නොවැම්බර් 17ගැන නොවැම්බර් 18දා


 

අජිත් පැරකුම් ජයසිංහ

ගෝඨාභය පැන්නීමේ ජයග්‍රහණය ගැන නොවැම්බර් 17 සතුටු වුණ අය වෙනුවෙන් මේක ලියන්නෙ.

මං අරගලයට සම්බන්ධ වුණේ අරගලකරුවන්ට ආණ්ඩුව සමග සාකච්ඡා කරන්නට ආරාධනා කළ තැන දක්වා පමණයි. මං හිටියෙ සාකච්ඡාමය විසඳුමකට යා යුතුයි කියන තැන.

අරගලකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමුවා. එසේ කළේ මොබ් යොදවා ඔහුගේ පෞද්ගලික නිවස වටකිරීමෙන් පටන් අරගෙන කාර්යාලය ඉදිරිපිට වාඩිලාගැනීම හරහා අවසානයේදී නිල නිවස ආක්‍රමණය කර පස්සා දොරෙන් ඔහු පළවාහැරීම දක්වා ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග ඔස්සේ. මතක තියාගන්න, ආයුධ තිබුණෙ නැහැ. ඒ වුණාට මේවා ප්‍රචණ්ඩ, නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග.

ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය තුළ ඔහු කළ වැරදි, ඒවා සම්බන්ධයෙන් ඔහුගේ වගකීමේ ප්‍රමාණය, වැරදි යයි කියනු ලබන ඒ ක්‍රියාමාර්ග ගැනීමට හේතු වූ තත්වයන්, ඒ සම්බන්ධයෙන් සමාජයේ සෙසු බලවේගවල වගකීම ආදිය ගැන විමර්ශනයක් තියා හරිහමන් මධ්‍යස්ථ විශ්ලේෂණයක්වත් අඩු ගානෙ අරගලයේ ඊනියා න්‍යායවේදීන් හෝ ලියලා නැහැ. භූපති නලින් වික්‍රමගේගෙ පොත විතරයි යම් දුරකට හරි ඒක කරන්නෙ.

මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර දෙන එක රටේ ඩොලර් ප්‍රශ්නෙත් එක්ක ගත්ත ක්‍රියාමාර්ගයක්. ඒක වැරදි නැහැ. වැරදි කෘෂි රසායනික තහනම හා කාබනික ගොවිතැන සම්බන්ධයෙන් ගත්ත පියවර. ඒකට ගෝඨාභය විතරද වගකියන්න ඕනැ. මොන්ලාර් (ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය) වගේ රාජ්‍ය නොවන සංවිධාන දශක ගණනාවක් තිස්සෙ මේ රටේ ව්‍යාපෘති කරමින් ඒ සම්බන්ධ මතයක් සමාජයේ ප්‍රවර්ධනය කළා. කාබනික ගොවිතැන උත්කර්ෂයට නංවන්නෙ ඒ ධාරාව විසින්. මේ තීරණ පසුබිමේ ඒ මත ගොඩනැගීම තියෙනවා. ඒගොල්ලන් ඒ සම්බන්ධයෙන් වගකීම භාරගන්නවද? මොන්ලාර් එක අරගලයට විශාල දායකත්වයක් කළා. දැනුත් කරනවා. එහි මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ අත්අඩංගුවට පවා ගත්තා.

දැන් මං කියන්නෙ, අරගලයෙන් කළේ ඡන්දයෙන් බලයට පත්වුණ ජනාධිපතිවරයකු ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරලා, නීති විරෝධී ක්‍රියා ඔස්සේ භීෂණයට හා ආතතියට පත්කර, ප්‍රජාතන්ත්‍ර විරෝධී අන්දමින් බලයෙන් පහකරදැමීමයි කියලායි. මං ඉතා පැහැදිලිව කියනවා මේක ලංකා ඉතිහාසයේ දෙවෙනි වෙන්නෙ ජනාධිපති ආර්. ප්‍රේමදාස ඝාතනයට විතරයි කියලායි. මේකට සම්බන්ධ වෙච්ච සියලුදෙනා මේ සම්බන්ධයෙන් වගකියන්නට ඕනැ.

ඒ අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන එකට මං විරුද්ධයි. ඊට කලින් ඡන්දයෙන් පත්වුණ ජනාධිපතිවරයකු ප්‍රචණ්ඩත්වයෙන් ධුරයෙන් පහකිරීම ප්‍රජාතන්ත්‍රවාදය ඇසුරෙන් පැහැදිලි කරලා එන්න. දැන් මෙන්න මේ කාරණේ අවබෝධ කරගන්න.

මං කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය හොඳ බෙන්ච්මාක් එකක්ය කියලායි. මං මොනම වාදියෙකුවත් නෙමෙයි. අඩුගානෙ ප්‍රජාතන්ත්‍රවාදියෙකුවත් නෙමෙයි. වාදියො වුණාම වාදය උස්මුරුත්තා වෙනවා. මට එහෙම වෙන්නෙ නැහැ.

මේක විප්ලවීය අවධියක්. තාම යන්නෙ විප්ලවය හා ප්‍රතිවිප්ලවය. මං විප්ලවය විග්‍රහ කරන්නෙ රාජපක්ෂවාදී රාජ්‍ය මූලික සුබසාධනවාදී ආර්ථික හා දේශපාලන ක්‍රමය පෞද්ගලික අංශය හා වෙළඳපොළට ප්‍රමුඛතාව දෙන, රාජ්‍යය නියාමනයට හා සමාජ ආරක්ෂණයට ප්‍රමුඛතාව දෙන අලුත් ක්‍රමයකින් ප්‍රතිස්ථාපනය කරන එකට. ඒක තවම අසම්පූර්ණ විප්ලවයක්.

හැබැයි, මං රාජ්‍ය පාලනයත් එක්ක සම්බන්ධ නැහැ. මං මාධ්‍යකරුවෙකු විතරයි. ප්‍රතිවිප්ලවීය කෘරත්වයේදි ඒකත් මතක තියාගන්න. ඒක එච්චර ලොකු ප්‍රශ්නෙකුත් නෙමෙයි හැබැයි. අපි හිටිය වැඩි අය කියලනෙ අරගලකාරී භද්‍ර යෞවනයො කියන්නෙ. දැන් ලංකාවෙ තාරුණ්‍යය කියන්නෙ පනහට අඩු එකක්. මට 57යි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා