මෙරට ආර්ථික අර්බුදයට මූලිකව වගකිව යුතු වන්නේ දේශපාලනඥයන්ද? ජනතාවද?

 

හර්ෂ ගුණසේන

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පසුගිය සැප්තැම්බර් මස පළමුවන දින නිල මට්ටමේ එකඟතාවකට පැමිණි අතර එම ගිවිසුම පාර්ලිමේන්තුවට හෝ ජනතාවට හෝ නිරාවරණය කර නොමැත. එනමුත් IMF වෙබ් පිටුවේ දක්වා ඇති ආකාරයට එම එකඟතාවේ මූලික අංගයන් වන්නේ රාජ්‍ය ආදායම වැඩිකිරීම සහ වර්ෂ 2025 වන විට රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ රටේ ළල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2.3% ක අතිරික්තයක් ඇති කිරීම; ඉන්ධන සහ විදුලිය සඳහා වියදම ප්‍රතිපූරණය වන ආකාරයේ මිලක් හඳුන්වා දීම; සමාජ ආරක්ෂණ ජාලයක් ඇතිකිරීම; දත්ත මත පදනම් වූ මූල්‍ය (monetary) ප්‍රතිපත්තියක්, රාජ්‍ය මූල්‍ය (fiscal) වඩාත් ශක්තිමත් කිරීම,  මහා බැංකුව මගින් රජයට මුදල් නිකුත් කිරීම සීමා කිරීම සහ මහා බැංකුවේ ස්වාධීනත්වය ඇතිකිරීම හරහා භාණ්ඩවල මිල ස්ථායිකරණයක් ඇති කිරීම; වෙළෙඳපොළ විසින් තීරණය කරනු ලබන විදේශ විනිමය අනුපාතයක් පවත්වා ගැනීම මගින් විදේශ සංචිත වැඩි කර ගැනීම;  මූල්‍ය (financial) අංශයේ ආරක්ෂණ දැලක් සහ වාණිජ බැංකුවල ප්‍රාග්ධනය නැංවීම මගින් මූල්‍ය ස්ථායි කරණයක් ඇති කිරීම; දූෂණය අවම කිරීම යන කරුණුයි.

ප්‍රාථමික ගිණුම යනු රජයේ ආදායම් වලින් ණය සහ පොලි ගෙවීම් හැර ඉතිරි වියදම් අඩු කර ලැබෙන ශේෂයයි. මෙය අතිරික්තයක් වීමට නම් රජයේ ආදායම වැඩිකිරීමට අමතරව රජයේ වියදම අඩුකළ යුතුය. එය නිශ්චිත වශයෙන් IMF ප්‍රකාශයේ දක්වා නොමැත. එහි සඳහන් රාජ්‍ය මූල්‍ය (fiscal) වඩාත් ශක්තිමත් කිරීම යනුවෙන් අදහස් වන්නේ රාජ්‍ය  අයවැයේ හිඟය සහ රාජ්‍ය ණය ප්‍රසාරණය අඩු කිරීමයි.

රජය රාජ්‍ය සේවය සංකෝචනය කිරීමට බලාපොරොත්තු වන්නේ රාජ්‍ය සේවකයන් විශ්‍රාමයාම නිසා ඇතිවන පුරප්පාඩු පිරවීමෙන් වැළකි සිටීම මගිනි. ඒවා පිරවීම සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු වන අතර භාණ්ඩාගාරය එම අනුමැතිය ලබා දෙන්නේ නැත. රජය සතු ව්‍යාපාර පෞද්ගලිකකරණය හරහා ක්ෂණිකව රාජ්‍ය ආදායම ඉහළ යාම හරහා අයවැය හිඟය අඩුවන අතර දීර්ඝ කාලීනව මෙම ආයතනවලට මුදල් පොම්ප කිරීම නැවතීම හරහා අයවැය හිඟය අඩුවේ.

පසුගිය සැප්තැම්බර් මස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අම්බලන්තොට පක්ෂ රැස්වීමක් අමතමින් රාජ්‍ය සේවය සංකෝචනය විය යුතු බවත්, කාර්යක්ෂම විය යුතු බවත්, එමෙන්ම, රාජ්‍ය ආයතන දේශපාලනඥයන්ගේ ආධාරකරුවන්ට රැකියා ලබාදෙන ආයතන නොවිය යුතු බවත් කීය. උදාහරණ කිහිපයක් දක්වමින් ජයවර්ධනපුර සරසවියේ ශාස්ත්‍රාලයීය සේවක පිරිස 600 ක් වන විට ශාස්ත්‍රාලයීය නොවන සේවක පිරිස 4000 ඉක්මවන බවත් සැමදා උදේ මාතර සිට කොළඹ වරායට බස්රථ පහක් එන බවත් ඒවායින් ගමන් ගන්නේ දේශපාලන පත්වීම් ලද සේවකයින් බවත් කීය.

වර්ෂ 2023 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යුහගත (හෙවත් පෞද්ගලිකකරණය)  කිරීම මගින් ලැබෙන මුදල් විදේශ විනිමය සංචිත සහ රුපියල ශක්තිමත් කිරීමට යොදා ගන්නා බවයි.

ඉන් පසුව පැවති අයවැය යෝජනා පිලිබඳ සම්මන්ත්‍රණයකදී රජය ව්‍යාපාර කිරීමට අදහස් නොකරන බවත් එසේ කිරීම මගින් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වියදම් කළ හැකිව තිබූ රුපියල් බිලියන සහ ට්‍රිලියන ගණන් මුදල් නාස්ති වී ඇති බවත් ඔහු කීය. අපට අවශ්‍ය ජනතාව ශක්තිමත් කිරී මද එසේ නැතහොත් රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ශක්තිමත් කිරිමදැයි ඔහු ප්‍රශ්න කළේය. මෙම ව්‍යාපාර විකිණීම සදහා වන ඔහුගේ දැක්ම ප්‍රකාශ කරමින් මෙම ආයතන විකුණා ඩොලර් බිලියන 7 ක් ලබා ගත හොත් පසුදින ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වනු ඇති බවත් ඔහු කීය.

චම්පික රණවකගේ අදහස තරමක් වෙනස්ය.රට බංකොලොත් වී ඇති මේ අවස්ථාවේදී ඩොලර් ආයෝජනය කර රුපියල් ඉපයීම සඳහා (ඩොලර් පිටරට ගෙන යාමට සීමා පනවා තිබෙන සංදර්භයක් තුළ) මෙම ආයතන මිලදී ගැනීමට කිසිවකු නොපැමිණෙන බවත් පැමිණෙන්නේ නම් පැමිණෙන්නේ ඒ මගින් අදාල රාජ්‍යයන්ට  භූ දේශපාලනික වාසි ලබා ගැනීමට බවත් ඔහු කියයි. එබැවින් මේ ආයතන විකිණිය හැකි වන්නේ පසුගිය ආණ්ඩු කළාක් මෙන් සිය හිත මිතුරන්ට පවරා දීම මගින් බව ඔහුගේ අදහසයි. එයට ප්‍රතිවිරුද්ධව මේ අවස්ථාවේදී ඒවා කාර්යක්ෂම, වගවෙන  සහ දේශපාලන ගැතිකම් වලින් තොර පාලනයක් ඇති කළ යුතු බව ඔහු කියයි.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේදී කථා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද කියා සිටියේ ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර විකිණීමට ඔවුන් විරුද්ධ බවයි.

ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 5 වන දින ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ ආර්ථික සමුළුව අමතමින් යල් පැනගිය ආර්ථික ක්‍රම මඟින් මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බව පෙන්වා දුන් අතර, ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍ය වන්නේ විදේශ විනිමය උපයා ගැනීම බව ද පැවසීය .

පසුගිය දෙසැම්බර් 14 දින ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සහ USAID අනුග්‍රහය සහිතව කරන ලද සමීක්ෂණයක් මගින් ලාංකිකයන් බහුතරයක් ජාතික සම්පත් විකිණීමට එරෙහි වන බවයි. ඒ අනුව තරුණ ජනගහනයෙන් 93.8% ක් ද වැඩිහිටි ජනගහනයෙන් 93.2% ක් ද ජාතික සම්පත් විකිණීමට විරුද්ධය. රාජ්‍ය අංශය සංකෝචනය කළ යුතු බව සිතන්නේ තරුණයන් ගෙන් 42.1% ක් සහ වැඩිහිටියන්ගෙන් 47.4% ක් පමණි. තරුණයන් ගෙන් 69.1% ක් ද වැඩිහිටියන් ගෙන් 69.4% ක් ද යුද්ධයෙන් පසුව ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩවලින් යම් ප්‍රයෝජනයක් අනාගතයේ ලැබෙන බව සිතති. එමෙන්ම තරුණයන්ගෙන් 76.6% ක් ද වැඩිහිටියන්ගෙන් 71.9% ක් ද සිතන්නේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදයට දේශපාලනඥයන් වගකිව යුතු බවයි.

මම මෙසේ කියමි. මෙරට ආර්ථික අර්බුදයට මූලිකව වගකිව යුතු වන්නේ දේශපාලනඥයන් නොවේ. මෙරට ජනතාවයි. ඉහත සඳහන් සමීක්ෂණයෙන් එය සනාථ වේ. ආර්ථික අර්බුදයක් ඇති වන්නේ දිගින් දිගටම පැවති ආණ්ඩු විසින් අනුගමනය කළ හිඟ අයවැය ප්‍රතිපත්තිය සහ ආණ්ඩුවල ප්‍රතිපත්තින්හි දායකත්වය ඇතිව මෙරට ව්‍යාපාරික ප්‍රජාව විසින් අලුත් දෑ නිපදවීම මගින් අපනයන සංවර්ධනය නොකළ නිසාය. මෙම තත්ත්වය මහින්ද රාජපක්ෂ විසින් වර්ධනය කරන ලද අතර ගෝඨාභය රාජපක්ෂ එය අවුළුවා ලීය. පෞද්ගලික ආයතන ජනසතු කිරීම සහ රාජ්‍ය ආයතන සංවර්ධනය හරහා ධනය ඒකරාශී වූයේ පුද්ගලයන් අත නොවේ, රජය අතය. මේ සඳහා ජනතාවගේ පුර්ණ ආශීර්වාදය ලැබී තිබේ. එබැවින් මේ අර්බුදයෙන් ගොඩ ඒම දුෂ්කර කාර්යයක් වනු ඇත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

සුදු කොඩි නඩුව පාලකයන්ට ම සුදු කොඩියක් වේවි ද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු