අයවැය හා ප්‍රතිගාමිත්වයේ ඒකාබද්ධ සටන

පසුගිය ජනවාරි 08දා අපි විප්ලවයක් කළෙමු. එහෙත්, එය සමාජවාදී විප්ලවයක් නො වේ. එය වනාහි නැගී ආ ෆැසිස්ට් ඒකාධිපතිත්වයක් පැරදවූ ප්‍රජාතාන්ත්‍රික විප්ලවයකි.

අප තවමත් සිටින්නේ ධනවාදය තුළ ම ය. සමාජවාදය මනෝමූලික වශයෙන් මුළුමනින් ම වාගේ පරාජිත ය. වාමාංශිකයන් අණු, පරමාණු දක්වා බිඳී, විසිරී සිටීම වෙන ම කාරණයකි. ගතානුගතික මාක්ස්වාදීන් මේ වන විට සිටින ස්ථාවරයන් නිරීක්ෂණය කළ යුතු ය. ඔවුන් එක්ව සිටින්නේ සමාජයේ ප්‍රතිගාමී ම පංති හා ස්ථර සමගයි.

ඔවුහු අනියමින් මෙන් ම නියමින් ද ෆැසිස්ට් ප්‍රතිගාමිත්වයට සේවය කරති. පැරණි වාමාංශික පක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන වාසුදේව නානායක්කාර කුණුහරුප දොඩවන විහිළුකාරයකු වී සිටියි. ජනතා විමුක්ති පෙරමුණට හා එහි නායකයාට දේශපාලන හා ව්‍යාපාරික ඩීල් ගැන චෝදනා එල්ල කරන්නේ පක්ෂයෙන් කැඩී ගිය පිරිස් ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කිසිදු තේරීමකින් තොරව සියලු ප්‍රතිගාමිත්වයන් සමග සන්ධානගත වන අයුරු දක්නට ලැබේ.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිපයේ කොටසක් එක්ව පිහිටුවාගෙන තිබෙන ජාතික ආණ්ඩුවක් ලෙස හඳුන්වනු ලබන හවුල් ආණ්ඩුවේ 2016 අයවැය යෝජනා සාපේක්ෂ වශයෙන් ගත් කල අවස්ථානුකූල ය. ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ගැටලු සමුදායකට එමගින් ආමන්ත්‍රණය කර තිබේ. ඒ අතරවාරයේ ආර්ථික, දේශපාලනික හා සමාජමය වශයෙන් වැදගත් ප්‍රතිසංස්කරණ මාලාවකට ද අයවැය විසින් මුල පුරා තිබේ. ඒ සියල්ල කරන්නේ පීඩිත සමාජ කොටස් අතර ජනප්‍රියත්වය රැක ගන්නට ද දුෂ්කර උත්සාහයක් දරමිනි.

ශ්‍රී ලංකා රජය මේ මොහොතේ දරුණු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව ඇත්තකි. එයට ප්‍රධාන හේතුව අන් කිසිවක් නොව පසුගිය කාලයක් මුළුල්ලේ ගොඩගැසුණු විදේශ ණය කන්දරාවයි.ශ්‍රී ලංකා රජය මේ වන විට විදේශවලට පමණක් ඩොලර් බිලියන 50කට වඩා ණය ය. ණය පොළී හා වාරික ගෙවීමට රජයේ සමස්ත වියදමෙන් 40%ක් පමණ වෙන් කෙරේ.ලංකාව මුල් කාලයේදී විදේශ ණය ලබා ගත්තේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය වැනි නිශ්චිත ඉලක්කගත සංවර්ධන ව්‍යාපෘති සඳහා ය. ණයත්, නාස්තිය හා දූෂණයත් අතර සම්බන්ධය මහින්දගේ කාලයේදී උපරිමයට ළඟා විය. දැන් ණය ගැනීම වැඩි වශයෙන් සිදු වන්නේ සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා ගත් ණය ආපසු ගෙවීමට හා එදිනෙදා වියදම් පියවා ගැනීමටයි. මේ ආණ්ඩුව ද ණය ගැනීම අඩු කර නැති බව කිව යුතු ය.

මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ මනා රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම, ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගනිමින් නිෂ්පාදන හා සේවා අංශ සංවර්ධනය කිරීම හා ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමයි. මාක්ස්වාදී මූලධර්ම මත පිහිටි ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණියත් මේ මොහොතේ කළ හැකි දෙය වන්නේ එයයි. වෙනත් දෙයක් තිබේ නම් මාක්ස්වාදීන් ඒ කුමක් ද යන්න විවෘතව කිව යුතු ය.

ප්‍රතිගාමී මහින්ද රාජපක්ෂ බලවේගයට පහසුකම් සපයමින් සිටින මාක්ස්වාදීන් ඇත්තෙන් ම කරන්නේ කුමක් ද? ඔවුන් මේ මොහොතේ පෙනී සිටින්නේ ධනේශ්වර රාජ්‍යය දැනටත් වඩා ශක්තිමත් කිරීම සඳහා ය. රජය පාසල් දරුවන්ගේ නිල ඇඳුම පාසල්වලට ගෙනැවිත් දෙන තරමට සමාජ ජීවිතයට මැදිහත් වෙමින් පුළුල් විය යුතු බව ඔවුහු අවධාරණය කරති. ඒ වෙනුවෙන් අතිශය දැවැන්ත රාජ්‍ය සේවයක් ගොඩනැගීම වෙනුවෙන් ඔවුහු පෙනී සිටිති. එසේ ම ඔවුන් පදනම් වන්නේ ද මූලික වශයෙන් ම රාජ්‍ය සේවයේ යෙදී සිටින මධ්‍යම පංතිය මත ය. මිලියන 20ක් පමණ වන ලාංකීය ජනගහණය වෙනුවෙන් රජයේ සේවකයෝ මිලියන 1.5ක් පමණ සිටිති. එහෙත්, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අන්තයට ම පිරිහී තිබේ. රාජ්‍ය සේවයට තව තවත් බඳවා ගැනීම් කරමින් පීඩිත ජනතාව මත බර පටවන එක නතර කළ යුතු ය. කළ යුතුව තිබෙන්නේ රජයේ සේවය තව තවත් පුළුල් කිරීම නොව, එහි කාර්යක්ෂමතාව නැංවීමයි.

මෙම මධ්‍යම පංතිය ගැන විශේෂයෙන් කතා කළ යුතුව තිබේ. ඔවුන් කෙතරම් ප්‍රතිගාමී පංතියක් ද යන්න මේ මොහොතේ ඔප්පු කරමින් සිටිති. මෙම අයවැයෙන් ලංකාවේ දිළිඳු හා කම්කරු ජනයාට සුවිශේෂ සහනයක් ලබා දී නැත. විශේෂයෙන් ම ආර්ථිකයේ ප්‍රධාන කුළුණු වන ගෘහ සේවිකාවන් ප්‍රමුඛ විදේශ ශ්‍රමිකයන්, නිදහස් වෙළඳ කලාප කම්කරුවන්, වතු කම්කරුවන් වැනි අය වෙනුවෙන් විශේෂ යෝජනා නැත. අඩු තරමේ පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම වෙනුවෙන් හෝ කැපී පෙනෙන ආයෝජන නැත.

එහෙත්, මාක්ස්වාදීන් හා රාජපක්ෂවාදීන් මේ මොහොතේ එල්ලී සිටින්නේ කුමන සටන් පාඨවල ද යන්න විමසා බැලිය යුතු ය. ලංකාවේ පීඩිත ජනතාව විධිමත් පොදු ප්‍රවාහන සේවා නොමැතිව දුක් විඳිද්දී ඔවුන් පෙනී සිටින්නේ දේශපාලකයන් හා ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන්ට වසර පහකට වරක් මහජන මුදලින් රුපියල් මිලියනයකට වැඩි මුදලක් කොල්ල කා ගත හැකි තීරු බදු රහිත වාහන බලපත්‍රය වෙනුවෙනි. වෛද්‍යවරුන් මේ වන විටත් වර්ජනය කරන බවට තර්ජනය කරමින් සිටිති. ඔවුන්ට වාහන ගැනීමට මහජන මුදලින් රු. මිලියනයක් දෙන බව මුදල් ඇමතිවරයා පැවසී ය. දේශපාලකයන්ට හා සෙසු ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට ද දැන් එවැනි අපූරු සහන අවශ්‍ය වී තිබේ. බලපත්‍රය හොර පාරේ විකුණමින් කරන මේ මංකොල්ලයට වඩා රුපියල් මිලියනයක වරදානයක් කෙළින් ම පිරිනැමීම ගිනුම්ගත ය;

රජය බ්ලැක්මේල් කිරීමට සැරසෙන මෙම ප්‍රතිගාමී නිලධාරි පැළැන්තිය සමග ඉදිරි කාලයේදී එක පෙළට සිට ගන්නේ කවුරු ද යන්න බලා ගත හැකි වනු ඇත.

රජයේ අයවැය යෝජනා අතර කැපී පෙනෙන ලක්ෂණ කීපයක් තිබේ. ඒවා මෙසේ ය:

අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය
සහනාධාර ක්‍රම අධෛර්ය කිරීම
වාහන භාවිතය අධෛර්ය කිරීම
ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීම
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිමත් කිරීම

එහෙත් රාජ්‍ය මුල්‍ය විනය පවත්වාගෙන යාමේ දැවැන්ත අභියෝගය හමුවේ තවමත් ආණ්ඩුව අසාර්ථක ය. 

ප්‍රතිගාමිත්වයේ බහු පෙරමුණු ඒකාබද්ධ සටන හමුවේ අයවැයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දය ලැබීම කැපී පෙනෙන ජයග්‍රහණයකි. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. පැරා,

    //රජයේ අයවැය යෝජනා අතර කැපී පෙනෙන ලක්ෂණ කීපයක් තිබේ. ඒවා මෙසේ ය:
    අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය
    ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීම
    සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිමත් කිරීම//

    පැරා සෑම පුද්ගලික සමාගමකින්ම වාර්ෂිකව රුපියල් 60000 රුජු බද්දක් ගැනීමෙන් ඉහත කාරනා 3 ඉටුවන්නේ කොහොමද කියල විස්තරකරනවද ? ස්තුති !!

    ReplyDelete
    Replies
    1. සුළු ව්‍යාපාර සඳහා බැංකු ගිනුම් ආදිය විවෘත කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යාපාර නාම ලියපදිංචි කර ගැනීමට මෙය බාධාවක් නෙමෙයි. සමාගම් පිහිටුවන්නේ ලාභ ලබන්නයි. සමාගම් ක්‍රියාත්මක වන්නේ රටේ යටිතල පහසුකම් මතයි. ඒ වෙනුවෙන් ගෙවන්නට සිදු වීම පිළිගන්නට සිදු වෙනවා. නිකම් සෙල්ලමට වගේ සමාගම් පිහිටුවන එක වෙනුවට කැප වී ව්‍යාපාර කරන්න සමාගම් පිහිටුවීමයි කළ යුතුව තිබෙන්නේ.

      Delete
    2. පැරා,

      විහිලු කරන්න එපා. මෙය ගෙවියයුත්තේ වාර්ශිකවයි. හිතන්න සුළු පරිමාණයෙන් කොසු ඉදල් හදනවා කියල ඔබ කියන්න වසරකට සේවකයන්ට පඩි ගෙවා ලබන සුළු මුදලින් රුපියල් 60000 ගෙව්වම මොකද වෙන්නේ. ඊට අමතරව බංකොලොත් ආයතනයක් වසා දැමීමට රුපියල් 250000 අයකරනවා මොනවද මේ විහිලු?

      ඔබ සමහර විට දන්නේ නැතුව ඇති සම්පත් බැංකුව ලබාදෙන Sampath Bank Payment Gateway සදහා රුපියල් 60000 වාර්ෂිකව අයකරනවා අපේ රටේ සිටින සුළු පරිමාණ හෝටල් පවත්වාගෙන යන අය මෙය බාවිතා නොකරන්නේ ඔවුන්ට මෙය දරාගන්න බැරි නිසා. මෙය බාවිතා කිරීමට හැකිනම් විදේශිකයන්ට කෙලින්ම අන්තර්ජාලය තුලින් අදාළ හෝටලය මුදල් ගෙවා වෙන්කල හැකියි

      රජය පවත්වාගැනීමට මුදල් උවමනා කරනවා එගැන කිසිම තර්කරක් නෑ මේ සදහා කලයුත්තේ PayPal මගින් ලංකාවේ වාණිජ බැංකු වලට මුදල් http://lankasithuwili.blogspot.com/2015/09/paypal.html යැවීමේ පහසුව ඇති කිරීමයි.

      මෙය අදාළ එක අංශයකට පමණක් නෙමෙයි හිතන්න ඔබ පොතක් අලවි කරනවා PayPal මගින් ලංකාවේ වාණිජ බැංකු වලට මුදල් ඉතාම පහසුවෙන් ලබාගැනීමේ පහසුව තිබුනානම් ඔබට ඔබේ පොත අන්තර්ජාතිකව විකිණිය හැකියි.

      මෙහි ඇති ලොකුම විහිලුව PayPal මගින් ලංකාවේ විදේශ මුදල් පිටකළ හැකි උනත් ලබාගත නොහැකියි.
      මේවාගේ ආර්ථික දියුණු කළහැකි වැඩ නොකර ඔය මරිමෝඩ වැඩ දැන්වත් නැවැත්විය යුතුයි.

      Delete
    3. පේපැල් සම්බන්ධ ප්‍රශ්නය අවුල් කළේ මහින්දගේ ආණ්ඩුවයි. දැන් පේපැල් ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ තීරණය කල් දමන්නේ පේපැල් සමාගමයි. ආණ්ඩුව පැත්තෙනුත් ඒ සම්බන්ධයෙන් වැඩ කළ යුතුයි.

      සුළු පරිමාණයෙන් කොහු ඉදල් හදන කවුරුවත් සමාගම් ලියාපදිංචි කරන්නේ නැහැ. වැඩිම වුණොත් කරන්නේ ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කරන එකයි.

      සමහරු නිකම් විහිළුවට වගේ සමාගම් ලියාපදිංචි කරනවා. තවත් සමහරු ඒවා කරන්නේ හොරකම් වංචා කරන්න. රට යන්න වීසා ගන්නත් ඒවා පාවිච්චි කරනවා. සමාගම් ලියාපදිංචි කිරීම කරන්නේ සමාගම් ලියාපදිංචි කාර්යාලයේ. එහෙත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කරන්න පුළුවන්.

      මේවා ගැන සොයා බලා දැනගෙන කරුණු ඉදිරිපත් කරන්න.

      Delete
    4. පැරා,

      ස්තුති,

      //ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කරන්න පුළුවන්.//
      මෙහිදී අපි පොඩ්ඩක් ප්‍රයෝගික තත්වය ගැන සැලකීමේදී නියෝජිතයන් පත්කිරීමට බෑ නේද ? (ඇත්තටම මේගැන නොදන්නා නිසයි අසන්නේ )
      මා දන්නා තරමින් පුද්ගලික සමාගමක නියෝජිතයන් පත්කළ හැකියි. අර මම පෙන්වා දුන්න කොසු ඉදල් වියාපරයේත් කිසියම් ප්‍රමිතියකින්
      නිපදවනවානම් ඔවුන්ට තම භාණ්ඩ ඈත ප්‍රදේශයක අලවි කරනවානම් නියෝජිතයන් උවමනා කරනවා.

      {The Daily FT interviewed Suresh R.I. Perera, a tax consultant, on his perspective on certain significant Budget proposals presented in Budget 2016

      You referred to a fee which companies must pay on annual basis. Your observations on this fee?

      Yes, it is proposed that private companies will be charged an annual fee of Rs. 60,000 and quoted companies Rs. 500,000 while other companies would have to pay Rs. 100,000. For a small private company the annual fee of Rs. 60,000 may be significant. This proposal should be revisited at least only in relation to small private companies. This fee may be a disincentive for a small businessman to incorporate the business. A company once incorporated must also incur an annual fee for auditors and this would be an additional fee on top of that.
      In relation to this proposal one must appreciate at present tax incentives are being offered to small companies to be listed for the purpose of development of capital market. But moment the company is listed it’s being subjected to a Rs. 500,000 fee payable as annual fee to the registrar of companies. Therefore these two measures are at cross purposes. The solution probably would be to provide a grace period of three years from the date of listing for the application of this annual fee.}

      මිට අනුව අවමය වූ රුපියල් 60000 අයකරන්නේ පුද්ගලික සමාගම්වල, පොදු සමාගම් නම් එය Rs. 100,000 ලැයිස්තු ගත සමාගම් නම් Rs. 500,000
      කියල නේද කියන්නේ.

      මොහුත් පිලිගන්නවා සුළු පුද්ගලික සමාගම්වලට මෙය දරාගත නොහැකි බව.

      දැන් Pay Pal ගැන ගත්තොත් මා හිතන්නේ මෙතන ඇත්තේ දෙසපල්න්යන් ගේ වරදකට වඩා නිලදාරීන් ගේ අකාර්යක්ෂම භාවය.
      ආණ්ඩුව Pay Pal සමාගම ඉල්ලන ආරක්ෂණ භාවය පිළිබද නිසි වැඩ පිළිවලක් සපයා දිය යුතුයි.

      උදාහරණ :- කිසියම් විදේශ ගනුදෙනු කරුවකු ශ්‍රී ලාංකිකයකු විසින් රවටා මුදල් ගත්තොත් අදාළ පුද්ගලයාව නිතිය ඉදිරියට ගෙන විදේශිකයාට සාදාරනය ඉටුවිය යුතුයි.

      Delete
    5. http://www.ft.lk/article/501075/A-tax-expert-s-take-on-Budget-2016

      Delete
  3. පැරා, කලිසම නැතුව රනිල්ට කඩේ යන අතර පහත ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙනවද ?
    1) රටේ ණය අර්බුදය, ගෙවුම් ශේෂ ප්‍රශ්නෙ, මේ සියල්ල බලය ලැබුණු පසුද තේරුම් ගත්තෙ ?
    2) බලය ගන්න ඉස්සෙල්ල මහ බැංකුවෙ වාර්තා බැලුවෙ නැද්ද ? දැන් හීනෙන් නැගිටලා වගේ දොඩවන්නෙ ඇයි ?
    3) බලයට එනකොට කියපු පඩි වැඩිවීම් දෙනකොට, බඩු මිල අඩු කරනකොට , රජයට අහිමිවන ආදායම ගේන්නෙ කොහෙන්ද කියලා හොයල බැලුවෙ නැද්ද ? බටහිර රටවල් පිනට දෙයි කියලද හිතන් හිටියෙ ?
    4) යූඇම්පියෙ පච විධ (පංච විධ ) ප්‍රතිපත්තියෙන් මෝටර් සයිකලේ යන මිනිස්සුන්ට කාර් ගන්න හැකියාව හදනකොට, කාර් නිකන් පාන් බානවා වගේ ලංකාවෙම හදනවා කියලද හිතුවෙ ? මිනිස්සු කාර් ගේනකොට විදේශ විනිමය අර්බුධයක් එක්ක ගෙවුම් ශේෂ ප්‍රශ්න එන බව අර්‍රථික විජ්ජා ඔස්තාර් රවි කොල්ලා දැනගෙන හිටියෙ නැද්ද ?

    මේ විධියට සුරන්ගනා කතා කියලා බලය අරන්, වරප්‍රසාද කප්පාදු කරලා, බදු වැඩි කරන්න, ඉංග්‍රීසි උගන්න පැරාටත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. 1) නැත. මහින්දගේ ආණ්ඩුව කාලේ අප ලියූ ලිපි සොයා බලන්න. අප හැමදාමත් ලියා තිබෙන්නේ මේ ප්‍රතිපත්ති මත සිටිමින් ම ය. උදාහරණයක් ලෙස රජයේ සේවකයන් අඩංගු මධ්‍යම පංතිය සූරා කන්නන් පිරිසක් ය කියා අපි කියන්නේ බොහෝ කලක සිටයි.
      2) මෙය ප්‍රශ්නයක් නොවේ. ඔබේ අදහසකි.
      3) මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට අපි වැඩි කළේ පඩි වැඩි කර ගන්නට ම නොව, රටේ ආර්ථික, සමාජ, දේශපාලනික ප්‍රගතියක් අපේක්ෂාවෙනි. වත්මන් ආණ්ඩුවේ සිටින අය ද එදා එවැනි පොරොන්දු දෙන්නට ඇත්තේ බුද්ධියෙන් අඩු ජනතාව රවටා ඡන්දය ලබා ගැනීමටයි. ඡන්ද කෙරුවාව එවැනි ක්‍රීඩාවකි. ලංකාවේ බහුතරයක් ජනතාව දැන් ඒවාට රැවටෙන්නේ නැත. ඔබ රැවටුණේ ඇයි?
      4) මේ ප්‍රශ්නයට ද අදාළ වන්නේ ඉහත 3,4 පිළිතුරු ම ය.

      අන්තිමට කියන දෙයට කිව යුතුව තිබෙන්නේ මේ වෙලාවේ මොන සමාජවාදී ආණ්ඩුව පිහිටෙව්වත් ඔයිට වඩා ලැබෙනවා නම් ලැබෙන්නේ මර්දනය පමණක් බවයි.

      Delete
    2. //රජයේ සේවකයන් අඩංගු මධ්‍යම පංතිය සූරා කන්නන් පිරිසක් ය කියා අපි කියන්නේ බොහෝ කලක සිටයි. //

      සූරා කන්නේ නියපොතු වලින්ද?

      Delete
    3. //3) බලයට එනකොට කියපු පඩි වැඩිවීම් දෙනකොට, බඩු මිල අඩු කරනකොට , රජයට අහිමිවන ආදායම ගේන්නෙ කොහෙන්ද කියලා හොයල බැලුවෙ නැද්ද ? බටහිර රටවල් පිනට දෙයි කියලද හිතන් හිටියෙ ?//

      ගොන්බිජ්ජො, මරාව එලෙව්වෙ කාර් ගන්න වත් ලාබෙට හාල් ගන්න වත් උබල වගේ ගොන් වම්මුන්ගෙ සිහින සමාජවාදී රාජ්ජ හදන්න වත් බලාගෙන නෙමේ... රට යටත් කරගෙන, රටේ සම්පත් පව්ලකට බෙදාගෙන, ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දාල, මිනී මරමර කරපු විගඩම නවත්වන්න...

      Delete
    4. රජයේ සේවකයන් කියන්න පහමහජනතාව සූරා කන රජය නම් දැවැන්ත සමාගමේ නිලධරයේ පහළ ම ස්ථරය. ඔවුන් මහජන මුදල් සූරාකන්නේ වැඩ නො කර පඩි හා වෙනත් වරප්‍රසාද ලබා ගැනීමෙන්. මං කියන දේ බොරු නම්, රජයේ කාර්යාලයකට, රෝහලකට, පාසලකට ගිහින් නිල විධියට වැඩක් කරගන්න උත්සාහ කර බලන්න. එතකොට තේරෙයි.

      Delete
  4. වෙනදා කලේ පාසැල් මිල ඇඳුම් ටෙන්ඩරය දීමේ සිට බෙදීම දක්වා වූ සාක්කු පිරවීමකි. එයට විරුද්ධ වූවෝ අල්පය. නිල ඇඳුම් ගත්ත නැතත් එම මුදල් මව් පියන්ට ලබා දීමේදී ලොකු සාක්කු පිරවීමට ඉඩ අඩුය. එයට විරුද්ධ වීමට ඉදිරිය එන පිරිස් දුටු විට ලැජ්ජා සිතෙයි.

    වෙනදා කලේ පර්මිට් එක ගෙන එය විකුණා මුදල් ගැනීමය. පන්දන් අල්ලන සිවුරු ධාරීන්ටද පර්මිට් ලැබුණි. පර්මිට් එක ගන්න ව්‍යාපාරිකයා කලේ මැද පරදිග වහලුන් එවන රට සල්ලි වලින් ඩොලර් 25000-50000 ක් රටට අහිමි කොට සැප කාර් ගෙන්වීමය. මෙහෙදී රේගුව, රක්ශණ ආදියෙන් සාක්කු පිරෙන අය බොහෝය. ඒ වෙනුවට රට සල්ලි ඉතුරු කොට කෙලින්ම මිලියනයක්ම අතට දීමට විරුද්ධ වන්නෝ දකින විට ලැජ්ජා සිතේ. වාහන ආනයන කරුවන් හා පර්මිට් ලාභී චීවර දාරීන් පරට නොබැසීම පුදුම සහගතය.

    ReplyDelete
  5. ඇතිවූ වෘත්තීය අරගලය ආණ්ඩුවේ ගැටලු කළමණාකරන නොහැකියාවේ තවත් එක් දිගුවක් ලෙස දකිමි.ආණ්ඩුව වියදම් කළමණාකරනය කරන බව වචනයෙන් පමණක් නොව ක්රිියාවෙන්ද පෙන්නුම් කළ යුතුය. වෙනසක් නොමැතිව නිෂ්ඵල වියදම් සිදු කරමින්ම, ගරු තනතුරක් වන මහජන නියෝජතයින් නඩත්තුව වෙනුවෙන් අතිවිශාල වියදමක් දරමින්ම සෙසු ස්ථරයන් වෙත පටි තද කරගනිල්ලා යනුවෙන් පැවසීම ප්රාවයෝගික නොවේ. මෙම දිනවලම අයවැයට පක්ෂ වන පාර්ලිමෙන්තු මන්ත්රීවවරුන් වෙනුවෙන් වාහන,රියදුරන් සහ ඉන්ධන ලබාදීමට නියමිත බවද පුවත් පත් වාර්තා පලවිය. එසේම පරාජිත මහජන නියෝජිතයන් නැවත ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුව තුලට ගෙන ඒම, අසීමිතව කරන ලද කැබිනට් අමාත්යජ පත්කිරීම් ආණ්ඩුව රාජ්යත වියදම් කළමණාකරනයේදී සාධාරණ බවක් නොපෙන්වන කරුණු වේ. මෙම සිදුවීම් දේශපාලන ස්ථාවරය උදෙසා වන පියවරයන් ලෙස කරුණු ඉදිරිපත් විය හැකි වුවද ඒ පිලිබද පුලුල් සංවාදයක් ඇති නොවිණි. එසේම ආණ්ඩුවේ සාමාජිකයන් වියදම් කළමණාකරනයේදී දක්වන සුජාත භාවය බොහෝ දීප ව්යාණප්ත සේවා නිලධාරින් අත්දැකීමෙන්ම දනී. මෙම තත්වය තුල උන්ට හොදනම් අපට හොද නැත්තේ ඇයි යන සිතුවිල්ලක් ඇතිවීම වැලැක්විය නොහැකිය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා