2014-04-17

ඇනොනිමස් ඇවිත් මස් කිරීම හා බ්ලොග් අවකාශ‍යේ ගේම්

සැම රෙදි සේදී ජලෙනි
පිරිසිදු වේවී සොඳිනී
දන මන සෝදා ලන සේ
ඔසු නැත මේ ලෝකයෙහි
(මාතලන් චිත්‍රපටයේ ගීයක කොටසකි)

සුන්දර ඉංගිරිසි මා ජනරළ පුවත්පතට ලියන කොලමකි. පසුගිය 13දා එය බ්ලොගයේ පළ කර මා නිවාඩුවක් සඳහා ගියේ අන්තර්ජාලය පැත්ත පළා‍තේ නෑවිත් පාඩුවේ ඉන්නට සිතාගෙන ය. බ්ලොගයේ පැත්තක සඳහන් කළා සේ ම "විරාමයක් ගන්න, ආපසු හැරී බලන්න, අලුතින් ජීවිතය අරඹන්න ..........." උවමනාවක් මට තිබිණි. 

අප්‍රේල් 15දා මා ටැබ් එකකින් සුළු වේලාවකට බ්ලොගයට පිවිසියේ කමෙන්ට් බලන්නට ය. එහි මාර වැඩක් වී තිබිණි. මාතලන් බ්ලොග්කරුවා කියා තිබූ කරුණක් වන්නේ කුල්ලට කියන ඉංගිරිසි වචනය පිළිබඳ කතාව මා වෙනත් බ්ලොගයකින් අසා දැනගෙන ලියූ එකක් බවකි. ඒ පිළිබඳ එම කතාව පළ කළ 'ඔරිජිනල්' බ්ලොග්කරුවාට ස්තුති නො කිරීම පිළිබඳ ආඩාපාලි රැසක් එහි කියා තිබිණි. 

ඇත්තෙන් ම, කුල්ලේ කතාව වනාහි ඉතා ප්‍රසිද්ධ, මුලින් ම ඇසූ කාල වකවානුව කවදාදැයි මට නම් මතක් කර ගන්නටත් අපහසු පැරණි කතාවකි. එහෙත්, මාතලන් ඉල්ලා සිටින නිසා එහි ගරුත්වය නිදහස් සිතුවිලි බ්ලොගය ලියන ලේඛකයාට පිරිනමමි. එකී බ්ලොගය මා එතරම් කියවා ඇති එකක් නො වේ. (මම එය ෆලෝ කිරීම ආරම්භ කළෙමි) මට එය ලියන රවී සමග ගේමක් ඇති බව මාතලන් කියයි. මා නො දන්නා පුද්ගලයකු සමග මට ඇති ගේම මට නම් තේරෙන්නේ නැත. බ්ලොග් ලිවීම මගේ දේශපාලනයේ එක් අංශයක් පමණි. මගේ ජීවිතයේ ප්‍රධාන පාර්ශ්වය ඇත්තේ නිදහස් චින්තකයකු ලෙස හා විප්ලවවාදියකු ලෙස මා ජීවත් වන ජීවිතය තුළයි. මට ලොකුම ගේම තිබෙන්නේ මා සමග ය. වෙනත් බ්ලොග්කරුවන් සමග මට කිසිදු ගේමක් නැත.

මා වෙනුවෙන් නිර්නාමිකව පෙනී සිටි මිතුරෝ මා ම යයි මාතලන් වරදවා වටහාගෙන තිබේ.  සංවාදය අග හරියේ මෙවැනි නිර්නාමික කමෙන්ටුවක් ද තිබිණ‍ි. 


මාතලන් ඔබ වැනි ප්‍රවීනයෙක් මෙසේ අදහස් දැක්වීම ගැන සතුටුයි. මේ පුද්ගලයා නීචයෙකි. මොහු කරන්නේ බ්ලොග් ලිවීම පමණි. එසේමදවස පුරා තම බ්ලොගයේ ඔන්ලයින් සිටී. ඔහුගේ වචන වලින් ඇනෝ එන්නේ කවුදැයි ඕනෑම කෙනෙකුට තේරේ.
ඔහුම ඇනෝ ලෙස පැමිණ උත්තර දෙයි.ඔහුට මදිකමක් ලෙස හැගුනොත් ඇනෝ උත්තර දෙයි. භාෂා ශෛලියෙන් ඕනෑම කෙනෙකුට එය හදුනා ගත හැක. සතුරන්ට මෙලෙස පහර දීමේ පහත්ගති ඔහු ජේවීපී කළ කාලයේදී උරුම කරගත් එකක් විය හැක.
නමුත් මේ විශ්‍රාමික ත්‍රස්තවාදියාගේ ලිපි කියවා මමත් මොහු යහපත් කෙනෙක්යැයි සිතුවෙමි.එහෙත් පාඨකයන් සිතන ලෙසම මොහු යහපත් කෙනෙක් නොවේ.
ඇනෝ දමන්නේ මොහු බව සත්‍ය වන අතර මොහු පාසලේ සේවය කරන හැටි ගැන හොද අදහසක් ගත හැක.එසේම මොහුම වෙනත් බ්ලොග්වලද ඇනෝ දමන බව මට සිතේ.
භාෂා ශෛලියෙන් ඕනෑම කෙනෙකුට මේ නීචයාගේ කොමෙන්ට් සොයා ගත හැක.

ඇත්තෙන් ම මෙය කියවූ පසු නම් මොහොතකට හෝ මට යම් කලකිරීමක් ඇති විණි. වයස අවුරුදු 49ක් වන මා දැනට පූර්ණකාලීනව කරන රැකියාවට පිවිසුණු පසු මෙවැනි අපහාස අැසුවේ බ්ලොග් අවකාශයෙහිදී පමණි. මීට පෙර ඇතැමුන් විසින් ලියන ලද කුණුහරුප සමග ගත් කල ‍මේවා එතරම් දේ නො වේ. මගේ බ්ලොග්කරණය නිසා අරුණි ශපීරෝ වැනි ඇතැම් බ්ලොග්කරුවන් මා කරන වෘත්තිය ගැන සඳහන් කරමින් මා පුංචි මිනිසකු බව පෙන්වීමට උත්සාහ කර තිබිණි. එය ඇත්තට ම ශ්‍රමය අපතේ යැවීමකි. කොහොමත් මම මා සලකන්නේ කම්කරුවකු ලෙස ය. මම උගතෙක් ද නො වෙමි. මා උගත් දෙයක් තිබේ නම්, ඒවා ඉගෙන ගෙන තිබෙන්නේ විවිධ මිනිසුන් සමග ජීවත් වීමෙනි. තනිව හා සාමූහිකව හැදෑරීමෙනි. කල්පනා කිරීමෙනි. මහ පාරේ ‍ගෙවුණු ජීවිතයෙනි.

13දායින් පසු මා නැවත බ්ලොගය ලියන්නේ අද ය. සමාජය ගැන ඇති වන කලකිරීම දිනෙන් දින වැඩි වුව ද, අල්පයක් හෝ සොඳුරු මිනිසුන් නිසා මම ම‍ගේ දිරිය මුවහත් කර ගනිමි. අපහාස කිරීම් හරහා අප ලිවීම නැවැත්වීමට කිසිවෙක් සිතන්නේ නම්, මට ඒ අයට කීමට ඇත්තේ එය සිදු නො වන බවයි. මන්ද, ‍ලිවීම මට දැන් හුස්ම ගැනීම වැනි අත්‍යවශ්‍ය දෙයකි. නො ලියා සිටියහොත් මා මිය යනු ඇත. මා ලියන එක නවත්වන්නට මා මරා නො දැමීම ගැන මම ආණ්ඩුවට ද වෙනත් එවැනි අයට ද ස්තුතිවන්ත වෙමි.

මා ලේඛකයකු හා මාධ්‍යකරුවකු වූයේ අන්තර්ජාලය ලංකාවේ ව්‍යාප්ත වන්නට පෙර ය. එහෙත්, පොත් හෝ පුවත්පත් කර්මාන්තවලට වඩා අන්තර්ජාලයේ තිබෙන සුඛනම්‍ය ස්වභාවය නිසා මම අද බ්ලොග්කරණය මගේ මූලික මාධ්‍ය අවකාශය ලෙස තෝරාගෙන සිටිමි. 

බ්ලොග්කරුවකුට බ්ලොග් මාධ්‍ය වෙනුවෙන් කළ හැකි හොඳ ම මෙහෙය වන්නේ බ්ලොග් අවකාශයේ විවිධත්වය පුළුල් කිරීම යයි මම සිතමි. බ්ලොග්කරුවන් අතර අන්‍යොන්‍ය සුහදත්වය ද හොඳ දෙයකි. එහෙත්, ඒ වනාහි එකිනෙකාගේ පිට කසා ගැනීමට නොව, බ්ලොග් අවකාශ‍යේ යහපැවැත්ම සඳහා ය. 

පිට කසාගැනීමේ කලාව නම් පිටුදැකිය යුතු එකකි. මන්ද, ලංකාවේ සියලු කලාවන් පිටුදැකීමට භාජනය වී තිබෙන්නේ මේ පිට කසා ගැනීම නිසා ය. සිංහල බ්ලොග් අවකාශය පිට කසා ගැනීම්, බෙලි කපා ගැනීම්, බොරු යාලුකම් ආදියෙන් හා පුහු වීරයන්ගෙන් ගහණ තැනක් බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත්, අපි එකී පිට කසා ගැනීම්වලින් මිදී සිටිමු. අප වෙත පාඨකයන් පිවිසීම හුදෙක් යාළු මිත්‍රකම් නිසා නොව, අපගේ බ්ලොගයේ අන්තර්ගතය නිසා සිදු වන තත්වයක් අපි නිර්මානය කර ගත්තෙමු. හිත මිත්‍රකම් මත අපි කිසි කලෙක කිසිවක් අගය කර නැත. එසේ ම, කිසිවකු අපගේ මිතුරකු නො වන නිසා ම කිසියම් දෙයක් විවේචනය ද කර නැත. විප්ලවවාදී මාධ්‍යකරුවකුට ස්ථිර මිතුරන් නඩත්තු කිරීම තරමක් දුෂ්කර ය. අපගේ මිතුරන් සෑහෙන පිරිසක් අප සමග හිත නො හොඳ වූයේ අප ලියූ දේවලින් ඔවුන්ට රිදුණු නිසා ය. එහෙත්, ඒවා බොරු නො වන බව ඔවුහු දනිති.

අප බ්ලොග්කරණයේ යෙදෙන්නේ සිංහල බ්ලොග් ලෝකයේ පොරවල් වෙන්නට නො වේ. අප ස්පර්ශ කරන ලෝකය ඊට වඩා පුළුල් එකකි. බ්ලොග්කරුවන් එකතු වන සංසදවල අප දකින්නට නැත්තේ ඒ නිසා ය. අප ලියන්නේ ඉතා පැහැදිලි දේශපාලන පදනමක් මත සිට ය. ඒ වනාහි සමාජ සංවාදය පෝෂණය කිරීමයි. විකල්ප අදහස් ප්‍රවර්ධනය කිරීමයි. එසේම, පවතින ධනවාදී ක්‍රමය විසින් ප්‍රවර්ධනය කරනු ලබන, පාරිභෝජනවාදී, පුද්ගලවාදී, කෲර ලෙස ලාභය හඹා යන කාලකන්නි ජීවිතය වෙනුවට සොඳුරු වූ ද, මානුෂික වූ ද, සමාජමය මිනිස් ජීවිතයක් සොයා ගැනීම වෙනුවෙන් අපි පෙනී සිටිමු. අපි එය සමාජවාදය සඳහා අඛන්ඩ අරගලයක් ලෙස නම් කර තිබේ. 

වෙනත් නමකින් හෝ අප එය කළ යුතු ය. වඩා හොඳ තත්වයන් වෙනුවෙන් සටන් කිරීම මිනිසාගේ සහජ ස්වභාවයකි. අප එය කළ යුතු ය. වඩා‍ හොඳ දෙය තෝරා ගැනීම සඳහා අප අතර සංවාදයක් තිබිය යුතු ය. 

එය පොදු මිනිස් අරගලයකි. බ්ලොග් අවකාශයේ ඇතැමෙක් ධනවාදය ආරක්ෂා කිරීම ස්වයංව තමන්ට පවරාගෙන තිබේ. තවත් සමහරු ආණ්ඩුව ආරක්ෂා කිරීම තමන්ගේ වගකීම ලෙස සිතා සිටිති. ඔබගේ අදහස දැරීමට ඔබට ඇති අයිතියට ගරු කරන ගමන් ම එය ප්‍රශ්න කිරීමට ද අපි ඉදිරිපත් වන්නෙමු. එසේම, ඔබට අපව ද ප්‍රශ්න කළ හැකි ය. අපගේ බ්ලොගයේ අදහස් පළ කිරීම සඳහා පූර්ණ නිදහස දී තිබෙන්නේ එහෙයිනි. 

මෙහි කර්තෘ ලෙස මම ප්‍රතිපත්ති කීපයක් අනුගමනය කරමි. 
  • මට අන්තර්ජාලයේ බොරු අනන්‍යතා නැත. කුමන තර්ජනයක් ආවත් මා පෙනී සිටින්නේ මගේ සැබෑ අනන්‍යතාවෙන් පමණි. 
  • මම මෙම බ්ලොගයේ හෝ වෙනත් තැනක නිර්නාමික අදහස් පළ කිරීම් කරන්නේ නැත. නමින් පළ කළ නො හැකි අදහස් මම පළ කරන්නේ නැත. 
  • යාලු මිත්‍රකම් හා මගේ ලිවීම් යනු එකිනෙකට සම්බන්ධ නො වන දෙකකි. මට ලිවීමට අවශ්‍ය දෙයක් මා නො ලියා සිටිනවා නම්, එසේ කරන්නේ දේශපාලනික හේතුවක් මත මිස කිසිදු යාලු මිත්‍රකමක් නිසා නො වේ. 
  • අප ප්‍රකාශ කරන අදහස්වලට බලපෑමක් වන අන්දමේ කිසිදු අනුග්‍රහයක් අපි ලබා ගන්නේ නැත. 

අප ඒවා නො කළා ය කියා, එසේ කරන අය හෙළා දැකීමේ උවමනාවක් ද අපට නැත. අප මෙම බ්ලොගයේ නිර්නාමික අදහස්වලට ඉඩ ලබා දෙන්නේ ඒ නිසා ය. 

කරුණාකර මෙම අවකාශය බුද්ධිමත් සංවාදයක් සඳහා පමණක් භාවිතා කරන ලෙස අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

මාතලන් සහෝදරයා වෙනුවෙන් මාතලන් චිත්‍රපටයේ එන පහත දැක්වෙන ගීතය ඉදිරිපත් කරමි. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com