කඩතොලු විකට්ටුවක දැවී, නොදැවී බැට් කරන වික්‍රමසිංහ

 

අජිත් පැරකුම් ජයසිංහ

“බුද්ධිය, දක්ෂතාවය සහ හැකියාව නියම අවස්ථාවේදී යොදන පුද්ගලයන් ඉතිහාසය තුළ තමන් පිළිබඳ මතකය රඳවා තබයි. අතීතයේ ජනතා ව්‍යාපාරයේ නායකයෝ,  පොදු ජන සමූහයා අතර කැපී පෙනුණු හා විශාල කීර්තියක් හිමි කර ගත්තෝ වූහ.   සෑම සමාජයක්, පංතියක් උදෙසාම නායකත්වයන් තමන්ට අවශ්‍ය ලෙස සහ ඊට ගැලපෙන ලෙස සකස් කර ගනියි.” – දේශපාලන විද්‍යාවේ මූලධර්ම, රුසියාවේ ප්‍රගති ප්‍රකාශක මන්දිරය, 1978

ශ්‍රී ලංකාව බරපතළ නායකත්ව අර්බුයක් සහිත රටකි. එය සැබෑ ජාතික ක්‍රීඩාව ලෙස සැලකිය හැකි ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම් නායකත්වයේ සිට ජනාධිපති ධුරය දක්වා විහිදෙයි. එයින් අදහස් වන්නේ නායකත්ව අර්බුදය තිබෙන්නේ දේශපාලනයේ පමණක් නොවන බවයි. නායකත්ව අර්බුදය අනාගතය දක්වා විහිදෙන බව ප්‍රදර්ශනය කරන ප්‍රධාන ස්ථානය පාර්ලිමේන්තුව නොව පාසලයි. වර්තමානයේ පාසල් අධ්‍යාපනය තුළ නායකත්ව සංකල්පයම විකෘති වී තිබේ. අධ්‍යාපන ක්‍රියාවලියට නායකත්වය දිය යුතු නිලධාරියකු වන පාසල් විදුහල්පතිවරයා හුදු පරිපාලකයකු බවට පරිවර්තනය වී තිබේ. පාසල යනු පෞද්ගලික අධ්‍යාපනය හෙවත් ටියුෂන් වෙනුවෙන් භූමිය සකස්කරන, තරග විභාග හා වෙනත් ක්‍රියාකාරකම් පවත්වන ස්ථානයයි. ගුරුවරයාගේ නායකත්ව භූමිකාව ඒ අනුව හැඩගැසී ඇත. ශිෂ්‍ය නායක, පන්ති නායක ආදී වශයෙන් සිසුන්ට දෙන නායකත්වය පුහුණුව මගින් නිර්මාණය වන්නේ නායකයන් නොව ලොක්කන්ය.

ලංකාවේ බොහෝ අය නායකත්වය ලෙස දකින්නේ මොබ් එකක ඉදිරියෙන් සිටීමට තිබෙන හැකියාවයි. මේ තත්වය 2022 වසරේදී අරගලය තුළ උච්චස්ථානයට පත්විය. 2005දී ජාතිවාදී ජනප්‍රියත්වය පාවිච්චි කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණ රාජපක්ෂවාදී ආණ්ඩුකරණය යනු ජාතිවාදය, ආගම්වාදය, දෙමළ – මුස්ලිම් විරෝධය, සමලිංගික විරෝධය, රාජ්‍ය නොවන සංවිධාන විරෝධය, බටහිර විරෝධය වැනි ජනප්‍රියවාදයන් පාවිච්චි කරමින් බලය ගොඩනගාගත් එකකි. මහින්ද රාජපක්ෂ යනු මෙවැනි ජනප්‍රියවාදයන් සමග රැල්ලට ගහගෙන යාමෙන් අසීමිත ජනප්‍රියත්වයක් ගොනු කරගෙන සිටින අයෙකි. ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් වූ මුත් කෙතරම් දුරට නායකයෙක් ද? මහින්ද රාජපක්ෂ යුද්ධය සම්බන්ධයෙන් දුන් නායකත්වය සමස්ත දේශපාලනය සම්බන්ධයෙන්ම සාර්ථක නොවූයේ ඇයි?

නායකයා යනු අනුගාමිකයන් කියන විදියට නටන නැට්ටුවෙකු නොවේ. නායකයා යනු අනුගාමිකයන්ගේ නර්තන වින්‍යාසය නිර්මාණය කරන්නාය. එවැනි නායකත්වයක් හා සමාජය අතර ප්‍රජාතාන්ත්‍රික සම්බන්ධය ජනප්‍රියවාදය මත පදනම් වන්නේ නැත, තීන්දු ගැනීමට විශේෂඥයන්ගේ, විද්‍යාර්ථීන්ගේ, බුද්ධිමතුන්ගේ, ක්‍රියාකාරිකයන්ගේ සහාය ඉතා වැදගත් වේ. මෙහිදී මාධ්‍යවලටත් සුවිශාල කාර්යභාරයක් තිබේ. ජනප්‍රියවාදයෙන් විනාශයට යනවාද, නායකත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනගාගන්නවාද යනු වර්තමාන යුගයේ රත්තරන් ප්‍රශ්නය වී ඇත.

මහින්ද රාජපක්ෂගේ නායකත්ව ගැටලුවට විසඳුම් සොයමින් සිටි ලංකාවට 2015දී මෛත්‍රීපාල සිරිසේනත්, 2019දී ගෝඨාභය රාජපක්ෂත් හමුවිය. මේ දෙදෙනාම නායකයන් වශයෙන් ඉතා අසාර්ථක පුද්ගලයන් බව සාකච්ඡා කිරීමට මෙම ලිපියේ ඉඩකඩ වෙන් නොකරමි. ඓතිහාසික අහම්බයකින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහට රටට අවශ්‍ය නායකත්ව භූමිකාව ඉටුකළ හැකිද යන්න විමසා බැලිය යුතුය. දැන් විකල්ප නායකයන් දෙදෙනෙක් ඔහුට අභියෝග කරමින් නායකත්වය සඳහා තරග කරති. ඒ සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකයි. ඔවුන් රටට ගැලපෙන විකල්ප නායකයන් වෙයිද?

එහිදී රට අපේක්ෂා කළ නායකත්වය කුමක්ද යන්න ද සිහිපත් කරගත යුතුය. 2015-19 සමයේ තිබූ අර්ධ අරාජිකත්වය නිර්මාණය කිරීමට හේතු වූ ප්‍රධාන කාරණය වූයේ ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති නායකත්ව ගැටුමයි. පාස්කු ප්‍රහාරය ආශ්‍රිත සිදුවීම්වලදී මෙම නායකත්ව ගැටුම පැහැදිලිව ප්‍රදර්ශනය විය. ඒ බව පාස්කු ප්‍රහාරයේ වින්දිතයනගේ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති හා තවත් නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව දෙන ලද තීන්දුවෙන් විවෘතව ප්‍රකාශයට පත්වේ. 2019දී ගෝඨාභය රාජපක්ෂගෙන් බලාපොරොත්තු වූයේ ජාතික ආරක්ෂාව තහවුරු කරන, දේශපාලන ස්ථාවරත්වය නිර්මාණය කරන, ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කරන, අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ශක්තිමත්ව සිදුකරන නායකත්වයකි. එහෙත්, ඔහු ඒ කිසිවක් සිදු නොකළ අතර, අවශ්‍ය තීරණ නොගෙන කල් මරමින් සිට අවසානයේදී රාජ්‍ය නායකත්වයම අන්ත දියාරු තත්වයකට පත්කර ඉල්ලා අස්වූයේය.

රනිල් වික්‍රමසිංහ අගමැති හා ජනාධිපති ධුරයන්ට පත්වීමෙන් පසු ඔහු දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා නායකත්වය දෙමින් සිටියි. එය පහසු කාර්යයක් නොවේ. එසේම, ක්ෂණිකව කළ හැකි කාර්යයක් ද නොවේ. කල් අල්ලමින්, ඉවසීමෙන් කළ යුතු දෙයකි. අතරමග ඇති බාධක අනන්තය; අප්‍රමාණය. වැරදි සිදුවීමේ හැකියාව උපරිමය. ජනප්‍රිය ක්‍රියාමාර්ග ඇත්තේම නැති තරම්ය.

සාර්ව ආර්ථික කළමනාකරණය අර්බුදයෙන් ගොඩඒමේදී ඉතා වැදගත් වන අතර දැඩි රාජ්‍ය මූල්‍ය විනයක් අවශ්‍යය. ඒ සම්බන්ධයෙන් මහබැංකුවේ දැඩි පාලනය ද වැදගත් වේ. එහෙත්, පහළ සමාජ මට්ටම්වල පුරවැසියන් හට තවදුරටත් මෙම කම්පනය දරාගැනීම ද දුෂ්කරය. එම නිසා ඔවුන්ට සහන ලබාදිය යුතුය. වේදනාකාරී පියවරවලින් තොරව මෙම අර්බුදයෙන් ගොඩඒමට හැකියාවක් ද නැත. වේදනාකාරී පියවරවලට ප්‍රතිරෝධය එල්ල වීම ස්වභාවිකය. රජය අනුගමනය කරන මූල්‍ය විනය තුළ මේ වන විට උද්ධමනය පාලනය කරගෙන තිබේ. 2024 වසර තුළදී එය නැවත තනි ඉලක්කමක අගයට ගෙන ඒම සඳහා රජය අධිෂ්ඨානයෙන් කටයුතු කරයි. රාජ්‍ය ආදායම් ශක්තිමත් කරගෙන තිබේ. ආර්ථික කටයුතු මහත් දුෂ්කරතා මැද ඉදිරියට යයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක ණයට වඩා, එකී විස්තීර්ණ අරමුදල් පහසුකමේ කාර්යරාමුව තුළ වැඩකිරීම ශ්‍රී ලංකාවට මූල්‍ය විනය නැවත නිර්මාණය කරගැනීම සඳහාත්, අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමුකිරීම සඳහාත් ඉවහල් වනු ඇත. බොහෝ දේශපාලනඥයන් එයට අකැමැති විය හැකිය. එයට හේතුව වන්නේ දුෂ්කර මෙන්ම අත්‍යවශ්‍ය ද වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වගකීම ගැනීමට බිය වීමයි.

මේ වන විට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝගය එයයි. ඔහුට පිතිකරණයට ලැබී තිබෙන විකට්ටුව පන්දු යවන්නන්ට අතිශය වාසිදායක කඩතොලුවලින් පිරුණු එකකි. මේ වනවිට වේග පන්දු මෙන්ම දඟ පන්දු ද ඔහුගේ ඇඟට ද විකට්ටුවට ද කැපෙමින් තිබේ. ජනවරම පිළිබඳ සාධකය ඒ අතරින් ප්‍රධාන එකකි. එය මේ වන විට ජාත්‍යන්තරව ද බලපා තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම හා ඔහුගේ ආණ්ඩුවේ සියලු කටයුතු ව්‍යවස්ථානුකූලය. එසේම, මේ මොහොතේ බලයේ සිටින ඕනෑම ආණ්ඩුවකට කළ හැකි උපරිම හොඳ මට්ටම ලෙස සැලකිය හැකි ලෙස ඔවුන් කටයුතු කරමින් තිබේ. එයින් අදහස් කරන්නේ මෙවැනි තත්වයක් තුළ මීට වඩා වෙනස් අයුරින් වැඩකරන්නට කිසිවකුට හැකි යයි අප නොසිතන බැවිනි. මහජන සහාය යන්න අපැහැදිලි, වියුක්ත කාරණයකි. අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා කිසිවෙකුට මහජන සහාය බලමුළුගන්වාගැනීමට හැකි වේ යයි සිතිය නොහැකිය. එය දේශපාලන නායකත්වයේ මෙන්ම, මහජන දේශපාලනයේ ද තත්වයයි.

එහෙත්, බලාපොරොත්තු සහගත එක් ප්‍රතිචාරයක් මෙම ලිපිය අවසන් කරන මොහොතේ සටහන් කිරීමට හැකි වී තිබේ. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා උපරිම සහාය ලබා දෙන බවත්, ණය සහ මූල්‍ය සහන ලබා දෙමින් ණය තිරසරභාවය ශ්‍රී ලංකාවේ නැවත ඇතිකිරීම සඳහා සහාය ලබා දීමට ඉන්දියාව කැපවී සිටින බවත් ඉන්දීය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යොමු කරමින් තහවුරු කර ඇත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

සුදු කොඩි නඩුව පාලකයන්ට ම සුදු කොඩියක් වේවි ද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු