I HAVE A DREAM කණ්ඩායමට සල්ලි දෙන්නෙ කවුද?

 

අජිත් පැරකුම් ජයසිංහ

මම දැනට අවුරුදු තුනක විතර ඉඳන් වැඩකරන්නෙ අලුත් කතාබහ කියන දේශපාලන, උද්දේශන කණ්ඩායම එක්ක. I have a dream කියන්නෙ තවත් පිරිස් එක්ක ඒ කණ්ඩායම පුළුල් කිරීමක්. දැන් මං නියෝජනය කරන්නෙ I have a dream සාමූහිකය බව කියන එක නිවැරදියි.

ලංකාවෙ සමාජ, දේශපාලන කතාකාව අරගලයට පක්ෂපාතී එකම දිශානතියකට යොමුවෙලා තිබෙද්දි, පසුගිය අගෝස්තු 25දා අපි මහවැලි කේන්ද්‍රයේ සම්මන්ත්‍රණයක් පවත්වමින් අපේ මාර්ගය හරහා බැඳී තිබුණු අයිස් වැටිය බිඳගෙන ඉදිරියට ගියා. ඒ සාමූහිකය විදියට අපි හෙමින්, එහෙත් ස්ථිරසාර ගමනක් යනවා. අලුත් පිරිස් එක්ක අපි වැඩ කරනවා.

ඊයේ අපි අපේ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ධාරිතා සංවර්ධන වැඩමුළුවක් කොළඹදී පැවැත්වූවා. ආර්ථිකය, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රීකරණය, දේශපාලන ආර්ථිකය හා සංවර්ධන දේශපාලනය, හා තත්කාර්යවාදී උපායමාර්ගික ප්‍රවේශයන් ගැන අපි ගැඹුරු සාකච්ඡා හතරක් පැවැත්වූවා. ඒකෙන් අපි අපේ කාර්යයන් සම්බන්ධයෙන් මතවාදීමය වශයෙන් හා කුසලතා පැත්තෙන් ශක්තිමත් වුණා.

අපි වගේම තවත් පිරිස් තවත් සමාන්තර මුලපිරුම් පටන්ගෙන තිබෙන එක අපේ සතුටට හේතුවක්. අපි අපේ පූර්ණ දායකත්වය ඒවාට දක්වනවා. ගොඩයමු වැඩසටහනත් එවැනි එකක්. ඕනෑම කෙනෙකු එක්ක සංවාදගත වන්න, එකතු වෙලා සාමූහික උද්දේශනයන්හි යෙදෙන්න අපි සූදානම්. අපි පෙනී ඉන්නෙ ලංකාවේ ස්ථාවර ආර්ථික, දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කරගැනීම වෙනුවෙන් වන ප්‍රතිසංස්කරණ සඳහායි. මේ මොහොතෙ අපි දැනට බලයේ සිටින ආණ්ඩුවට ඒ වෙනුවෙන් උද්දේශනය කරනවා. ආණ්ඩු වෙනස් වුණොත්, අපි ඉදිරියට බිහිවන ආණ්ඩුවක් එක්ක වුණත් වැඩකරනවා. හැබැයි, මේ මොහොතේ අපේ ප්‍රමුඛතා අතර මැතිවරණ ඉදිරියෙන් නැහැ. ආර්ථික හා දේශපාල ප්‍රතිසංස්කරණ තමයි ඉදිරියෙන් තියෙන්නෙ.

සමහරුන්ට ප්‍රශ්න තියෙනවා අපට කවුරුද අරමුදල් සපයන්නෙ කියලා. I have a dream සාමූහිකය අඩුගානෙ ලේකම්, සභාපති, භාණ්ඩාගාරික, කැඳවුම්කරු, නායක වගේ තනතුරු නාමිකවවත් පත්කරගෙන නොමැති නිදහස් සාමූහිකයක්. විධිමත් සංවිධානයක් නෙමෙයි. ඒ නිසා අපට ව්‍යාපෘති එහෙම ක්‍රියාත්මක කරන එක අමාරුයි. වැඩසටහනෙන් වැඩසටහනට අපි අරමුදල් හොයනවා. අපේ අතිනුත් වියදම් කරනවා. අපි වැඩිපුරම ගන්නෙ මුදල් නොවන විදියට අපට සපයන in-kind ආධාර. උදාහරණයක් විදියට ඊයේ පවත්වපු ධාරිතා සංවර්ධන වැඩසටහන වෙනුවෙන් හිතවත් සංවිධානයක් අපට ස්ථානය, කෑම, තේ වැනි පහසුකම් සැපයුවා. අපේ සම්පත්දායකයන් ඒ වටිනා පුහුණුකිරීම් අපට කළේ රුපියලක්වත් අය නොකර ස්වේච්ඡාවෙන්. සහභාගී වුණ අය ආවෙ දවස කැප කරගෙන, ගමන් ගාස්තු අතින් වියදම් කරගෙන.

මහවැලි කේන්ද්‍රයේ රැස්වීම, මහජන පුස්තකාලයේ කරපු සම්මන්ත්‍රණ, ගම්පහ රැස්වීම ආදී සියලු කටයුතු වෙනුවෙන් අපට හිතවතුන් හා හිතවත් සංවිධාන උපකාර කළා.

මේ දක්වා වැඩ කරන්නට අපට මුදල් ගැටලුවක් වෙලා නැහැ. කවුරු හරි දායකත්වයක් සපයනවා. මේ විදියට තමයි අපි දිගටම වැඩකරන්නට බලාපොරොත්තු වෙන්නෙ. කවුරුහරි කැමති නම්, අපි කරන වැඩක් ගැන විමසලා උදව් කරන්න අපි ඉතාම සතුටින් ඒක භාරගන්නවා. යම් යම් කොන්දේසි සම්බන්ධයෙන් පවා අපි නම්‍යශීලීයි. අරමුදල් සපයන අයට තිබෙන ගැටලු ගැන අපි සංවේදීයි. උදාහරණයක් විදියට අපි අරමුදල් සොයමින් ඉන්නවා, අපේ දේශපාලන ස්ථාවරය මාක්ස්වාදී, වාමාංශික භාෂාවෙන් පැහැදිලි කරමින් සී.ජේ. අමරතුංග සහෝදරයා සම්පාදනය කරමින් සිටින පොත මුද්‍රණය කරන්න. කැමති කෙනෙකුට අපට කතා කරලා කිසියම් වැඩකට උදව් කරන්න පුළුවන්. මුදල් අපේ අතට දෙන්න අත්‍යවශ්‍ය නැහැ.

මේ පැහැදිලි කිරීම කරන්නෙ අපට මුදල් ලැබෙන මාර්ග ගැන එක එක ගවේෂණ කරන අයට තමන්ගෙ කාර්යය පහසු කරන්නටයි. අපි කාගෙවත් කළු සල්ලිවලින් වැඩ කරන්නෙ නැහැ. කප්පම් ගන්නෙ නැහැ. ඒ නිසා අපට මුදල් ලැබෙන මාර්ග ගැන විවෘතව කතාකරන්න පුළුවන්. අපේ දේශපාලන සංස්කෘතිය ඇතුළෙ ඒක දිගටම පවත්වාගන්න එක අපේ අරමුණක්.

දේශපාලනය කරන්න මුදල් ඕනැ. අපේ රටේ දේශපාලන සංවිධාන පුරුදු වෙලා ඉන්නෙ රාජ්‍ය සම්පත් භාවිතා කරන්න. ව්‍යාපාරිකයන්ට විවිධ පොරොන්දු දෙමින් මුදල් ලබාගන්න. කප්පම් ගන්න. කළු සල්ලි පාවිච්චි කරන්න. විවිධ වංචාවලින් මුදල් උපයන්න. ඒ සංස්කෘතිය වෙනස් කරන්න. අපි වගේ මුදල් ලැබෙන මාර්ගය විවෘතව කතාකරන්නට පුළුවන් විදියට දේශපාලනය කරන්න.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා