2014-04-09

වස විස නැති ගොවිතැන ඇත්තෙන් ම කළ හැකි ද?

කෘත්‍රිම පොහොර හා කෘෂි රසායනික නොමැතිව ගොවිතැන් කළ හැකි බව හා එයින් ලොකු අස්වැන්නක් ලැබිය හැකි බව පසුගිය දිනෙක අතුරලියේ රතන හිමි රූපවාහිනියෙන් කියනු අසන්නට ලැබිණි.

වස විස නැති ගොවිතැන ඇත්තෙන් ම ඉතා වැදගත් හා අත්‍යවශ්‍ය දෙයකි. වස විස නැති ගොවිතැන පමණක් නොව, වස විස නො යොදන ලද ආහාර වෙළඳපොළෙන් මිළ දී ගන්නට හැකිකම ද අත්‍යවශ්‍ය ය.

උදෑසන ආහාරයට කඩල ක‍න බොහෝ විට මට කඩලවලින් යන්තමින් භූමිතෙල් රසයට සමාන රසයක් දැනෙයි. මේ නම් අනිවාර්යයෙන් ම කිසියම් කෘමි නාශකයක් විය යුතු ය. විකසනය නො කරන ලද ආහාර කල් තබා ගැනීමට ද කෘමි නාශක භාවිතා වේ. විකසනය කරන ලද ආහාරවල අධික ‍මාත්‍රාවෙන් අඩංගු කල් තබා ගන්නා රසායනික ද බොහෝ විට විෂ ය. අප කන්නේ වස විස ය.

රතන හිමි වැනි වස විස නැති ‍ගොවිතැන ප්‍රවර්ධනය කරන්නන් සිය සාර්ථකභාවය හුවා දැක්වීම පිණිස සංඛ්‍යාලේඛන හා වෙනත් සාක්කි හුවා දක්වන්නේ ඉතා අඩුවෙනි. එහෙයින් ම ඔවුන් කරන්නට උත්සාහ කරන ප්‍රවර්ධනය අසාර්ථක වේ. 

අප කවුරුත් දන්නා සාමාන්‍ය දෙයක් වන්නේ කෘමි උවදුරුවලින් බේරී ගෙවතු වගාවක් හෝ කර ගැනීම අති දුෂ්කර බවයි. එසේම එවැනි වගාවන්ගේ ඵලදාව ද අඩු බව ඇත්තකි.

වානිජ ගොවිතැනෙහි යෙදෙන්නන්ට කාබනික ගොවිතැන හඳුන්වා දෙන්නට දරන උත්සාහය අසාර්ථක වන්නේ මෙතැන ය. වෘත්තීය ගොවියා යැපෙන්නේ ගොවිතැනෙන් ලැබෙන ලාභයෙනි. ලංකාවේ නම් ගොවීන් ගොවිතැනින් ලබන ලාභය පවතින්නේ ඔවුන්ගේ ජීවිතය යන්තමින් පවත්වාගෙන යන්නට ප්‍රමාණවත් මට්ටමක ය. කාබනික ‍ගොවිතැන අත්හදා බලන්නට ඔවුන්ට තිබෙන අවස්ථාව ඉතා සීමිත වන්නේ එහෙයිනි. කාබනික ගොවිතැන කරන බව කියන ‍බොහෝ අය ජීවත් වන්නේ ඒ ගොවිතැනෙන් නොව රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවලිනි.

කාබනික ගොවිතැනින් කරන ලද වානිජ කෘෂි නිෂ්පාදන ඇතැම්විට වෙළඳපොළේ සොයා ගන්නට පුළුවන. ‍එහෙත්, එහෙත්, ඒවායේ මිළ සාමාන්‍ය පාරිභෝගිකයාට  දරා ගත හැකි මට්ටමක නැත. නිදසුනක් ලෙස කෘෂි රසායනික නො ‍යොදා වගා කරන ලද බව කියන දේශීය යයි හඳුන්වනු ලබන හීනටි වැනි සහල් කිලෝවක් වෙළඳපොළේ රුපියල් 200ක් පමණ වේ.

එබැවින් කොයි තරම් උත්සාහ කළත්, කාබනික ‍ගොවිතැන වානිජ ගොවිතැන තුළ ප්‍රායෝගික කර ගැනීම උගහට ය.

ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පවත්නා වෙළඳපොළ රාමුව තුළ ම තබාගෙන කෘෂි රසායන භාවිතා කරන ආකාරය පමණක් වෙනස් කරන්නට යාම දියවැඩියා රෝගියකුගේ නිදන්ගත තුවාලයකට අලුත් පැලැස්තරයක් දැමීම වැනි ය. 

වස විස නැති ගොවිතැනකට අපට ආපසු යාමට හැකි වනු ඇත්තේ පුළුල් සමාජ විපර්යාසයක් තුළ ය. එතුළ අපගේ පාරිභෝජන රටාවන් හා ඒ හා සම්බන්ධ ධනේශ්වර නිෂ්පාදන මාදිලි ද විපර්යාසයට භාජනය විය යුතු ය. සමස්ත ජීවිතය ම ගැඹුරු පරිවර්තනයකට ලක් විය යුතු ය.

වස විස නැති ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඇත්තෙන් ම ධනවාදයට එරෙහි දේශපාලන අරගලයකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com