2017-09-14

අලින් මරනවා ද? මිනිසුන් මරනවා ද? ගහණයන් පාලනය කරනවා ද?

පින්නවල අලි අනාථාගාරය අසලදී දුටු දසුනක් 
ස්වාධීන රූපවාහිනියේ 'කවුද ඇත්ත කියන්නෙ?' වැඩසටහනේදි නයනක රන්වැල්ල ඉදිරිපත් කළ අදහස් ඉතා වැදගත්. (වැඩසටහන මෙතනින් නැරඹිය හැකියි.) ඒ තුළ සතුන් පිළිබඳ දැනුම සම්භාරයක් අඩංගු වුණා. ඒ බොහොමයක් කරුණුවලට විරුද්ධ වෙන්නට හේතුවක් මධ්‍යස්ථ මතධාරියෙකුට නැහැ. හේතුව, සොබාදහමේ තුලනය, ගහකොළ, සතා සීපාවාට සහ පරිසරයට ආදරය කිරීම වැනි දේ ඉතා හොඳ ආකල්ප.

ඒ වුණාට පරිසරවාදීන්ගේ මූලික ගැටලුවත් නයනක රන්වැල්ල මෙම සාකච්ඡාවේදී පෙන්නුවා. ඒ තමයි පරිසරය සම්බන්ධයෙන් අනම්‍ය වීම හා මිනිසා පරිසරයේ ම කොටසක් ලෙස නො තැකීම.

මිනිසා කියන්නෙත් සතෙක්. මේ සතා වෙනත් සතුන්ගෙන් වෙනස් වන්නේ ඔහුගේ අති විශිෂ්ට බුද්ධිය නිසා. ඔහු කොතරම් බුද්ධිමත් සතෙකු ද යත්, මිනිසා දන්නවා තමන් මිහිපිට බිහි වී තිබෙන්නේ පරිණාමීය කාලයන් අනුව දිගු කාලීන පැවැත්මකට නො වන බව. එහෙම බැලුවා ම තමන් නියත වශයෙන් ම විනාශ වීමට නියමිත බව දැනගෙන මිහි පිට ජීවත් වන එකම සත්වයාත් මිනිසා ම තමයි. කැරපොත්තාට, ඉබ්බාට, කිඹුලාට පසුව පරිණාමය වූ මේ අපූරු සතා ඒ සතුන්ට පෙර වඳ වී යාමත් සිදු විය හැකියි.

විනාශ වීමට පෙර මිනිසා සමස්ත පෘථිවියත්, අවට ග්‍රහ ලෝක කීපයකුත් වෙනස් කරනවා. මේ වෙනස ඇතුළේ ඔහු සත්ව ලෝකයේ පූර්ණ ආධිපත්‍යය තහවුරු කර ගන්නා බව නියතයි. ඔහු සොබාදහමට පරාජය වුවත්, මදුරුවාටවත් නැවත වටයකින් පරාජය වෙයි කියා සිතන්නට අමාරුයි. හෝමෝ සේපියන් සේපියන් මානවයාට කිසිදාක වෙනත් සතුන් අභියෝගයක් වී නැහැ, මදුරුවා හා ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් තරම්. අලින් වැනි පරිණාමයේ ඉදිරියෙන් සිටින සතුන්ට නම් මිනිසාට අභියෝග කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. ඔවුන්ට මිනිස් රැකවරණය නැතුව පැවැත්මක් නැහැ. මේක තමයි සොබා දහම හා මිනිසාගේ මැදිහත්වීම පිළිබඳ ඇත්ත.

අප ලංකාව උදාහරණයකට ගත්තොත්, ලංකාවේ මුල්ම විධිමත් ජන සංගණනය කර තිබෙන්නේ හර්කියුලිස්‌ ජෝර්ජ් රොබට්‌ ආණ්‌ඩුකාරයාගේ කාලයේ 1871දීයි. ඒ වන විට ලංකාවේ ජනගහනය ලක්ෂ 24යි. ඒ කාලය වන විට ලංකාවේ මුළු භූමියෙන් 50%කට වඩා වනාන්තර. එහි ජීවත් වූ අලින් සංඛ්‍යාව 15,000ක් විතර යයි අනුමාන කෙරෙනවා. ඇත්තෙන් ම කියනවා නම්, වතු වගාව කළ ඉංග්‍රීසි වැවිලිකරුවන් විශාල අලි සංහාරයකුත් කළා. 

වසර 2011දී, එස්.එම්. චන්ද්‍රසේන වනජීවී ඇමති කාලයේදී පරිසරවාදීන්ගේ විරෝධය මැද අලි සංගණනයක් කළා. එහි ගණන් ගැනීම අනුව ලංකාවේ වන අලි 5800කට වැඩි ගණනක් ජීවත් වුණා. 

අවුරුදු 140කට පසුව 2011 වන විට ලංකාවේ ජනගනය මිලියන 20.4ක් ඒ කියන්නේ 1871 වන විට සිටි ජනගහණය මෙන් නවගුණයක් විතර දැන් ලංකාවේ ජීවත් වෙනවා. වසර 2040 විතර වන විට ලංකාව උපරිම ජනගහනයට ළඟා වේවි. එය මිලියන 22 සිට 25 අතර ගණනක් විය හැකියි.

ලංකාවේ දැනට ජීවත් වන ජනගහණයෙන් ලක්ෂ 40ක් පමණ දැනටත් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මන්දපෝෂණයට මූලික ම හේතුව, දුප්පත්කම විතරක් නෙමෙයි. නූගත්කමත් එයට බලපානවා. ලක්ෂ 40ක් පමණ ජනයා දිගු කාලීනව බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගනිමිනුත් ඉන්නවා. ප්‍රශ්න ගොඩයි.

මේ ප්‍රශ්න මැදට තමයි තවත් ලක්ෂ 50ක ජනගහනයක් අලුතෙන් එකතු වීමේ ඉඩක් තියෙන්නේ. එතකොට ඔවුන් පදිංචි වන්නේ කොහේ ද? ඔවුන්ට අවශ්‍ය ආහාර වගා කරන්නේ කොහේ ද? ඔවුන්ට අවශ්‍ය රැකියා නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත පිහිටුවන්නේ කොහේ ද? මේ මිනිසුන්ට අවශ්‍ය බලශක්තිය නිපදවන්නේ කොහොම ද?

රටකට සංවර්ධනය අවශ්‍ය වන්නේ එහෙමයි. සංවර්ධනයත් එක්ක වනාන්තර විනාශ වෙනවා. ගම් පුළුල් වෙනවා. යුද්ධය අවසන් වීමෙන් පසුව පදවිය ජනපදයේ සිට වන්නි වනාන්තරය හරහා වවුනියාව දක්වා ම අලුතෙන් ගම් බිහි වුණා. පාරවල් හැදුණා. යුද්ධය කාලේ අලින්ගෙන් පදවි ජනපදයට කරදර තිබුණෙ නැහැ. දැන් වන අලි පදවි ජනපදයට කඩා වදින නිසා ගොවිතැනක් බතක් කර ගැනීම දුෂ්කර වෙලා. කන්න හතරක් ම නියඟය නිසා පාළු වී ගිය නිසා තමයි ඒ පැත්තෙන් ලොකු අලි මිනිස් ගැටුමක් වාර්තා නොවන්නේ. මේ බව අපට කිව්වෙ ඒ පැත්තෙ ගුරුවරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන සුදත් ගුණරත්න මිතුරායි.

අපට සංවර්ධනය එපා ද? සංවර්ධනයත් එක්ක වනසතුන්ට භූමිය අහිමි වී යාම අප කළමනාකරණය කර ගන්නෙ කොහොම ද? නාලක ගුණවර්ධන කියන්නා සේ අපට සෑම මීමින්නා ගැන ම අධි සංවේදී විය හැකි ද?

නයනක රන්වැල්ල වැනි පරිසරවාදීන්ගේ තර්කවල ගැටලුව තමයි, වන සතුන් ගැන අධි සංවේදීභාවයක් ඇති කරන්නට උත්සාහ කිරීම. උදාහරණයක් විදියට රිලවුන්, වඳුරන් එක ගෙඩියක් කෑමට ගෙඩි පහක් විනාශ කර දැමීම ගැන ඔහුට තිබෙන තර්කය ගන්න. ඔහු කියන්නේ එය වන වගාව සඳහා අවශ්‍ය දෙයක් බවයි. එය ඇත්ත විය හැකියි. ඒත්, අප ජීවත් වන්නේ මිනිසුන්ටත්, සතුන්ටත් බරපතල විදියට ආහාර හිඟ යුගයක. අනෙක් පැත්තෙන් වනාන්තර වගා කිරීම පවා විද්‍යාත්මකව ඉතා පරිසර හිතවාදී ලෙස කරන්නට මිනිසුන් අද වන විට දන්නවා. ඔහුට අවශ්‍ය නම් එය කළ හැකියි. ඒ වැඩේ වෙනුවෙන් වඳුරන්ට, රිලවුන්ට, දඬුලේනන්ට කුරුම්බැට්ටියේ සිට බෝග විනාශ කිරීමට ඉඩ දෙන්නට බැරි වකවානුවකයි අප ජීවත් වන්නේ.

නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන කියන්නා සේ අප පරිසර අන්තවාදීන් මෙන් ම සංවර්ධන අන්තවාදීන් ද නො විය යුතුයි. සංවර්ධනය වෙනුවෙන් සමස්ත පරිසරය ම බිලි දෙන්නටත් අපට බැහැ. එහෙම කරලා මිනිසාට තම පැවැත්ම තහවුරු කර ගන්නටත් බැහැ. අපට තිබෙන්නේ මැද තැනක් විතරයි. එහිදී මිනිසාට සත්ව ගහණයන් පාලනය කිරීමට සිදු වීම වැළැක්විය නො හැකි ය. වඳ වීමේ තර්ජනයට ලක් වී සිටින කළු වඳුරා වැනි සතුන් සංරක්ෂණය කිරීමට පියවර ගැනීම ද මේ පාලනයේ ම කොටසකි.

අපට අනිවාර්යයෙන් ම ජනගහනය පාලනය කරන්නට ද සිදු වෙනවා. එතනදී නයනක රන්වැල්ලට වෙන නඩුවකුත් තියෙන බව පෙනුණා. බොහෝ අය හිතන්නේ සිංහල, දෙමළ ජනගහනය අතර වර්ධන වේගය අඩු වෙද්දී මුස්ලිම් ජනයා අතර වර්ධන වේගය වැඩි බවයි. මේ පිළිබඳ ඇත්ත තත්වය අපි මීට බොහෝ කලකට පෙර පෙන්වා දුන්නෙමු.

ජන සංගණන අනුව, 1881දී සිංහලයන්ගේ ප්‍රතිශතය 66.91%කි. 2011 සංගණනය වනවිට මෙම ප්‍රතිශතය 74.88%කි.

ශ්‍රී ලාංකික මුස්ලිමුන්ගේ ප්‍රතිශතය 1881දී 6.69%කි. 2011දී 9.23%කි.

1881දී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රතිශතය 24.90%කි. එය 2011 වනවිට 11.21%කි වී තිබේ.

1911 සංඛ්‍යාලේඛන අනුව ඉන්දියානු දෙමළ ජනගහණය 12.93%ක්ද, ලාංකීය දෙමළ ජනගහණය 12.86%ක්ද විය. 2011 වන විට ඉන්දියානු දෙමළ ජනගහණය 4.16%කි.

ඉහත සංඛ්‍යාලේඛන අනුව බලන කල ඉතා පැහැදිලිවම සිංහල ජනගහණයේ ප්‍රතිශතය වැඩි වී තිබේ. වෙනත් ජාතීන් සිංහල ලෙස ස්වීකරණය වීමට වැඩි නිදහසක් ලැබේනම් තත්වය තවත් වෙනස්වන්නට පුළුවන.

ආගම් අනුව ගත්තත් 1881දී 61.53%ක් වූ බෞද්ධ ප්‍රතිශතය 2012 වනවිට 70.19%ක් දක්වා වැඩිවී තිබේ.

මුස්ලිම් ජනගහණයේ සාපේක්ෂව වේගවත් වැඩිවීමක් 1981 - 2012 කාල පරිච්ඡේදය තුළ දකින්නට ලැබෙන බව සත්‍යයකි. ප්‍රතිශතය වැඩිවීම 2%කට මඳක් වැඩිය. මෙම වකවානුව තුළ සිංහල ජනගහණයේ ප්‍රතිශත වර්ධනය 1%ට අඩුය.

සිංහලයන් අතර සිය ජාතිය සම්බන්ධයෙන් භීතියක් ඇතිකරන්නට උපයෝගී කරගන්නේ මේ සංඛ්‍යාලේඛනයි. එහෙත්, ‍අප සිතන පරිදිනම් යම් ජාතියක් වඩා දියුණු තත්වයට පත්වනවිට ඉබේම ජනගහණ පාලනයක් ඇති වේ. අධික ජනගහණයක් ඇති සමාජ කණ්ඩායම් අතර දිළිඳුකමද අධිකය.

ලංකාවේ ජාතීන් අතර ඇති මෙවැනි ප්‍රශ්න ෆෙඩරල් දීමෙන් විසඳන්නට බැරි ය. මාක්ස්වාදී ආණ්ඩුවක් පිහිටෙව්වා ය කියා මේවා කිසි සේත් ම විසඳෙන්නේ නැත. හේතුව ප්‍රශ්නය ගැන අවබෝධයක් ඔවුන්ට නැතිකමයි. ජාතීන් අතර ප්‍රශ්නයට විසඳුම අන් කිසිවක් නොව, ජාතීන් ඉක්මවා ගිය පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීම බව අපි කලක සිට කියන්නෙමු. අප වැඩ කරන්නේ ඒ වෙනුවෙනි. ලංකාවේ සංවර්ධනය ද එහිදී ඉතා වැදගත් ය. පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගිය හැක්කේ සංවර්ධනයත් සමගයි.

අප එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් වී සිටින ආණ්ඩුවකට උපකාර කරන්නේ ඇයි ද යන්න තේරුම් ගැනීමට බැරුව අඤ්ඤකොරොස් වී සිටින අයට රජයේ 'V2025 පොහොසත් රටක්' සංවර්ධන සැලැස්ම කියවන ලෙස අපි යෝජනා කරමු. එයට විකල්ප ඉදිරිපත් කිරීමට ඕනෑම දේශපාලන පක්ෂයකට පුළුවන. දැනට කිසිවෙක් එවැනි විකල්පයක් ඉදිරිපත් කර නැත.

අනෙක් කාරණය තමයි, පාරිභෝජනය පාලනය කිරීම. ඒ ගැන වැඩිදුරටත් පසුවට.

කවුද ඇත්ත කියන්නෙ බලන්නට පුළුවන් මෙතනින් >>

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.