අල්ලසට එරෙහි විශිෂ්ට නඩු තීන්දුවක් තහවුරු වෙයි. මෛත්‍රීගේ දෙන්නෙක් හිරේ

කෝටි දෙකහමාරක අල්ලසක් ලබා ගැනිමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දසනායක යන අයට ලබාදී තිබූ බරපතල වැඩ සහිත අවුරුදු 20ක සහ අවුරුදු 12ක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි.

දේශපාලකයන්ගේ දූෂණවලදී ඔවුන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධාන වැඩකොටසක් ඉටුකරති. එහෙත්, ඔවුන් සිටින්නේ සැඟවීය. මහානාම ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකි. ඊට පෙර ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්ය. දැව සංස්ථාව යනු මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයා වන කුමාරසිංහ විසින් මීට පෙර සභාපති ධුරය දැරූ රාජ්‍ය ව්‍යවසායයි.

මෙම පුද්ගලයන් දෙදෙනා 2018දී අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන්දීය ජාතික ආයෝජකයෙකු වන කේ. පී. නාගරාජා විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.

කන්තලේ සීනි සමාගමකට අයත් යන්ත්‍ර සහ ගොඩනැගිලි එක්තරා පෞද්ගලික සමාගමකට පවරා දීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීම වෙනුවෙන් සිය අල්ලස ලෙස රුපියල් කෝටි පනහක පමණ මුදලක් ඉල්ලා පසුව එය රුපියල් කෝටි දහයකට අඩුකර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ එම කෝටි දහයෙන් කෝටි දෙකක පමණ මුදලක් කොළඹ තරුපහේ හෝටලයක දී ලබා ගනිමින් සිටියදීය.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් විත්තිකාර මහනාමට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළ අතර ඔහුට රුපියල් 65000 ක දඩයක් ද නියම කළේය. ඊට අමතරව විත්තිකාර මහනාම විසින් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2 ක මුදල දණ්ඩනයක් වශයෙන් ගෙවිය යුතු බවටද නියෝග කෙරිණි.

නඩුවේ දෙවන විත්තිකරු වු පියදාස දිසානායකට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළ අතර රුපියල් 55000ක දඩයක් ද නියම කරන ලදි.

මහාධිකරණ නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ගේ ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආයෝජන ව්‍යාපෘතියක් සම්පූර්ණයෙන්ම අවහිර කෙරුණු බවට චෝදනා කළේය. මෙම ආයෝජන ව්‍යාපෘතිය තුළින් යුද්ධය හේතුවෙන් වසා දමා තිබූ කන්තලේ සීනි කම්හල යළි විවෘත කිරීමට අවස්ථාව උදා වුව ද විත්තිකරුවන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එය අඩාල කෙරුණු බව ද ඔහු පෙන්වා දුනී.

මෙම ව්‍යාපෘතිය තුළින් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා වාර්ෂිකව සීනි මෙට්‍රික්ටොන් 72,000 ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබූ අතර එහි අතුරු නිෂ්පාදනයක් ලෙස එතනෝල් ලීටර් මිලියන නවයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබූ බවද පෙන්වාදුන් රජයේ නීතිඥවරයා ඍජු රැකියා අවස්ථා එක්දහස් දෙසීයක් සහ වක්‍ර රැකියා අවස්ථා 15,000ක් පමණ මෙම ව්‍යාපෘතිය තුළින් උත්පාදනය කිරීමට නියමිතව තිබූ බව ද සඳහන් කළේය

Adapted fro praja.lk

 

Comments

Popular posts from this blog

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

සුදු කොඩි නඩුව පාලකයන්ට ම සුදු කොඩියක් වේවි ද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු