‘බඹරා’ වැල්ලේ කැරකෙන්නේ කාටද?
අජිත් පැරකුම් ජයසිංහ
ජාතික ජන බලවේගය විසින් සිය පළාත් පාලන මැතිවරණ රැළි මාලාව ආරම්භ කරනු ලැබුවේ අනුරාධපුරයෙනි. රාජපක්ෂවරුන් ද බොහෝ විට අනුරාධපුරය සුබ කටයුතු ආරම්භය සඳහා යෝග්‍ය ස්ථානයක් ලෙස සලකති. ජාජබ අනුරාධපුර රැස්වීමට දස දහස් ගණනක සෙනග සිටි බව එහි නායක අනුර කුමාර දිසානායකගේ කතාවෙහිම සඳහන් වේ. ඔහු සිය කතාව ආරම්භයේදී රාජපක්ෂලාගේ බඹරා වැල්ලේ කැරකුණු සමයේ ඔවුන් නිතිපතා මැතිවරණ පැවැත්වූ බව ද දැන් බඹරාට ගමට යාමට හෝ නොහැකි බව ද පවසයි. වේදිකාවේ සිටි අයෙකු ඔහු නිවැරදි කරන්නට උත්සාහ කරමින් එය බඹරා නොව බඹරේ බව කියයි. ඇත්තටම ජවිපෙට බඹරේ වැල්ලේ කැරකෙමින් තිබෙන බවක් නිරීක්ෂණය වේ. මෙය 2019 වන විට ගෝඨාභය රාජපක්ෂට තිබුණු තත්වය වැනිය.
මෙම අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම ආණ්ඩුවට කිසි සේත්ම වාසිදායක නොවන බව ඉතා පැහැදිලිය. ආණ්ඩුව සිදුකරමින් සිටින විප්ලවීය ධනේශ්වර ප්‍රතිසංස්කරණ හමුවේ මධ්‍යම පන්තිය දැඩි පීඩාවකට පත්වී සිටිති. මධ්‍යම පන්තිය නියෝජනය කරන ජාතික ජනතා බලවේගය වැනි බලවේගවලට මෙය අතිශය වාසිදායක තත්වයකි. මධ්‍යම පන්තික බලවේගය මුල්වී 2019දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමෙන් අනතුරුව ඔවුන්ට ලැබුණු බදු සහන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ආපසු හරවමින් තිබේ.
පළාත් පාලන මැතිවරණයක් යනු ජාතික මැතිවරණයක් නොවේ. පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණ හරහා ජනතාවගේ පරමාධිපත්‍යය ජාතික මට්ටමින් ප්‍රකාශයට පත්වේද යන්න සම්බන්ධයෙන් විසංවාදයක් තිබේ. පරමාධිපත්‍යයෙහි අංශ දෙකක් තිබේ. එනම්, බාහිර කටයුතුවලදී රාජ්‍යයේ ස්වාධීනත්වය සහ අභ්‍යන්තර ව්‍යුහය තුළ රාජ්‍ය බලයේ ආධිපත්‍යයයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පළමු පරිච්ඡේදයෙහි අංක 3 යටතේ ජනතාව, රජය සහ පරමාධිපත්‍යය යන ශීර්ෂය යටතේ “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය” යනුවෙන් සඳහන් වේ. එය තවදුරටත් විස්තර කරමින් “පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේය” යි එහි සඳහන් වේ.
අංක 4 යටතේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සඳහන් වන අතර එහි (ඉ) යටතේ “අටළොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ ද, සෑම පුරවැසියකු විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දී ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දී ද, සෑම ජනමත විචාරණයක දී ද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය” යි පරමාධිපත්‍යය සම්බන්ධ පුරවැසි වගකීම පැහැදිලි කරනු ලැබේ.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගත් කල ගම් මට්ටමේ වඩාත් සක්‍රිය අපේක්ෂකයන් සතුව තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය වැනි පක්ෂවලට මිස ජාතික ජන බලවේගයට නොවේ. ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු විසින් ජවිපෙ නොවන යම් අපේක්ෂක පිරිසක් ආකර්ශනය කරගෙන තිබේ. කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ මූලික උපායමාර්ගය වී තිබෙන්නේ පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබාගැනීමයි. මෙය ජනතා විමුක්ති පෙරමුණ විසින් සෑම කලකම ප්‍රවර්ධනය කරන ලද තත්වයකි.
අපේක්ෂකයන්ගේ ක්‍රියාකාරීත්වය අනුව ඡන්ද ලබාගැනීමේ හැකියාව සලකා බැලුවහොත්, ජාතික ජන බලවේගයට වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය ඉදිරියෙන් සිටින බව පෙනේ. එහෙත්, මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිම් මට්ටමේ ක්‍රියාකාරිකයන් තරමක් දුර්මුඛ වී තිබේ. මැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වුවත්, ඔවුන් ද බොහෝදෙනෙකු මෙය මැතිවරණයට සුදුසු අවස්ථාවක් ලෙස සලකන බවක් නොපෙනේ.
ජාතික ජන බලවේගය මෙන්ම, සමගි ජන බලවේගය ද පළාත් පාලන මැතිවරණයෙන් තමන්ට වාසිදායක ප්‍රතිඵලයක් ලැබුණහොත් එය ආණ්ඩුවට අභියෝග කිරීම සඳහා භාවිතා කිරීමට සැලසුම් කරමින් සිටිති. 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද එම උත්සාහය දැරූ අතර, ආණ්ඩුවට ජනවරමක් නොමැති බව පවසමින් ජනාධිති මෛත්‍රීපාල සිරිසේන සමග එකතුව ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් දියත් කළේය. එහෙත්, නිසි කලට ජනාධිපතිවරණය පැවැත්වුණු අතර පාර්ලිමේන්තුව වෙනස් කළ හැකි වූයේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලැබුණු පසුය. ජනවරම යනු අතිශය වියුක්ත සංකල්පයකි. ජනතා පරමාධිපත්‍යය යනු ඊට වඩා සංයුක්ත සංකල්පයකි.
විපක්ෂය විසින් භාවිතා කරනු ලබන තර්කයක් වන්නේ, ව්‍යවස්ථාවේ VII වැනි පරිච්ඡේදයේ ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගත යුතු බව සඳහන්ව ඇති නමුදු වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ බහුතර ඡන්දයෙන් පත්වූ අනුප්‍රාප්තිකයකු වීම නිසා ඉල්ලා අස්වූ ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය ධුරය දැරීමට අනුප්‍රාප්තික ජනාධිපතිට ඉඩ ලැබී ඇතත් ජනතා පරමාධිපත්‍යය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බවයි. එහෙත්, එම ගැටලුවට විසඳුමක් නැත. ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවත්, නැවත සිදුවන්නේ ධුර කාලයේ ඉතිරි කාලසීමාව සඳහා ජනාධිපතිවරයකු තෝරා පත්කරගැනීමයි. එම ජනාධිපතිවරයාට ද ජනතා පරමාධිපත්‍යය සම්බන්ධ ගැටලුවක් ඇතැයි තර්ක කළ හැකිය. එය ව්‍යවස්ථානුකූලව වැරදිය. ජනතා පරමාධිපත්‍යය පිළිබඳ තර්කය පාර්ලිමේන්තුවට අදාළ නැත. පාර්ලිමේන්තුව තුළින් බලය වෙනස් කිරීමේ හැකියාව අහෝසි වී නැත.
මේ අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ සංවිධාන කටයුතු වළක්වන නියෝගයක් මැතිවරණ කොමිෂන් සභාවට නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම පසුගිය 18දා ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා හා පී. පද්මන් සුරසේන යන මහත්වරුන් හමුවේ කැඳවන ලදි. එම රිට් ආඥා පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්‍ෂේප කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, මහාචාර්ය ජී. එල්. පීරිස් යන අය අතරමැදි පෙත්සම් මගින් ඉල්ලා තිබේ. මැතිවරණ සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට නියම කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලක්‍ෂමන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා හා එම්. ඒ. සුමන්තිරන් යන අය සහ නීතිඥ සුනිල් වටගල, එරංග ගුණසේකර, විසාකේස චන්දසේකරන් යන අය විසින් ද අතරමැදි පෙත්සම් ගොනුකර තිබේ. මේවා වැඩිදුර සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 10 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඬුල්ල දින නියම කළහ.
මේ අතර, බාධාවකින් තොරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාව සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වන ති කේ.පී.පී. පතිරණට සහ එස්.බී. දිවාරත්නට කිසියම් පුද්ගලයෙකු මරණීය තර්ජන සිදුකළ බවට ඔවුන් පසුගිය 18දා පොලිසියට පැමිණිලි කිරීම, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකා එස්.පී. චාල්ස් 25දා ඉල්ලා අස්වීම ආදී නාට්‍යමය ජවනිකා ද මේ අතර නිර්මාණය වේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ හැකියාව ගැන බලාපොරොත්තු තැබිය හැකි ලිපි දෙකක් පසුගිය දිනවල ඉන්දියාවෙන් සහ චීනයේ එක්සිම් බැංකුවෙන් ලැබිණි. ජනවාරි 19 දින දරණ චීනයේ ලිපිය අනුව, ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත පදනම්ව “ක්ෂණික හදිසි පියවරක් ලෙස 2022 සහ 2023 දී ගෙවිය යුතු ණය සේවාවේ දිගුවක්” ලබා දීමට එක්සිම් බැංකුව එකඟ වී තිබේ. “ඉහත සඳහන් කළ කාලසීමාව තුළ බැංකුවේ ණයවල මූලික හා පොලී ගෙවීමට ඔබට සිදු නොවනු ඇත” යනුවෙන් ලිපියේ සඳහන් කර ඇති අතර, මධ්‍යම හා දිගු කාලීන ණය ප්‍රතිකර්ම සම්බන්ධයෙන් ඔබේ පාර්ශ්වය සමඟ සාකච්ඡා ක්‍රියාවලිය කඩිනම් කිරීමට එක්සිම් බැංකුවට අවශ්‍ය බව ද එම ලිපියේ සඳහන් වේ. “ද්‍රවශීලතා ආතතියෙන් මිදීමට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) සඳහා වන ඔබගේ අයදුම්පතට බැංකුව ශ්‍රී ලංකාවට සහාය වනු ඇත” යනුවෙන් චීනයේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ලිපි පිළිගනීද, ඒ අනුව අපේක්ෂිත රු. බිලියන 2.9 ණය ලබාගත හැකිද යන්න තවම පැහැදිලි නැත.
2020 අග වන විට, IMF දත්ත වලට අනුව, ශ්‍රී ලංකාව, China EximBank වෙත ඩොලර් බිලියන 2.83ක් හෙවත් දිවයිනේ විදේශ ණය වලින් සියයට 3.5ක් ණය වී ඇත.
සමස්තයක් වශයෙන් ගත් කල, 2022 අවසානය වන විට ශ්‍රී ලංකාව චීන ණය දෙන්නන්ට ඩොලර් බිලියන 7.4 ක් හෝ රාජ්‍ය බාහිර ණයවලින් පහෙන් පංගුවකට ණය වී ඇති බව චීන අප්‍රිකා පර්යේෂණ මුලපිරීමේ ගණනය කිරීම් පෙන්වා දෙයි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.