මැතිවරණ තෙලට වේලෙන දේශපාලක තල හා මහජන මීබෙටි

 


අජිත් පැරකුම් ජයසිංහ

2023 වසර දේශපාලනික වශයෙන් මැතිවරණ වසරක් හෝ අරගල වසරක් විය හැකිය. ඒ දෙකෙන් කුමක් වුවත්, එයින් ලංකාව වර්තමානයේ මුහුණදී සිටින ආර්ථික අර්බුදයට කිසිදු සාධනීය ප්‍රතිඵලයක් නොලැබේ. එහෙම නොවන බව ලංකාව හා සමාන අර්බුදයකට මුහුණ දී සිටින ලෙබනනයේ මැතිවරණවලින් ද පෙනිණි. මැතිවරණ ඉල්ලා සිටින ප්‍රධාන බලවේග දෙක වන්නේ අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය හා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයයි. ඔවුන් කියන්නේ ආර්ථික අර්බුදයට විසඳුම් ගෙන ඒම සඳහා වර්තමාන පාලකයන්ට ජනවරමක් නොමැති බවට කතාවකි.

ජනවරම යනු නීතිගත සංකල්පයක් නොවේ. කෙසේ වෙතත්, භාවිතයේ පවතින සංකල්පය අනුව, ශ්‍රී ලංකාවේ පවත්නා ක්‍රමය අනුව එය මනිනු ලබන්නේ මැතිවරණවලිනි. 2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත්වුණ ද, 2018 වසරේ පවත්වන ලද පළාත් පාලන මැතිවරණයෙන් පාලක පක්ෂය දරුණු පරාජයක් අත්කරගත් හෙයින් රාජපක්ෂවාදී විපක්ෂයේ තර්කය වූයේ එම ආණ්ඩුවට ජනවරමක් නොමැති බවයි.

වර්තමාන ජනවරම් සංකල්පය අනුව, 2022දී සිදුවූ මහජන නැගිටීම හා ඒ හේතුවෙන් 2019දී පත්වූ ජනාධිපති හා 2020දී පත්වූ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම නිසා දැන් ආණ්ඩුවට ජනවරමක් නැත. එහෙත්, 2018දී මෙන් සංයුක්ත ලෙස මෙය ප්‍රකාශ කිරීමේ හැකියාවක් විපක්ෂයට නැත. හේතුව, ජනවරම නැති බවට කරන ප්‍රකාශය පදනම් වන පැහැදිලි සාක්ෂියක් නොමැතිකමයි. මැතිවරණ වෙනුවෙන් මෙතරම් කෑදරකමක් ඇත්තේ එහෙයිනි.

පළාත් පාලන මැතිවරණයට යන රජයේ වියදම රු. බිලියන දහයක් බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි. නියෝජිතයන් 8,000ක් පමණ තෝරා පත්කරගන්නා නිසා අපේක්ෂකයන් ලක්ෂයකට වඩා සිටිනු ඇත. එක් අපේක්ෂකයකු ඇප තැන්පත් කිරීම හා ප්‍රචාරණය සඳහා අවම වශයෙන් රු. 10,000ක් වියදම් කරනු ඇතැයි ගණන් බැලුවත්, අපේක්ෂකයන් ලක්ෂය විසින් තවත් රු. ලක්ෂ දහදාහක් හෙවත් මිලියන 1000ක් හෙවත් රු. බිලියනයක් වියදම් කරනු ඇත. එහෙත්, අපේක්ෂකයකු විසින් දරනු ලබන සාමාන්‍ය වියදම මීට වඩා බෙහෙවින් වැඩි නිසා තවත් රු. බිලියන දහයක් පමණ මැතිවරණය වෙනුවෙන් අපකේෂකයන් වැය කරනු ඇතැයි සිතිය හැකිය. බොහෝ අපේක්ෂකයන්ගේ ඇප මුදල් රාජසන්තක වන නිසා රජයේ මැතිවරණ වියදමෙන් සුළු කොටසක් ප්‍රතිපූරණය වනු ඇත.

එක් අපේක්ෂකයකු මැතිවරණය වෙනුවෙන් එක් ඒ-4 කඩදාසි බන්ඩලයක සාමාන්‍ය ප්‍රමාණයක් භාවිතා කරනු ඇතැයි අවම වශයෙන් ගණන් බැලුවත් මැතිවරණය වෙනුවෙන් නාස්ති වන ඒ-4 කඩදාසි බන්ඩල සංඛ්‍යාව ලක්ෂයකි. මේ වනාහි රු. මිලියන 200ක් පමණ වෙළඳපොළ වටිනාකමක් තිබෙන කඩදාසිය. එහෙත්, නාස්ති කරනු ලබන කඩදාසි ප්‍රමාණය මෙම ප්‍රමාණය මෙන් බොහෝ ගුණයක් විය හැකිය. ඒ වනාහි පාසල් සිසුන්ට පෙළපොත්, අභ්‍යාස පොත් අච්චු ගැසීමට තිබෙන කඩදාසිය. එක් අපේක්ෂකයකු පෝස්ටර් ඇලවීම සඳහා අවම වශයෙන් තිරිඟු පිටි කිලෝවක සාමාන්‍යයක පාප්ප භාවිතා කරන්නේ යයි සිතන්න. ඒ අනුව බැලුවත්, තාප්ප බිත්තිවල උලන පාන් පිටි ප්‍රමාණය ටොන් දහයකි. ඇත්ත ප්‍රමාණයන් මීට වඩා බොහෝ වැඩි විය හැකිය. මේ වනාහි ආහාරයකි.

එක්සත් ජාතීන්ගේ UN OCHA ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකාවේ මිලියන 5.7 ක ජනතාවකට (ජනගහනයෙන් 25% ක් පමණ) හදිසි මානුෂීය ආධාර අවශ්‍ය වන අතර, ඉදිරි මාස කිහිපය තුළ එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලෝක බැංකුව ඇස්තමේන්තු කරන පරිදි, 2022දී ජනගහනයෙන් 11.7% ක් පමණ දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටෙනු ඇති අතර තත්වය ඉතාම නරක වුවහොත්, 2023 දී 22% ක දරිද්‍රතා අනුපාතයක් ඇති වේ. සියයට 73ක් පවුල්වලට ආදායම් මාර්ගය අහිමි වීම හෝ ඔවුන්ගේ ආදායම අඩුවීම සිදුවන හෙයින්, බලාපොරොත්තු සුන්වීම වැඩි වෙමින් පවතී.

අප විසඳුම් සෙවිය යුත්තේ මේ ප්‍රශ්නවලටයි. පළාත් පාලන නියෝජිතයන් දහස් ගණනක් පත්කරගැනීමෙන් ආර්ථික ප්‍රශ්නයට කිසිදු විසඳුමක් නොලැබෙන බව ඕනෑම කෙනෙක් දනිති. එහෙත්, බල දේශපාලනයේ අරමුණ එය නොවේ. පළාත් පාලන මැතිවරණයෙන් දැනට පෙනෙන විදියට සමගි ජන බලවේගය ජයගැනීමට වැඩි ඉඩක් තිබේ. ජාතික ජන බලවේගය කියන්නේ තමන් ජයගන්නා බවයි. මෙම දෙපාර්ශ්වයෙන් කුමන පාර්ශ්වය ජයගත්තත්, ඔවුන්ට ඊළඟට මහමැතිවරණයක් ද, ජනාධිපතිවරණයක් ද අවශ්‍ය වනු ඇත. ඒවාට ද අති විශාල ධනයක් අවශ්‍ය වනු ඇත. උදය ගම්මන්පිල කියන විදියට නම් සල්ලි අච්චු ගසා මැතිවරණ පැවැත්විය යුතුය. ලංකාවේ අච්චුගසන සල්ලිවලින් මැතිවරණ පැවැත්විය හැකිද? ඒ සඳහා අවශ්‍ය කඩදාසි, ඉන්ධන ආදිය ආනයනය කළ හැකිද?

එසේම, මැතිවරණ නිසා තවත් බොහෝ දේ මන්දගාමී වනු ඇත. රටේ අවිනිශ්චිතතාවක් නිර්මාණය වීම නිසා මන්දගාමී වන ප්‍රධානම දෙයක් වන්නේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ ක්‍රියාවලියයි. බලය තිබෙන්නේ කා අතේද යන ගැටලුවට වඩා මේ අවස්ථාවේදී එවැනි කාරණා වැදගත්ය. සියලු පක්ෂ එක්වී බලය බෙදාගෙන ආණ්ඩුවක් කළ යුතු වන්නේ එහෙයිනි. සියලු පක්ෂ යයි කී විට කිසිදු පක්ෂයක් බැහැර නොකළ යුතුය. කලින් ඉදිරිපත් වූ සර්වපාක්ෂික යෝජනා අසාර්ථක වන්නට ප්‍රධාන හේතුවක් වූයේ එමගින් 2019, 2020 මැතිවරණ ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැහැර කිරීමට උත්සාහ කිරීමයි. දැන් වුණත්, ආර්ථික අර්බුදය සමනය කරගන්නා තෙක් මැතිවරණ වෙනුවට සර්ව පාක්ෂික බලය බෙදාගැනීමක් සලකා බැලීමට ප්‍රමාද නැත. එහෙත්, කිසිදු පක්ෂයක් බැහැර කර සර්ව පාක්ෂික ආණ්ඩු පිහිටුවිය නොහැකිය.

කවුරු බලය ගත්තත්, ක්‍රියාත්මක කිරීමට තිබෙන්නේ සීමිත විසඳුම් කීපයකි. එක්කෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ණය ප්‍රතිව්‍යූහගත කරගත යුතුය. ඒ සඳහා රාජ්‍ය ආදායම් හා වියදම් අතර තුලනයක් නිර්මාණය කරගත යුතුය. එනම්, රාජ්‍ය ආදායම් ඉහළ නංවාගනිමින් වියදම් අඩුකර ගත යුතුය. ආනයන සිදුකළ හැක්කේ අපනයන ආදායමේ තරමට පමණි. එසේම, එම තත්වය ස්ථාවර කරගත යුතුය. ණය මත රඳා පැවති පැරණි ක්‍රමය සම්පූර්ණ පරිවර්තනයකට ලක්කළ යුතුය.

එසේ නැතිනම්, ණය ගෙවීම දිගටම පැහැරහරිමින්, පැවති ක්‍රමය රැකගත යුතුය. ඒ සඳහා ද රාජ්‍ය ආදායම් හා වියදම් අතර තුලනයක් නිර්මාණය කරගත යුතුය. එනම්, රාජ්‍ය ආදායම් ඉහළ නංවාගනිමින් වියදම් අඩුකර ගත යුතුය. ආනයන සිදුකළ හැක්කේ අපනයන ආදායමේ තරමට පමණි. මේ විකල්පය නම් ස්ථාවර කරගත හැකිද යන්න පවා ගැටලුවකි.

මෙම විකල්ප දෙක හැර තවත් විකල්ප තිබීම “රජතුමනි වෙනත් අඹ ගස් ද, අඹ නොවූ ගස් ද හැර තවත් ගස් තිබේද?” වැනි මහින්ද-දේවානම්පියතිස්ස අඹ ප්‍රශ්නය වැනි එකක් නොවේ. සරලව කීවොත් වෙන විකල්ප නැත.

දේශපාලකයන් හා දේශපාලන පක්ෂ බලයට කෑදරය. එම බල තණ්හාවන් සන්තර්පණය කිරීමට දේශපාලකයන්ට සමීප පිරිස් උත්සාහ කිරීම ඔවුන්ගේ වැඩකි. එහෙත්, තල නම් තෙලට වේලේ – මීබෙටි කුමට වේලේ කීවා සේ මහජනතාව බල දේශපාලනය වෙනුවෙන් වේලෙන්නේ කුමටද? භයානක තත්වය වන්නේ දේශපාලකයන් තම පටු අරමුණු ඉටුකරගැනීම සඳහා දැනටත් වලේ වැටී සිටින යන්තමින් නැගිට ගොඩ ඒමට උත්සාහ කරන ජනතාවගේ පා යටින් වඩාත් ගැඹුරු වලවල් කැපීමයි.

(2022 ජනවාරි 8 අනිද්දා පුවත්පතෙහි පළවිය.)

Adapted from praja.lk

Comments

Popular posts from this blog

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

සුදු කොඩි නඩුව පාලකයන්ට ම සුදු කොඩියක් වේවි ද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු