පුරුෂ විරෝධයට ප්‍ර‍ංශයෙනුත් විරෝධය

කැතරින් ඩෙනුව් 
#MeToo කැම්පේන් එකෙන් අවදි වුණ ලංකාවේ ස්ත්‍රීවාදීන් ඉතා දැඩි ආන්තික ස්ථාවර ප්‍ර‍කාශයට පත් කරන්නට පටන් ගත්තා. ‘ප්‍ර‍ගතිශීලී පිරිමියකු' ලෙස හඳුන්වනු ලැබීමෙන් උද්දාමයට පත් විදර්ශන කන්නන්ගර පිරිමිභාවය වරදකාරී බරක් සහිතව සැලකිය යුතු දෙයක් බව පැවසුවා. මේ ස්ත්‍රීවාදී ප්‍ර‍වණතාව විවේචනය කළ අයව ශාරීරිකව විනාශ කළ යුතු බව සිය අනුගාමිකයන්ට යෝජනා කරන විදියේ අදහසකුත් ඔහු පළ කළා.

ඇමරිකාවට හෙම්බිරිස්සාව හැදෙනකොට ලංකාවට නිව්මෝනියාව හැදෙන කතාවේ ම තවත් පැතිකඩක් තමයි මේ. #MeToo කැම්පේන් එක ඉදිරියට ගෙනා කිසිවෙකු හෝ මේ තරම් ආන්තික වුණේ නැහැ. 

මේ ආන්තික ස්ථාවරය ජාතික ප්‍ර‍ශ්නය සම්බන්ධයෙනුත් ඇතැමුන් දක්වනවා. එයින් කියවෙන්නේ මහ ජාතිය හෙවත් සිංහල බවට පත් වීම නිසා එම ප්‍ර‍ජාවට අයත් වන ‘ප්‍ර‍ගතිශීලීන්' වරදකාරී බරකින් කටයුතු කළ යුතු බවයි. මෙවැනි ආන්තික අදහස් අවසානයේදී සේවය කළේ සුළුතර ප්‍ර‍ජාවන් බලසතු කිරීමේ අරමුණු වෙනුවෙන් නොවෙයි. ඒවා සේවය කළේ ජාතිවාදය වෙනුවෙන්. ඒක වුණේ මධ්‍යස්ථ මතධාරීන් ද ප්‍ර‍තිගාමීන් ලෙස නම් කර බැහැර කිරීම හරහායි. ස්ත්‍රීවාදය ද මේ අන්තයට තල්ලු වෙමින් තිබෙනවා.

බලය යොදා කාන්තාවන්ට එරෙහිව කරනු ලබන හිංසනය හෙළා දැකිය යුතු බවට කිසිදු තර්කයක් නැහැ. එහෙත්, පුරුෂ විරෝධය හෝ ලිංගික විරෝධය විසඳුමක් නෙමෙයි. එසේම, ආදරය, ලිංගිකත්වය, පුරුෂභාවය, පීතෘමූලිකත්වය වැනි කරුණු පිළිබඳ තිබිය යුත්තේ ගැඹුරු සංවාදයක්. සමාජය වඩා යහපත් අන්දමින් වෙනස් කිරීම සඳහා අවශ්‍ය චර්යා වෙනස්කම් ඇති කිරීමට මේවා ඉවහල් කර ගත යුතුයි. පිරිමින් බැහැර කරන කතිකාවකට ඇති කළ හැකි සමාජ වෙනසක් නැහැ. ප්‍ර‍තිරෝධය අවශ්‍යයි. හැබැයි, ප්‍ර‍තිරෝධය නෙමෙයි වැදගත් ම දෙය. විසඳුම තමයි වැදගත්.

කෙසේ වෙතත්, මෙම ජනප්‍රිය පුරුෂ විරෝධී ස්ථාවරය ප්‍ර‍ශ්න කිරීම අප පමණක් කරන දෙයක් නෙමෙයි. ප්‍ර‍ංශයේ කාන්තාවන් බලසතු කිරීම සම්බන්ධයෙන් සංකේතාත්මක චරිතයක් ලෙස සැලකෙන ප්‍ර‍කට නිළි කැතරින් ඩෙනුව් ඇතුළු ප්‍ර‍මුඛ කාන්තා ක්‍රියාකාරිනියන් 100ක් විසින් ලෙ මොන්ඩ් පුවත්පතේ පළ කරන ලද ලිපියක් නිසා දැන් මේ පිළිබඳ අලුත් කතාබහක් ඇති වෙලා.

#MeToo කැම්පේන් එක සීමාව ඉක්මවා ඇති බව කියන එම නිවේදනයෙන් කියැවුණේ අධි සංවේදී චෝදනා ලිංගික නිදහසට හානිකර බවයි. ඌරන්ව මස්මඩුවට යැවීමේ තදියම කාන්තාවන් බලසතු කිරීමට ඉවහල් නො වන බව හා එය සේවය කරන්නේ ලිංගික නිදහසේ සතුරන්ගේ උවමනාවන්ට බවත් මෙම නිවේදනයෙන් තර්ක කරනු ලැබුවා. ඌරන් ලෙස හැඳින්වුණේ කාන්තාවන්ට එරෙහිව ලිංගික හිංසනයේ යෙදෙන පුද්ගලයිනුයි.

ඔවුන් ඉදිරිපත් කළ තර්කයක් වූයේ ලිංගිකත්වය සම්බන්ධයෙන් අසභ්‍යත්වය දැඩි ලෙස පිළිකුල් කිරීමේ ආකල්පය හේතුවෙන් කාන්තාවන් වින්දිතයන් ලෙස පෙන්නුම් කිරීම සදහට ම වැළකිය හැකි බවයි. පිරිමින් ප්‍ර‍සිද්ධ පාපොච්චාරණ කිරීමට බල කිරීම හරහා ඒකාධිපති සමාජයක වටපිටාවක් නිර්මානය කළ හැකි බව ද එහි සඳහන් වුණා.

“කාන්තාවන් ලෙස අප මෙම ස්ත්‍රීවාදී ප්‍ර‍වණතාව වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. එහි බලය යොදා කරනු ලබන හිංසනයන් හෙළා දැකීමෙන් ඔබ්බට ගොස් පිරිමින් හා ලිංගිකත්වය කෙරෙහි වෛරයකුත් අඩංගු වෙනවා," යි එහි දැක්වෙනවා.

මා අලුතින් රැස පුවත්පතට ලියන කොලමේ මේ පිළිබඳ විස්තර පළ වෙනවා. ලබන සතියේ බලාපොරොත්තු වන්න.

කැතරින් ඩෙනුව් ඇතුළු පිරිස පළ කළ අදහස පහත දැක්වෙන ලිපිය පිළිබඳ විස්තර මෙතනින් කියවන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /විදර්ශන කන්නන්ගර පිරිමිභාවය වරදකාරී බරක් සහිතව සැලකිය යුතු දෙයක් බව පැවසුවා/
    විදර්ශන කන්නන්ගරට ඕක පවස පවස ඉන්නේ නැතුව කෑල්ල කපා දාල වරදකාරී බවෙන් මිදෙන්න පුළුවන්නේ.
    එහෙම නැත්තන් අර මහ බඹා වගේ ' මහ බඹු නිදැල්ලේ කෙළිනා විටදි වැල්ලේ' වගේ නොමිලේ කරගන්නත් පුළුවන් ඇති තවමත්.

    ReplyDelete
  2. ඇමරිකාවේ #MeToo එකෙත් පුරුශ විරෝදී, අන්ත වාමාංශික, 3rd wave feminist කාන්තාවො රැලක්ම ඉන්නව....
    මේ අයට තියෙන්නේ එක පැත්තකින් හිලරි කියන ඇමරිකාවේ කලු සුද් භේදය අවුලවමින් චන්ද කැම්පේන් එක කල දූශිත ගැහැනිය පරදවා ට්‍රම්ප් ජයග්‍රහනය කල එක ගැන තියෙන අමාරුව...අනෙක් පැත්තෙන් ධනවාදී සාර්තක බටහිර සමාජය ගැන ඇති වාම මූලික වෛරය... අර neo Marxist Frankfurt school එකේ (https://en.wikipedia.org/wiki/Frankfurt_School) කියවෙන විදිහට ධනවාදී සමාජ මාර ස්ත්‍රී විරෝදීය, පට්ට ලිංගවාදීය කියන මතය ගෙනල්ල ධනවාදය පෙරලන්න ඔනෙ කියන මතය තමා

    ඇමරිකාව වගේ කාන්තාවන්ට හා පුරුශයින්ට ඉතාම සමාන අයිතිවාසික ඇති රටක ඉදගෙන තමන් මර්ධනයට ලක්වෙනවා කියල මොරදෙන මේ අය ඉරානය, සවුදිය වගේ රටවල කාන්තාවො ගැන වචනයක්වත් කතාකරන්නේ නෑ

    ReplyDelete
  3. මෙම ලිපිය තුල politically incorrect ප්‍රතාශ දෙකක් ඇත.
    "පුරුෂ විරෝධයට ප්‍ර‍ංශයෙනුත් විරෝධය"
    මෙය "පුරුෂ විරෝධයට ප්‍ර‍ංශයෙන් විරෝධය" ලෙස ලිවිය යුතුය.

    අනෙක කාන්තාවන්ට එරෙහිව ලිංගික හිංසනයේ යෙදෙන පුද්ගලයින් ඌරන් ලෙස හැඳින්වීමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා