2017-09-19

ඔය ළමයා තාත්තට හෙට ඉස්කෝලෙට එන්න කියන්න. උඹත් තාත්තට එන්න කියපන්

මෑත වකවානුවේදී පළමු වතාවට තමයි දින පහකට පසුව බ්ලොග් සටහනක් තබන්නෙ. බ්ලොගයට එන්නට නො ලැබුණේ මගේ නැන්දම්මාගේ මරණය නිසා ය.

ලිලී ගිමාරා ජීරසිංහ 1936 වසරේ අකුරැස්සේ සාමාන්‍ය පවුලක උපන් දියණියක්. ඇගේ පියා ඉහළ නිලධාරියකුට පහර දීම නිසා රස්සාව නැති කරගෙන සුළු ව්‍යාපාරවල යෙදුණු හිටපු පොලිස් නිලධාරියෙක්. ඇගේ මව ඔහුගේ දෙවන කසාදයයි. රජයට අයත් ගොඩපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි මේ දැරියගේ ජීවිතය වෙනස් වුණේ කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ආරම්භ වුණ පහේ ශිෂ්‍යත්ව විභාගයෙනුයි.

ඇගේ පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබුණේ මධ්‍යම පන්තික පවුලක දැරියක හා ඇයයි. විදුහල්පතිනිය ශිෂ්‍යත්වය සමත් වීම ගැන කියා ඇයට පියා කැටුව එන්නට කීවේ මෙහෙමයි: “ඔය ළමයා (අනෙක් දැරිය) තාත්තට හෙට ඉස්කෝලෙට එන්න කියන්න. උඹත් (මගේ නැන්දම්මා) තාත්තට එන්න කියපන්."

සිංහල මාධ්‍යයෙන් රජයේ පාසලක ඉගෙන ගනිමින් සිටි ඇයට කන්නන්ගර මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මුල්ම මධ්‍ය මහා විද්‍යාල අතරින් එකක් වූ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකාගාරයේ නැවතී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලැබුණේ පහේ ශිෂ්‍යත්වය නිසා ය.

ඇය තෙලිජ්ජවිල පාසලේ ඉගෙනුම ලබමින් සිටින අතර ඇගේ මව මිය ගියා ය. වරක් නිවාඩුවට ගෙදර යන විට ඇගේ බාල ම නැගනිය බලා ගැනීම සඳහා දක්ෂ සිසුවියක වූ ඇගේ නැගනිය පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙර පාසල් ගමන නවතා තිබුණු බව ඇය මා සමග කීවේ මහත් කණගාටුවෙනි. මේ නැගනිය දිළිඳු ගොවියකු සමග විවාපත් වී තවමත් දිළිඳු ජීවිතයක් ගත කරයි. මගේ නැන්දම්මා ඇය වෙනුවෙන් බොහෝ දේ කළේ ඇගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම ගැන ඇති වූ ශෝකය නිසා ය. ඒ ඉරනම මගේ නැන්දම්මාට අත් වී නම් ඇය ද එසේ වන්නට බොහෝ ඉඩ තිබිණි.

ජ්‍යේෂ්ඨය සමත් වූ පසු ඇය වැඩිදුර අධ්‍යාපනය නවතා ගුරු වෘත්තියට බැඳුණා ය. පසු කලෙක අකුරැස්සට වඩා ගම්බද ප්‍රදේශයක් වූ යක්කලමුල්ලේ කරාගොඩ ගමේ සිංහල පුහුණු ගුරුවරයකු සමග විවාපත් වූ ඇය විශ්‍රාම ලබන තුරු ම ගමේ පාසලේ ඉංග්‍රීසි උගැන්වීමෙහි යෙදුණා ය.

ගම්බද පාසල්වලදී ඇගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයෙන් ගත හැකි ප්‍රයෝජනය රටට ලැබෙන්නට ඇතැයි මම නො සිතමි. ඇය හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි, ඉංග්‍රීසි සාහිත්‍යය ඇසුරු කළ, ඉංග්‍රීසි බස ගැන නො නැසුණු ඇල්මක් මරණය ආසන්න කාලය දක්වා ම නඩත්තු කර ගත් පැනසර මනසක් ඇති තැනැත්තියකි. හිටි හැටියේ දුරකථන ඇමතුමක් දී ඇතැම් සිංහල වදනකට සමාන ඉංග්‍රීසි වදන කුමක්දැයි ඇය මගෙන් බොහෝ වර අසා ඇත. භාවිතය අඩු වීම නිසා අමතක වී යන භාෂා දැනුම රැක ගැනීමට ඇය නිරතුරු උත්සාහ කළා ය.

තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ, මීරිගම ගුරු විද්‍යාලයේ ඇය සමග එකට සිටි පැරණි මිතුරන් සමග ඉංග්‍රීසියෙන් කතා කිරීම ද ඇගේ සිරිතක් විය. වර්තමානයේ බොහෝ ඉංග්‍රීසි ගුරුවරුන් ළඟ නැති ඉහළ ප්‍රමිතියක් ඇය සතු විය. එහෙත්, එයින් ප්‍රයෝජනයක් නො ගැනිණි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව වනාහි සාමාන්‍යයෙන්මත් ගල් බොරළු යට යමින් ගොමරිති උඩ මතු වන තැනකි.

ඇගේ දෙවන දියණිය හා විවාපත් වූ මට ඇගේ විශේෂ කැමැත්තක් තිබුණේ මා එවකට ඉංග්‍රීසි ගුරුවරයකු වූ නිසා වන්නට ද ඇත. යුද්ධයට විරුද්ධව හා දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් වැඩ කිරීම නිසා මගේ පළමු දියණිය ලැබෙන්නට සිටියදී මට ස්වයංව රටින් පිටුවහල් වන්නට සිදු වූ අවස්ථාවේත්, මගේ දියණිය උපන් දාට පෙර දා මා වෙන දෙයක් වුණාවේ ය කියා ලංකාවට පැමිණ, දරුවාත්, බිරියත් සමග මගේ නැන්දම්මාගේ හා මාමණ්ඩියගේ නිවසේ සැඟවී සිටි සමයේත්, මට ගුරු රැකියාව අහිමි වී සිටි වසර දෙකහමාරක පමණ කාලයේදීත්, මරණය දක්වාමත් ඇය මා කෙරෙහි තිබූ ආදරය, සෙනෙහස බිඳකිනුදු අඩු නො කළා ය. 

ජනප්‍රිය නො වන මතයක් දැරීම නිසා මා අමාරුවේ වැටී සිටි යුද කාලයේ මා උපන් පවුලෙන් පවා මට කෙණහිලි සිදු විය. බියෙන් පළා යමින් සිටි මා සමග මගේ බිරිය තැනින් තැනට ගිය ඇතැම් විටක ඇය ද කාරයේ පසුපස අසුනේ සිටියා ය. ඒ දොම්නස් වකවානුවේ ඇගේ මුවින් කිසිදු මැසිවිල්ලක් නැඟුණේ නැත.

ඇගේ ජීවිතය ගැන ඇය මුළුමනින් ම තෘප්තිමත්ව සිටියේ නැත. ඇගේ අතෘප්තියට හේතුව කුමක් ද යන්න ඇය දැන සිටියේ නැත. ඇයත්, ඇගේ සැමියාත් අතර කිසිදු අඬදබරයක් තිබුණේත් නැත. ඇගේ දරුවන්ගේ ජීවිත ද අසාර්ථක ඒවා නො වේ. ඇය විහිළුවෙන්, තහළුවෙන් සතුටින් ජීවත් වූ ගැහැනියකි. ඇගේ මරණය දැනගත් අප මිත්‍ර සිසිර යාපා මට සිහිපත් කළේ ඇය සම්බන්ධයෙන් මා ඉස්සර කියූ කරුණකි. ඒප්‍රන් එකක් ඇඳ කුස්සියේ උයන ගාලු දිස්ත්‍රික්කයේ එකම ගෘහනිය ඇය බව මා ඉස්සර කී වග සිසිරට මතක තිබිණි.

ඇය සතුව අපූරු සාහිත්‍යයක් ද තිබිණි. සමාජ සේවය කළ ඇගේ සැමියා සොයා පැමිණෙන අයට ඇය මෙසේ කියයි: “අන්න සුදු සරොං වගයක් ඇඳලා ගියා. යක්කලමුලු යන්න ඇති."

සරොං වගයක්, කමිස වගයක් වැනි ජන වහරක් දකුණේ ඇද්දැයි විපරම් කර බැලූ මට දැන ගන්නට ලැබුණේ එය ඇගේ වාංමාලාවේ පමණක් ඇති යෙදුමක් බවයි. ගෙදරදොර මනා ලෙස පවිත්‍රව තබා ගන්නට කැමති ඇය මසකට දෙකකට වරක් මුළු නිවස ම අස් කර, සියලු දේ සෝදා පිරිසුදු කර ගත්තා ය. මේ වැඩේට ඇය කිව්වේ ග්‍රාස්හෝප් කරනවා ය කියා ය. එය කුමන භාෂාවකවත් ඇති වදනක් නො වේ.

ඇයට තිබූ ප්‍රශ්නය මා තේරුම් ගත් ආකාරයට නම් ස්වාත්ම ඵලසාධනය සම්බන්ධ ගැටලුවකි. ස්වාත්ම ඵලසාධනය ලෙස සිංහලට පරිවර්තනය වන්නේ self-actualization නම් සංකල්පයයි. එයින් අදහස් වන්නේ යමෙකුගේ දක්ෂතා හා කළ හැකි දේ ගැන පූර්ණ අවබෝධයක් ලබා ගැනීම හා ඒවා උපරිමයෙන් භාවිතා කිරීමයි.

ස්වාත්ම ඵලසාධනය යනු අප කවුරුත් ජීවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කාරණයකි. මුදල් ඉපැයීමෙන්, ගෙවල් හැදීමෙන්, දරුවන් තැනීමෙන් පමණක් ස්වාත්ම ඵලසාධනය ඇති කර ගත නො හැකි ය. ස්වාත්ම ඵලසාධනය ඇති කර ගත නො හැකි වූ කල ඇති වන්නේ අතෘප්තියකි. මෙය ලංකාවේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවකි. පිරිමින්ට තරම්වත් ස්වාත්ම ඵලසාධනය සඳහා අවස්ථා ගැහැණුන්ට නො ලැබේ. පවුල හා විශේෂයෙන් ම දරුවන් සම්බන්ධ වගකීම් එයට එක් ප්‍රධාන හේතුවකි. බොහෝ දෙනෙක් තමන්ට අහිමි වූ දේ කුමක් ද යන්න පවා තේරුම් ගැනීමට අසමත් වේ.

මගේ නැන්දම්මාට ස්වාත්ම ඵලසාධනය පිළිබඳ තම ගැටලුව හඳුනා ගන්නට නො හැකිව අතෘප්තිමත් මහළු වියක් ගත කිරීමට සිදු වුණත්, ඇය ඇරියස් නැතුව ජීවත් වන්නට තරම් ප්‍රබල චරිතයක් වූවා ය. සංදර්ශනාත්මක ලෙස ආගම් ඇදහීමක් නො කළ ඇය දිනපතා මල් පහන් පුදා පෞද්ගලිකව බුදු දහම අනුව ජීවත් වූවා ය. අනුන්ට ඉරිසියා, ක්‍රෝධ නො කළා ය. ධනයට, බලයට, දේපලවලට, රන් රිදීවලට ආශා නො කළා ය. අස්ථි දුර්වල වීම නිසා වරක් ඇගේ කොන්ද බිඳිණි. මගේ බිරිය ඇතුළු ඇගේ දරුවෝ වැර වෑයමින් ඇය සුවපත් කර ගත් හ. එහෙත්, නැවත වරක් ඇද වැටී අස්ථි ආබාධයකට ලක් වූ ඇයට යළි සුවපත් වීමේ දිරිය නො තිබිණි. මිය යන්නට සති ගණනාවක පෙර සිට ම ඇය ජීවිතය අත්හැර සිටියා ය. මියැදෙන්නට තරම් රෝගාබාධයක් නො තිබුණු ඇය සොයා ක්ෂණයකින් මරණය පැමිණියේ ය.

ඇගේ කතාව මා මෙහි සටහන් කරන්නේ ස්වාත්ම ඵලසාධනය ගැන සිතන්නට යමක් ඇය අප හමුවේ ඉතිරි කර ගිය නිසා ය. ඔබේ දක්ෂතාවන් හඳුනා ගන්නටත්, ඒවායෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමටත් ඔබ උත්සාහ කරනවා ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.