පළාත් පාලන ඡන්දය කල්දැමීම

 

අජිත් පැරකුම් ජයසිංහ, 2022 නොවැම්බර් 13 අනිද්දා සමබිම අතිරේකයෙනි.

අපි සාමාන්‍යයෙන් කැමතියි සැක කරන්න. සැකය පතුරුවන්න. සැකය මත පදනම් වෙලා ව්‍යාපෘති පවා සම්පාදනය කරනවා. සැකය ලොකු මාකට් එකක්. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ තිබුණු තත්වය නැවත ගෙන ඒම සම්බන්ධයෙනුත් ඔය සැක මාකට් එක වැඩ කළා. ඒ වුණාට 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතත් වුණා. ඒක 19 මයිනස් වුණේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිර්දේශ නිසා.

පළාත් පාලන මැතිවරණවල සීමා නිර්ණය නැවත සිදුකිරීම හා මන්ත්‍රී සංඛ්‍යාව අඩුකිරීම ගැනත් මේ දවස්වල සංවාදයක් සිදුවෙනවා. ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කල්දැමීමට උත්සාහ කරන බව විපක්ෂය චෝදනා කරනවා. එහෙත්, සීමා නිර්ණය සඳහා පත්කළ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය කියන්නේ සීමා නිර්ණය සකස් කරන එකත් මැතිවරණ පවත්වන එකත් වැඩ දෙකක් බවයි. සීමා නිර්ණය සිදුකිරීම මගින් මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණ පැවැත්වීම වළක්වන්නේ නැති බව ඔහු පැවසුවා. පළාත් පාලන මැතිවරණ පවත්වන ආකාරයේ වෙනසක් සිදුනොකර මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩුකිරීම සඳහා අවශ්‍ය සීමා නිර්ණයක් පමණක් සිදුකරන නිසා එමගින් මැතිවරණ කල්දැමීමක් සිදු නොවන බව ඔහු පෙන්වාදුන්නා. මෙම සීමා නිර්ණය පෙබරවාරි 28ට පෙර සිදුකළ යුතු වුණත්, ඊටත් පෙර එය අවසන් කිරීමට කටයුතු කරන බව ඔහු පවසනවා.

2023 වසරේ පෙබරවාරි අග හෝ මාර්තු මස මුළ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ නීතිය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය මේවන විට පැවරී තිබෙන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ, පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කොමිෂන් සභාව සූදානම් බවයි.

පළාත් පාලන මන්ත්‍රීන් සංඛ්‍යාව 8,000 සිට 4,000ට අඩු කිරීමට තමයි ආණ්ඩුව යෝජනා කරන්නෙ. ඒක ගැන විරෝධයක් ඇති බවක් පෙනෙන්නෙ නැහැ. පසුගිය අවුරුදු පහක අත්දැකීම් එක්ක බැලුවාම පළාත් පාලනයේ මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු සේවයක් රටට වෙලා නැති බව පැහැදිලියි. ඒ සංඛ්‍යාව අඩුකිරීම හා පළාත් පාලන ආයතන කීපයක් ඒකාබද්ධ කිරීම සඳහාත් යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා. 2022 අතුරු අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ පහත දැක්වෙන ප්‍රකාශය සිදුකළා: “දැනට පළාත් පාලන ආයතන 341 ක් රට තුළ ක‍්‍රියාත්මක වන අතර මහ නගර සභා 24 ක්, නගර සභා 41 ක්, ප‍්‍රාදෙ ්ශීය සභා 276 ක් මෙයට ඇතුළත් වනවා. ආදායම් මාර්ග බහුල පළාත් පාලන ආයතන මෙන්ම, ප‍්‍රමාණවත් ආදායම් මාර්ග නොමැති ආයතන ද පවතිනවා. එබැවින් වඩා කාර්යක්ෂම මහජන සේවයක් සැලසීම හා පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ආරම්භයක් වශයෙන් තෝරාගත් ප‍්‍රාදේශීය සභා කිහිපයක් එම ප‍්‍රාදේශීය සභාවලට ආසන්නයේම පිහිටි නගර සභාවට හෝ මහ නගර සභාවට ඒකාබද ්ධ කිරීමට යෝජනා කරනවා.”

2018ට පෙර මහ නගර සභා 23 ක්, නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 271 ක් ආවරණය කරමින් පළාත් පාලන ආයතන 335ක සිටි මුළු සභික ධූර සංඛ්‍යාව 4486 ක් වුණා. නව ක්‍රමය යටතේ එය ආයතන 341 ක් දක්වා වැඩි වී සභික ප්‍රමාණය 8346 ක් දක්වා වැඩිවුණා. උදාහරණයක් ලෙස, කොළඹ නගර සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 53 සිට 110 දක්වා වැඩිවුණා.

2018ට පෙර, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, නියෝජ්‍ය ප්‍රධානීන් සහ මන්ත්‍රීන් වෙනුවෙන් වැටුප් සඳහා රජය වැය කළේ රු. කෝටි 84ක්. එය 2018න් පසුව දෙගුණ වුණා. මේ මහජන නියෝජිතයන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව යෝජනා සම්මත කරගෙන සභා අරමුදලින් ද තමන්ගේ පහසුකම් වැඩිකරගන්නා බව අප්‍රකට සත්‍යයක්. උදාහරණයක් ලෙස, ඒ ආකාරයෙන් ඔවුන් ජංගම දුරකථන, දුරකථන බිල් සඳහා මුදල් ආදිය ලබාගන්නවා. මේ මන්ත්‍රීන් වෙනුවෙන් යන වියදමට සාපේක්ෂව මහජනතාවට තිබෙන ඵලදායීතාව මොකක්ද?

මේ අතර තරුණ නියෝජනය සඳහා කලින් පැවති අවස්ථාව යළි ලබාගැනීමේ අරමුණින් පළාත් පාලන පනත සංශෝධනය කිරීමේ කෙටුම්පතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ලක්ෂ 50කට ආසන්න වන වයස අවරුදු 15-29 අතර ලාංකික තරුණ ජනගහනය රටේ ජනගහනයෙන් 25%ක්. ඔවුන් වෙනුවෙන් පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවල 40%ක ඉඩ වෙන්කිරීම 1990 සිට 2012 දක්වා කාලයේදී අනිවාර්ය වුණා. 2012 අංක 22 දරන පනතින් මෙය 25% දක්වා අඩු කරනු ලැබුවා. එසේම, එය තරුණ හා කාන්තා ඒකාබද්ධ නියෝජනයක් ලෙස ද වෙනස් කරනු ලැබුවා. එහෙත්, එය දේශපාලන පක්ෂවල කැමැත්ත මත තීරණය කළ හැකි කරුණක් වුණා. ඒ නිසා දේශපාලන පක්ෂ එය නොතකා හැරියා. 2017 අංක 16 දරන පනතින් පළාත් පාලනයේ තරුණ නියෝජනය 30% දක්වා වැඩි කර තිබුණ ද එය ද අනිවාර්‍ය නැහැ.

පළාත් පාලන මන්ත්‍රීන්ට තමන්ගේ භූමිකාව ගැන තිබෙන අවබෝධයත්, මහජනතාව ඔවුන්ගෙන් අපේක්ෂා කරන දේත් අනුව, ඔවුන් කරන්නේ කොන්ත්‍රාත් කරන එක වැනි අදාළ නැති වැඩ. පළාත් පාලනය කියන්නේ පාලනයේ මහජන සහභාගීත්වය ප්‍රවර්ධනය සඳහා තිබෙන තැනක්. ඒත්, ඒක එහෙම පාවිච්චි වෙනවද? මේ තත්වය වෙනස් කර, එහි ඵලදායීතාව වැඩිකිරීම සඳහා පියවර ගන්නා එක වැරදිද?

ඒත්, විපක්ෂය කියන්නේ, ආණ්ඩුව මේක කරන්නෙ මැතිවරණ කල්දාන්නය කියලා. මේ වගේ සීමානිර්ණ උපායකින් කල්දාපු මැතිවරණයක් තමයි පළාත් සභා. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ රජයට උපදෙස් දුන් ඇතැම් පක්ෂත් මේ වන විට ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කල්දැමීමට උත්සාහ කරන බවට මහ හඬින් චෝදනා කරනවා.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ක්‍රමයේ බරපතල අර්බුදයක් තිබෙනවා. මැතිවරණයෙන් මැතිවරණයට පනත් සංශෝධන කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම, පළාත් පාලන මැතිවරණ බොහෝවිට නිසි කලට පවත්වා නැහැ. මින් පෙර පළාත් පාලන මැතිවරණ පැවැත්වුණේ 2018දී. ඉන් පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ 2011දීයි. ඒත්, පළාත් පාලන මන්ත්‍රීන්ගේ ධුර කාලය අවුරුදු හතරක් පමණයි. පළාත් පාලනයේ තිබෙන මේ නිදන්ගත රෝගවලට ප්‍රතිකාර දීම අවශ්‍යයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා