බංකොලොත්භාවයෙන් ගොඩඑන ගමන් සංවර්ධනයේ බීජ සිටුවන අයවැයක්

 

හර්ෂ ගුණසේන

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා පිළිබඳව විවිධ චෝදනා මෙන්ම පැසසුම් ද ඉදිරිපත් වෙමින් පවතී.මෙම අයවැය ඉදිරිපත් කරන ලද්දේ රට ඉතිහාසයේ ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවකට පත්ව සිටින මොහොතකය.මෙතෙක් කල් පැවති සියලු ආණ්ඩු විසින් අනුගමනය කරන ලද්දේ සිය පැවැත්ම තහවුරු කරන ආර්ථික ප්‍රතිපත්ති විය.

රටේ මත ඉදිරිපත් කරන බොහෝ දෙනෙකු රට විසින් අනුගමනය කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති සිය ආර්ථික දේශපාලන දැක්ම අනුව තීරණය කර මත ඉදිරිපත් කරති. අයෙකු ආනයන ආදේශක ඉදිරියට ගත යුතු යයි සිතන අතර අයෙක් අපනයන ප්‍රවර්ධනය ඉදිරියට ගත යුතු යයි සිතති. අයෙකු රාජ්‍යය ව්‍යාපාර නොකළ යුතු යයි සිතන අතර අයෙක් රාජ්‍ය ව්‍යාපාර පාඩු නොලබන ලෙස පවත්වාගත යුතු යයි සිතති. අයෙක් පෞද්ගලික අංශයට විරුද්ධ වන අතර අයෙක් පෞද්ගලික අංශය ප්‍රවර්ධනය කළ යුතු යයි සිතති. අයෙක් විදේශ ආයෝජනවලට එරෙහි වන අතර අයෙක් විදේශ ආයෝජනවලට අනුග්‍රහය දක්වති.

මෙම බෙදීම නව ලිබරල් වශයෙන් ද සමාජවාදී හෝ මාක්ස්වාදී වශයෙන් ද මෙම අන්ත අතර ඇති යම් මතවාද වශයෙන් ද අර්ථ දක්වනු ලැබේ. සිංහල ගැමියන් අතර වැඩක් කළ යුත්තේ වැඩේට ඕනෑ හැටියට යයි කියුමක් තිබේ. එහි තේරුම වැඩේට තමන් නිමවිය යුත්තේ කෙසේදැයි අදහසක් ඇති බව නොවේ. යම්කිසි වැඩක් සාර්ථක අවසානයකට යා යුතු නම් එය කළ යුතු එක්තරා ක්‍රමයක් තිබෙන බවත් වැඩේ කරන්නා විසින් එම ක්‍රමය අල්ලා ගත යුතු බවත්ය. මෙය බිත්තියකට ඇණයක් ගැසීමට, ආර්ථිකය පාලනයට මෙන්ම නිවන් දැකීමට ද එකසේ අදාළය.

එබැවින් ආර්ථිකය පාලනය කළ යුත්තේ ආර්ථිකය දියුණු කළ හැකි ක්‍රමවේදයකට මිස එක් එක් අයගේ මතවාද සන්තර්පණය කිරීමට හෝ ජනතාව ඇන්දවීම හරහා මැතිවරණ ජයග්‍රහණය පිණිස හෝ නොවේ. විශේෂයෙන්ම මේ අර්බුදකාරී අවස්ථාවේ මෙයින් ගොඩ ඒමට හැකි (එය පහසු නැත) ක්‍රමවේදයක් හරහාය.

අයවැය අවසානයේ ඉදිරිපත් කරන අයවැය ඇස්තමේන්තු වල සාරාංශය වගුවක් ලෙස මේ සමඟ ඉදිරිපත් කර ඇත. වර්ෂ 2018 සිට 2023 දක්වා පසුගිය අයවැය කථා ආශ්‍රයෙන් අදාල තොරතුරු එම වගුවේ දැක්වේ. ගණන් දක්වා ඇත්තේ රුපියල් බිලියන වලිනි.වර්ෂ 2022 සඳහා බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ ඇස්තමේන්තු නොව රනිල් වික්‍රමසිංහ අතුරු අයවැය මගින් ඉදිරිපත් කළ ඇස්තමේන්තු යොදා ගෙන ඇත. අවසාන තීරුවේ දැක්වෙන්නේ වර්ෂ 2022 ඇස්තමේන්තු පදනම වශයෙන් ගෙන 2023 සඳහා වර්ධනය ප්‍රතිශතයක් ලෙසයි. දළ ජාතික නිෂ්පාදිතය මහා බැංකු වාර්තාවලින් ලබාගත් අතර 2022 වර්ෂය සඳහා ආර්ථිකය 9.2% කින්ද 2023 සඳහා ආර්ථිකය 4.2% කින්ද හැකිලෙනු ඇතැයි ලෝක බැංකුව විසින් පුරෝකථන කර ඇත. ඒ අනුව 2021 දළ දේශීය නිෂ්පාදිතය 9.2% කින් හකුළුවා එය 2022 සඳහා දළ දේශීය නිෂ්පාදිතය ලෙස සහ එම අගය තවත් 4.2% කින් හකුළුවා එය 2023 සඳහා දළ දේශීය නිෂ්පාදිතය ලෙස වගුවේ දක්වා ඇත.

වගුවට අනුව අදායම් බදුවලින් ලැබෙන ආදායම 63.4% කින් වැඩිවී ඇති අතර භාණ්ඩ සහ සේවා මත බදුවලින් ලැබෙන ආදායම 81.4% කින් වැඩිවී ඇත. ආදායම් බදුවලින් ලැබෙන ආදායම රු. බිලියන 912ක් වන අතර භාණ්ඩ සහ සේවා මත බදුවලින් ලැබෙන ආදායම එයට වඩා දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් වන රු. බිලියන 1763 කි. වර්ෂ 2018 දී මෙම අනුපාතය තුන් ගුණයකට වඩා වැඩි විය. රජයේ සමස්ත ආදායමෙන් ආදායම් බදුවලින් ලැබෙන ආදායම 2018 දී 15.3% ක් වූ අතර 2023 දී එය 26.7% ක් වේ. භාණ්ඩ සහ සේවා මත බද්ද 2018 දී මුළු ආදායමෙන් 52.4% වූ අතර 2023 දී එම ප්‍රතිශතය 51.6% කි. මේ අනුව ආදායම් බදු මත යැපීම වර්ධනය වී ඇති අතර භාණ්ඩ හා සේවා මත යැපීම ඉතා සුළු ප්‍රමාණයක් අඩුවී ඇත. රට යා යුතු ඉදිරි මග මෙය වේ යයි සිතමි. රටේ පවතින බලවත් ඇති නැති පරතරයට මෙය එක්තරා ආකාරයක විසඳුමක් වේ යයි සිතමි.

අනෙක් අතට ආදායම් බදු වැඩි කිරීමෙන් රටක් සංවර්ධනය කළ නොහැක. එය අපි සියලු දෙනාම දනිමු. එනමුත් මේ අවස්ථාවේදී කළ යුත්තේ රට සංවර්ධනය කිරීමට පළමුව රාජ්‍යය බේරා ගැනීමයි. බංකොලොත් වී ඇති රාජ්‍යය බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමයි. ඒ සඳහා ආදායම් වැඩි කළ යුතු අතර වියදම් අඩු කළ යුතුය. ඒ අතර ඉදිරි සංවර්ධනයේ බිජ ද පැල කළ යුතුව ඇත.

රාජ්‍ය වියදම්වල සැලකිය යුතු ප්‍රමාණයක් යෙ වෙන්නේ වැටුප් සහ වේතන සඳහාය. වර්ෂ 2022 ට සාපේක්ෂව වැටුප් සහ වේතන සඳහා ඇස්තමේන්තු ගත මුදළ වැඩිවී ඇත්තේ 0.7% ක් වැනි සුළු ප්‍රමාණයකිනි. 2022 සැප්තැම්බර් මස වන විට රටේ සාමාන්‍ය උද්ධමන අනුපාතය 73.7% ක් ද ආහාර සඳහා උද්ධමන අනුපාතය 85.8% ක් ද වන රටක (ජාතික පාරිභෝගික මිල දර්ශකය- මෙය ඔක්තෝබර් මාසයේදී මෙම වසර තුළ ප්‍රථම වතාවට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇත.) වැටුප් සහ වේතන වැඩි නොවීම ඔවුන්ගේ වැටුප 73.7% කින් පහත හෙළීමකි.මෙය රාජ්‍ය වියදම්වල විශාල කප්පදුවකි. එමෙන්ම වෙනත් භාණ්ඩ සහ සේවාවල වැඩිවීම 33.3% ක් ද සහනාධාරවල වැඩිවීම 9.1% ක් ද රජයේ ආයෝජනවල වැඩිවීම 13.8% ක් ද වේ මෙම අගයයන් ආදායම් වැඩිවීමට සාපේක්ෂව අඩු ප්‍රතිශතයන් වේ.

වඩාත් බරපතල ප්‍රශ්නය වන්නේ ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වී ඇති රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය 2025 වසරේදී දළ ජාතික නිෂ්පාදිතයෙන් 2.3% ධන අගයක් බවට පත් කිරීමයි. ප්‍රාථමික ගිණුමේ ශේෂය යනු මුළු රාජ්‍ය ආදායමෙන් පොළී හැර වෙනත් වියදම් අඩුකළ පසු ඉතිරිවන ශේෂයයි. වර්ෂ 2018 සිට මෙම ශේෂයන් වගුවේ දක්වා ඇත. මෙම ලිපියේ ඉහත දැක්වූ කරුණු අනුව 2023 වසරේ ඇස්තමේන්තුගත දළ ජාතික නිෂ්පාදිතය රු. බිලියන 14,622 කි. මේ අනුව 2023 වසරේ ප්‍රාථමික ගිණුමේ රු. බිලියන 211 ක හිඟයක් තිබේ. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් ඍන 1.44% කි. මෙම වසරේ එය ධන 2.3% බවට පත්වීමට නම්, (එය කොන්දේසියක් නොවේ) අදාළ ශේෂය රු. බිලියන 336ක් විය යුතුය. එනම් පවතින තත්ත්වයට වඩා රු. බිලියන 547 ක් වැඩිවිය යුතුය. මෙම අගය ලැබෙන්නේ හැකුළුණු ආර්ථිකයක් තුළය. ආර්ථිකය 2024 සිට ප්‍රසාරණය වේ නම්, (එසේ විය යුතුය) මෙම තත්ත්වය තවත් අසීරු වනු ඇත.

එබැවින් ඉදිරියේදී ජනාධිපතිවරයා අයවැය යෝජනාවල දැක්වූ පරිදි රාජ්‍ය ආයතන විකිණීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම, අපනයන ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යවසායකයන් නගා සිටුවීම වැනි යෝජනා හුදු වචනවලට පමණක් සීමා නොකර (සාමාන්‍ය තත්ත්වය එයයි) වහ වහා ක්‍රියාත්මක කළ යුතුය. ව්‍යවසායකයන් කෙරෙහි සමාජයේ පවතින ආකල්ප පිළිබඳව ජනාධිපතිවරයා විසින් මතු කළ කරුණු මෙයට පෙර අවස්ථා ගණනාවකම මවිසින් අවධාරණය කර ඇත. එයට අමතරව ඔවුන් සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සපයා දීමට ආයතනයක් ඇති කිරීම රජයේ යුතුකමකි. දශක කිහිපයකට පෙර DFCC සහ NDB බැංකු පෞද්ගලිකකරණයෙන් පසුව මෙම යුතුකම පිළිබඳ හැඟීම ජාතික මට්ටමෙන් ගිලිහි ගොස් ඇත. මෙය අපනයන වැඩි කිරීමට ද ඉවහල් වේ.

විදේශ ප්‍රේෂණ වැඩිවීම සහ සංචාරක කර්මාන්තයේ නැගීම මගින් රටේ විදේශ ආදායම් පිළිබඳ තත්ත්වය යහපත් වනු ඇති අතර ක්ෂණික අපනයන (භාණ්ඩ හෝ සේවා) වැඩි කිරීමකට විදේශ ආයෝජන අවශ්‍ය වේ.. මේ සඳහා විදේශ ආයෝජනවලට එරෙහි මානසිකත්වය අප විසින් අත්හළ යුතුය.

අප විසින් කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආ මඟ කෙටි වන අතර යා යුතු මඟ බොහෝ දුරය. මේ සඳහා අවශ්‍ය ශක්තිය සහ දිරිය රාජ්‍ය නායකත්වයට මෙන්ම ජනතාවටද තිබිය යුතුය.

2022-11-20 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි

Adapted from praja.lk

Popular posts from this blog

සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මන්ත්‍රීන් 23ක් 17, 18, 19, 20 හතරටම කකුල් හතරම උස්සලා

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු