් ගනිමින් එයට විරෝධය පාන්නට පටන් ගන්නවා.
2023 වසරේදීත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් හැකිළෙන්නට නියමිතයි. එතකොට ආර්ථිකය නැවත පණගන්වාගන්නෙ කොහොමද? ඒ සඳහා පෞද්ගලික ව්‍යවසායකයන්ට හිතකර වාතාවරණයක් රටේ නිර්මාණය විය යුතුයි. මේ වන විට 30%ක් විතර වී තිබෙන ණය පොළී අනුපාතික අඩු නොකර ව්‍යාපාර දිරිගැන්වෙන්නේ නැහැ. ඒත්, රජයේ මූල්‍ය පාලනය තුළ උද්ධමනය පාලනය කරගැනීම සඳහා රජය මුදල් අච්චුගැසීම සීමා කර තිබෙන නිසාත්, රජයට අවශ්‍ය මුදල් භාණ්ඩාගාර බිල්පත් හරහා බැංකුවලින් ඉහළ පොළියට ණයට ගන්නා නිසාත්, ව්‍යාපාරිකයන්ට සහන පොළියට ණය ගන්නට හැකියාවක් නැහැ. ගැටලු එකකට එකක් සම්බන්ධයි.
ලාංකීය විප්ලවය සිදුවන්නේ මෙම සංදර්භය තුළයි. එය කිසි සේත්ම සමාජවාදී විප්ලවයක් වීමේ හැකියාවක් නැහැ. ධනේශ්වර ක්‍රමය සුබසාධනවාදී රාජ්‍ය මූලික ක්‍රමයකින් සමාජ වෙළඳපොළ ධනවාදයක් කරා රැගෙන යාම තමයි රනිල් වික්‍රමසිංහ මූලිකත්වය දෙන විප්ලවය. ඒ විප්ලවය අපට ඉතා වේදනාකාරී අත්දැකීම් රැසක් ලබාදෙනවා. ඒත්, ඒ කම්පනය දරා නොගෙන අපට එකම විසඳුම වන තිරසර සංවර්ධනය කරා ආපසු යන්නට ලැබෙන්නේ නැහැ. තිරසර සංවර්ධනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තිරසර සංවර්ධන අරමුණු 17ක් ඔස්සේ විග්‍රහ කර තිබෙනවා.
විප්ලවයට එරෙහි ප්‍රති විප්ලවය විවිධ පෙරමුණු ඔස්සේ ක්‍රියාත්මකයි. රජයෙන් විවිධාකාරයෙන් යැපුණු මධ්‍යම පන්තියට වාසිදායක තත්වයක පැවති පැරණි ක්‍රමය රැකගැනීම සඳහා පෙරමුණු ගණනාවක් සටනට එළැඹ තිබෙනවා. විප්ලවීය අවධියක පැවතිය හැකි ගැටුම් සියල්ල පිළිබඳ අත්දැකීම් අපට ලැබෙමින් තිබෙනවා. හැබැයි, මේ විප්ලවීය වෙනස සිදුකරගන්නට අප අසමත් වුණොත්, අප ම්ලේච්ඡ සමාජයක් බවට පත්වීමේ අවදානමකුත් හිස මුදුනින් නූලකින් එල්ලූ කඩුවක් සේ ලෙලදෙනවා.
2023-01-15 අනිද්දා පුවත්පතේ පළවිය.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.