2019-08-29

ඇමසන් වනාන්තරයේ මාධ්‍ය ගින්නට ඊට පස්සෙ මොකක්ද වුණේ?

අජිත් පැරකුම් ජයසිංහ (2019 සැප්තැම්බර් 1 ලංකා පුවත්පතේ පළ වේ)

ඇමසන් වනය ගිනි ගනිමින් තිබෙන බව පසුගියදා මාධ්‍ය මගින් වාර්තා කරන ලදී. ඇමසන් වනය පමණක් නොව කොංගෝ වනාන්තරය ද ගිනි ගැනීමට පටන්ගෙන ඇති බව ද ඇතැමෙක් පැවසූ හ. මෙය ලෝක විනාශයේ පෙරනිමිත්තක් ලෙස ද ඇතැමෙකු දුටුව හ. ඇතැමෙක් මෙය පෘථිවියේ පෙණහළු ගිනිගැනීමක් ලෙස හඳුන්වති. වැසි වනාන්තර අප ජීවත් වන ලෝකයේ පෙණහළු වන්නේ ඇයි?
Sinhala Tamil English Translations and Content Writing
ශාක ප්‍රභාසංස්ලේෂණයේදී හෙවත් හිරුඑළිය, කාබන් ඩයොක්සයිඩ් හා ජලය භාවිතා කර ග්ලූකෝස් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී ඔක්සිජන් මුදාහරියි. එසේම, ශාක විසින් තම පරිවෘත්තීය කටයුතු වෙනුවෙන් ශක්තිය ලබාගැනීම සඳහා ග්ලූකෝස් දහනය කිරීමට නැවතත් ඔක්සිජන් භාවිතා කරයි. ඇමසන් වැසි වනාන්තරය පිළිබඳ විශේෂඥයකු වන ඩෑන් නෙප්ස්ටඩ් පෙන්වා දෙන පරිදි ඇමසන් මෙන් ම වනාන්තරය එළිපෙහෙළි කර වගා කරන සෝයා බෝංචි ද එම දෙය ම කරයි. මෙම පෙණහළු කතාවේ යම් අතිශයෝක්තියක් ඇති බව එයින් පෙනේ. ඇත්තෙන් ම ඇමසන් වනාන්තරයේ ගිනි පිළිබඳ සමස්ත කතාව ම අතිශයෝක්තියෙන් හා අධි සංවේදීකරණයෙන් ද බොහෝ දුරට බොරුවෙන් ද පිරී ඇති බව ද පෙනේ.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්, කලාකරුවන් වන මැඩෝනා, ජේඩන් ස්මිත්, ලියනාඩෝ ඩිකැප්‍රියෝ, ක්‍රීඩකයන් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැනි අය විසින් නිකුත් කරන ලද ට්වීට් පණිවුඩ කෝටි ගණනින් ලොව පුරා බෙදාහැරිනි. එහෙත්, ඒ සමග යොදාගැනුණු ඡායාරූප ව්‍යාජ ඒවා බව සීඑන්එන් සහ නිව්යෝක් ටයිම්ස් විසින් පෙන්වා දෙන ලදී. මැක්රොන් සහ ඩිකැප්‍රියෝ පළ කළ ඡායාරූප වසර 20කට ඉහතදී සිදු වූ ගිනිවල රූප ය. මැඩෝනා සහ ස්මිත් පළ කළේ අවුරුදු 30ක් පරණ ඒවා ය. ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයන් පළ කළ ඡායාරූප ඇමසන් වනාන්තරයේ නොව මොන්ටානා, ඉන්දියා, ස්වීඩන් වැනි වෙනත් තැන්වල ඒවා ය.
ලංකාවේ මාධ්‍ය විසින් මෙම වාර්තා ප්‍රචාරය කළ අන්දමට ඒ වන විටත් ඇවිළෙන ගින්නෙන් ඇමසන් වනාන්තරයේ ලංකාවේ භූමිය මෙන් කිහිපගුණයක් ඇවිළී හමාර ය. ලංකාවේ මාධ්‍ය කියූ ආකාරයට ගින්න පැතිරුණ වේගය අනුව මේ වන විට ඇමසන් වනාන්තරය දැවී අවසන් විය යුතු ය. එසේ නොවුණේ ඇයි? ඇමසන් වනාන්තරයට වැසි වැටීමෙන් ගිනි නිවුණු බව ද ඇතැම් මාධ්‍ය වාර්තා කළ හ. මේ අතර කොංගෝ වනය ද ඒ අන්දමින් ම ගිනිගනිමින් ඇති බව වාර්තා කළ අය ද වූ හ. මෙය හරියට ලෝක විනාශය වැනි ය.
බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝට එරෙහිව පටන් ගත් විරෝධය ධනවාදයට එරෙහි උග්‍ර විරෝධයක් ද, කෘෂි රසායනික ඇතුළු තාක්ෂණ විරෝධයක් ද, සංවර්ධන විරෝධයක් ද දක්වා දිගු විය. ධනවාදය හෙවත් ලාභය විසින් මෙහෙයවනු ලබන සමාජ ක්‍රමය මිනිසා පමණක් නොව, මිනිසා විසින් පරිසරය සූරාකෑමට ද ඉවහල් වන බව ඇත්තකි. මිනිසා පරිසර සංහාරය ආරම්භ කළේ ආහාර එක්රැස් කරන්නකුගේ සිට ආහාර වගා කරන්නකු දක්වා විප්ලවීය පරිවර්තනයකට ලක් වුණ ඈත යුගයේ පටන් ම ය.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන ප්‍රසිද්ධ කියමන සම්බන්ධයෙන් අප දන්නා මුල් යටත් විජිත යුගයේ චින්තකයකු වූ ෆ්‍රැන්සිස් බේකන් මේ පිළිබඳ අපූරු ප්‍රකාශයක් කළේ ය. මධ්‍යතන යුගයේදී සුවිශේෂ ස්ත්‍රීන් මායාකාරියන් ලෙස හඳුන්වා පල්ලිය විසින් දඩයම් කළ ආකාරය ආදර්ශයක් ලෙස දක්වමින් බේකන් පවසන්නේ සොබා දහම යනු යාන්ත්‍රික උපකරණ මගින් වධයට භාජනය කළ යුතු ස්ත්‍රියක බවයි. ලාභය හා ප්‍රාග්ධන සමුච්චකරණය වෙනුවෙන් සොබාදහම සූරා කෑමේ ආදීනව දැන් ලෝකයාගේ නෙත් හමුවේ ඇත. මෙම ගැටුම විසින් ධනවාදය පමණක් නොව මිනිස් වර්ගයාගේ සමස්ත පැවැත්ම ම අභියෝගයට ලක් කර ඇති බව ඇත්තකි. ධනවාදය සිය අසාර්ථකත්වය ප්‍රදර්ශනය කරන ප්‍රමුඛ ම ස්ථානය මෙයයි. 
ඇමසන් ගින්න පිළිබඳ ඇත්ත කතාව වෙනස් එකකි. ඇමසන් වනාන්තරයේ බ්‍රසීල පැත්තේ මෙන් ම බ්‍රසීලයට මායිම් වන බොලීවියා සහ පේරුවල ද දැවැන්ත ගිනි පැතිරෙමින් තිබෙන බව බොරුවක් නොවේ. එහෙත්, ෆෝබ්ස් වෙබ් අඩවියේ පළ වූ පහත දැක්වෙන වගුවෙන් ප්‍රකාශ වන පරිදි ගිනි ඇති වන ජනවාරි-අගෝස්තු සමය තුළ මීට වඩා දරුණු ගිනි ඇති වූ වර්ෂ තිබේ. 2018ට සාපේක්ෂව 2019 වසරේ ගිනිගැනීම්වල වර්ධනයක් දකින්නට ලැබෙනමුත්, 2016 වසරට සාපේක්ෂව බැලූ කල 2019 වසරේ ගිනිගැනීම්වල අඩුවක් දැකිය හැකි ය.
බ්‍රසීලයේ දක්ෂිණාංශික ජනාධිපතිවරයා පරිසර සංහාරයන් පාලනය නොකිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක් වීම සාධාරණ ය. ජනාධිපති බොල්සොනාරෝ විසින් අරමුදල් කපා හරින ලද නිසා උරණ වූ රාජ්‍ය නොවන සංවිධාන වනාන්තරවලට ගිනිතැබූ බව පැවසීම විහිළුවකි. එහෙත්, මෙම ගිනි ඇති කරනු ලබන්නේ බොහෝ විට ගොවීන් විසින් බව ද බොරුවක් නොවේ. ගොවීන්, දැව ජාවාරම්කරුවන් ආදීන් විසින් ඇති කරනු ලබන ගිනි මෙසමයේ තිබෙන අධික වියළි කාලගුණය හේතුවෙන් වේගයෙන් පැතිරී යයි.
මේ සමග තිබෙන සිතියමෙහි දැක්වෙන ආකාරයට ඇමසන් වනාන්තරය දකුණු ඇමරිකාවේ වෙනිසියුලාව, කොලොම්බියාව, ඉක්වදෝරය, පේරු, බොලීවියාව, බ්‍රසීලය, ප්‍රංශ ගුයනාව, සුරිනාම් සහ ගයනා යන රාජ්‍යයන්ට අයත් භූමිභාගයන් තුළ පැතිරුණ ලොව පරිසර තුලනයට හා ගෝලීය උණුසුම වැළැක්වීමට අතිශය වැදගත් වන වැසි වනාන්තරයකි. එය රැකගැනීම අතිශය වැදගත් ප්‍රමුඛතාවක් බවට සැකයක් නැත. එහෙත්, ව්‍යාජ අධි සංවේදීභාවයන්ට එය කළ හැකි ද?
ඇමසන් වනාන්තරයේ ගිනි ගැන වාර්තා කරන බොහෝ ජනමාධ්‍යකරුවන් සිටින්නේ ගිනි ඇති වන ප්‍රදේශවලට ගුවනින් කිලෝමීටර් 2500කටත් වඩා දුරබැහැර සාඕ පෝලෝ, රියෝ ද ජැනයිරෝ වැනි අගනාගරික ප්‍රදේශවල ය. ඇමසන් වනාන්තර ප්‍රදේශවල සිට වාර්තා කරන බ්‍රසීලයේ ප්‍රධාන පෙළේ පරිසර වාර්තාකරුවකු වන ලියනාඩෝ කවුටිඤ්ඤෝ පවසන පරිදි මෙම වනාන්තර ගිනි එතරම් සුවිශේෂ නැත. මීට කලින් වනාන්තර ගිනි මීට වඩා දරුණු වූ සමයන්හිදී ගෝලීය හිස්ටීරියාව මෙතරම් නොවූ බව ඔහු පෙන්වා දෙයි.
ඇමසන් වනාන්තරයේ 80%ක් තවමත් සුරක්ෂිත ය. 50%ක ප්‍රමාණයක් පාරිසරික නීති මගින් වන විනාශයෙන් ආරක්ෂිත ප්‍රදේශ බවට පත් කර තිබේ. 2004-2012 කාලය තුළදී ඇමසන් වන විනාශය 70%කින් අඩු වූ බව ෆෝබ්ස් වෙබ් අඩවිය සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් වාර්තා කරයි. 2012න් පසු වර්ධනයක් දකින්නට ලැබුණත්, එය වන සංහාරය උපරිම වූ 2004ට සාපේක්ෂව ගත් කල එයින් 25%ක් පමණි. පසුගිය සියවසේදී පමණක් ඇමසන් වනාන්තරයෙන් 20%ක් විනාශ විය. වනාන්තර විනාශයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ සෝයා බෝංචි ඇතුළු කෘෂි භෝග වගාවයි.
ඇමසන් වනාන්තරයට ආදරය කරන අය සෝයා බෝංචි ආහාරයට ගැනීම නැවැත්විය යුතු බව ඇතැම් පටු චින්තකයෝ පවසති. එහෙත්, ඔබ ප්‍රෝටීන් ලබාගැනීම සඳහා මස් හා බිත්තර කන්නේ නම්, කිරි බොන්නේ නම්, දැනගත යුතු කාරණයක් වන්නේ කුකුළන් හා වෙනත් සතුන්ට දෙන සත්ව ආහාරවල ද සැලකිය යුතු සෝයා බෝංචි ප්‍රමාණයක් තිබෙන බවයි. බ්‍රසීලයේ ගිනි ගැන ප්‍රංශයේ අවධානය මෙතරම් යොමු වන්නට සෝයා බෝංචි ද එක් හේතුවකි. යුරෝපා සංගමය සමග තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම දීර්ඝ කරගැනීමට බ්‍රසීල ගොවීන්ට අවශ්‍ය ය. එහෙත්, බ්‍රසීල ආහාර නිෂ්පාදන ප්‍රංශයට පැමිණීම වැඩිවීම ප්‍රංශ රජය රුස්සන්නේ නැත. කෘෂි ව්‍යාපාර බ්‍රසීලයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%ක් තරම් විශාල ය. සෝයා බෝංචි ඇතුළු කෘෂි භෝග වගාවන් එරට ජනතාවගේ ආර්ථිකයට සුවිසල් දායකත්වයක් සපයයි.
එහි තව පැත්තක් ද තිබේ. නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති කොන්දේසි අතර දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතිය ක්‍රියාත්මක කිරීම, ඇමසන් වනාන්තරය ආරක්ෂා කිරීම ආදී කරුණු තිබේ. බ්‍රසීල ජනාධිපති බොල්සනාරෝ පැරිස් සම්මුතියෙන් ඉවත් වන බවට තර්ජනය කරන්නෙකි. ඇමසන් වනය ආරක්ෂා කිරීම සඳහා බටහිර රටවල් සපයන අරමුදල් බ්‍රසීල රාජ්‍ය නොවන සංවිධානවලට ලැබුණ ද, එම සංවිධාන විසින් ප්‍රතිපත්ති වෙනස් කිරීමේ උද්දේශන ක්‍රියා සිදු කළ ද, ලංකාවේ මෙන් ම රාජ්‍ය නොවන සංවිධාන ඇමසන් වනයේ ජීවත් වන ජනතාව දිනාගැනීමට අසමත් වී ඇති බව ද බොරුවක් නොවේ.
ඇමසන් වනාන්තරය යනු ජනශුන්‍ය භූමියක් නොවේ. එහි මිනිසුන් වාසය කරන්නේ වසර 11,000ක් තරම් ඈත වකවානුවක සිට බව අල් ජසීරා වෙබ් අඩවිය පවසයි. එහි දැනටත් මිලියන 30ක් ජනතාව ජීවත් වෙති. ඔවුන්ගෙන් තුනෙන් දෙකක් ම ජීවත් වන්නේ වනාන්තර මැද නගරවල ය. ගෝත්‍ර 400කට අයත් මිලියනයක් පමණ වන ආදිවාසීන් ද මෙම ජනතාව අතරට අයිති ය. ඇමසන් වනාන්තරය යනු මේ මිනිසුන් ද ඇතුළත් භූමියකි. එහි සංරක්ෂණය සිදු කළ යුත්තේ මේ මිනිසුන් ගැන ද සැලකිල්ලට ගනිමින් ය.
පසුගිය ජුලි මාසයේ ඉක්වදෝරයේ ඇමසන් වනයේ 2000ක පමණ කුඩා ජනගහනයකින් යුත් ආදිවාසී ප්‍රජාවක් ඇමසන් වනාන්තරයේ තෙල් සම්පත උකහාගන්නට පැමිණි තෙල් සමාගමකට හා එරට රජයට එරෙහිව නඩු කියා ජයග්‍රහණය කළ බව ද මෙහිදී සටහන් කළ යුතු ය. වනාන්තරයේ ජනතාවගේ අනුමැතියකින් තොරව ඉක්වදෝර රජයට වනාන්තරයේ ඉඩම් සමාගම්වලට විකිණිය නොහැකි බව නඩු තීන්දුවේ හරය විය.
රජය පොදු දේපලවල හිමිකරු නොව ඒවායේ භාරකරු පමණක් බව එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් මහමාන්කඩවල පියරතන හිමියන් විසින් පවරන ලද නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවෙහි පැහැදිලිව දැක්වේ. මෙය දේවානම්පියතිස්ස රජු සමයට අයත් සෙල්ලිපියක පවා දැක්වෙන යහපාලන මූලධර්මයකි. එය ලොව සෑම දේශයකට ම, සෑම කලකට ම අදාළ ය.