පොලිසිය වධහිංසනයට නැඹුරුය. මාධ්‍ය’වේදීන්’ බොරු කීමට නැඹුරුය.


 March 19, 2021 Human Rights Media

අජිත් පැරකුම් ජයසිංහ

සුජීව ගමගේ නම් මාධ්‍යවේදියකු පැහැරගෙනගොස්, වධදී, ඔහුගෙන් යම් තොරතුරු ලබාගෙන මහමග දමාගොස් සිටි බවට ද, රෝහලෙන් පිට වී පොලිසියට ගිය ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ද, ඔහු පාපොච්චාරණයක් කළ බව ද, බොරු පැමිණිල්ලක් කිරීම හේතුවෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ බව ද, එම පුද්ගලයාට නීතීඥ සහාය ලබාගැනීමට ඉඩ ලබාදී නැති බව ද වාර්තා වේ.

එම සිදුවීමේදී පොලිසිය කියන දෙය මෙන්ම මාධ්‍යවේදීන් කියන දෙය ද අප නම් පිළිගන්නේ නැත. පොලිසිය වධහිංසනයට නැඹුරුය. මාධ්‍ය බොරු කීමට නැඹුරුය.

ලංකාවේ මාධ්‍ය කර්මාන්තය මේ වන විට පවතින්නේ දැඩි අර්බුදයකය. නව මාධ්‍යවල නැගීම සමග සම්ප්‍රදායික මාධ්‍ය දැඩි අර්බුදයකට ලක්වී තිබේ. පුරවැසියා හා ජනමාධ්‍යකරුවා අතරත්, ජනමාධ්‍යකරුවා හා සංස්කාරකවරුන්, මාධ්‍ය කළමනාකාරවරුන් ඇතුළු මාධ්‍ය දොරටුපාලකයන් අතරත් වෙනස්කම් අවම වී තිබේ. අවසානයේදී පුරවැසියාම මාධ්‍ය දොරටුපාලකයන් වන සංදර්භයක් නිර්මාණය වී තිබේ. එනම්, මාධ්‍යවල අන්තර්ගතයන් පාලනය කිරීමේ හැකියාව දැන් පුරවැසියන්ටම තිබේ. තවත් සරලව කිව්වොත්, ඕනැ මගුලක් සමාජ මාධ්‍යයක පළ කර ලක්ෂ සංඛ්‍යාත පාඨක, ප්‍රේක්ෂක පිරිසක් සමග බෙදාගැනීමේ හැකියාව ඕනෑම පුරවැසියකුට තිබේ.

මෙහි ආර්ථික පැතිකඩ වන්නේ ගතානුගතික මාධ්‍යවල රැකියා කරමින් සිටි අතිවිශාල මාධ්‍ය සේවකයන් පිරිසකට රැකියා අහිමි වීමයි. ඔවුන්ගේ රැකියා අහිමි වන්නට බොහෝ කලකට පෙර සිටම ගුණාත්මක පුවත්පත් කලාවක යෙදීමේ අවස්ථාව මාධ්‍යවේදීන්ට අහිමි කර තිබේ. මූලික වශයෙන්ම ගවේෂණාත්මක වාර්තාකරණයක් සඳහා අවශ්‍ය මූල්‍ය හා කාල පහසුකම් මාධ්‍ය කළමනාකාරවරුන් විසින් ජනමාධ්‍යකරුවන්ට ලබා දෙන්නේ නැත.

ආර්ථික පීඩනය හමුවේ ජනමාධ්‍යවේදීන් විසින් තෝරාගෙන තිබෙන ප්‍රධාන විකල්ප කීපයක් තිබේ.

  1. දේශපාලනඥයකුගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයකු වීම
  2. රාජ්‍ය නොවන සංවිධානයක් සමග සම්බන්ධ වීම
  3. යූටියුබ් මගින් මුදල් සෙවීමට උත්සාහ කිරීම
  4. තර්ජන ඇති බව කියා යුරෝපා රටක දේශපාලන රැකවරණ ලබාගැනීම
  5. තර්ජන තිබෙන මාධ්‍යවේදීන්ට පිහිට වන බව කියන ව්‍යාපෘති මගින් මුදල් ඉපයීමම

ප්‍රජා වෙබ් අඩවිය කරන අප අනුගමනය කරන්නේ මේවායින් සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයකි. අප මාධ්‍යකරණයට අවශ්‍ය මුදල් හදල් ආදිය සොයාගන්නේ තනිකරම වෙනත් ව්‍යාපාරයක යෙදීමෙනි. අපගේ වෙබ් අඩවිය අප යොදාගන්නේ එම ව්‍යාපාරය සඳහා දැන්වීම් පළකිරීම වෙනුවෙනි. අපට වෙනත් දැන්වීම් ලැබෙන්නේ හෝ අප ඒවා හඹා යන්නේ හෝ නැත.

ආර්ථික වශයෙන් ශක්තිමත් නොවන මාධ්‍යවේදියකුට කොන්ද කෙළින් තබාගෙන රැකියාව කළ නොහැකිය. මාධ්‍ය අවකාශයේ සිදුවන දැවැන්ත පරිවර්තනය තුළ අප කිසිදු තරුණයෙකුට, තරුණියකට වෘත්තියක් ලෙස මාධ්‍යකරණය තෝරාගන්නැයි කියන්නේ නැත. එහෙත්, වෘත්තීය මාධ්‍යවේදීන් නොමැති මාධ්‍ය අවකාශයක ගැටලුව නුදුරු අනාගතයේදීම සමාජය හමුවේ ප්‍රදර්ශනය වනු ඇත.

දැනටත් මාධ්‍ය අන්තර්ගතයන් යනු තෝරාගත් සිදුවීම් හරහා ප්‍රවෘත්ති ප්‍රබන්ධකරණය, අධි සංවේදීකරණය, අදහස් හා මතවාද ප්‍රචාරණය, දේශපාලන හා ආර්ථික කුමන්ත්‍රණ හා දැන්වීම් ප්‍රචාරණය මිස සමාජය ඥානනය වන පරිදි වාර්තා කිරීම නොවේ. ඉදිරිපත් කරන මාධ්‍ය අන්තර්ගතයන්වල යටිපෙළ කියවාගැනීමේ මාධ්‍ය සාක්ෂරතාව ඇති අය පමණක් මාධ්‍යවලින් දැනුවත් වෙති. සෙස්සෝ නොමග යති.

මාධ්‍යවේදීන් පුහුණු කිරීමේදී ඔවුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් උගන්වන මූලික කාරණයක් තිබේ. එනම්, කිසිදු වාර්තාවක් තමන්ගේ ජීවිතය තරම් වටින්නේ නැත. ඒ නිසා මාධ්‍යවේදීනි, කරුණාකර අප දැනුවත් කිරීම සඳහා ඔබ ජීවිත අවදානම් ගන්න එපා. තමන්ගේ රස්සාව වෘත්තික මට්ටමෙන් කිරීමට උත්සාහ කරන්න. ආරක්ෂාව ද වෘත්තිකභාවයේ කොටසකි.

කිසියම් හේතුවක් නිසා අප ඉපදුණු, අප විසින්ම පත්කරගෙන තිබෙන දේශපාලකයන් හා නිලධාරීන් නිසා අපායක් වී තිබෙන ශ්‍රී ලංකාවේ ජීවත් වීමට කිසිවකු ඇකැමැති නම්, සංක්‍රමණය සඳහා තෝරාගත යුත්තේ ලංකාවේ ජීවත් වන්නට තීරණය කර තිබෙන පිරිස්වලට තර්ජනයක් නොවන ක්‍රමයකි. මොකක් හෝ වෙබ් අඩවියක් අටවාගෙන එහි ඕපාදූප ඇදබා කාගෙන් හෝ තර්ජනයක් ලබාගෙන හෝ එහෙම නැතිනම්, තර්ජනයක් කෘත්‍රිමව නිර්මාණය කරගෙන දේශපාලන රැකවරණ ඉල්ලා විදේශගතවීමේ කුමන්ත්‍රණ කිසිවකු විසින් නොකළ යුතුව තිබේ.

අප මේ ගැන සඳහන් කරන්නේ පසුගිය රාජපක්ෂ යුගයේදි තර්ජිත මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් යුරෝපා රටවලට පැනගත් බොහෝදෙනාගේ කතා අප දන්නා හෙයිනි. කවුරුන් හෝ එසේ නොවේ යයි කියනවා නම්, අප සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම්ය.

මාධ්‍යකරණයේ යෙදෙන අය ලෙස අප පෙනී සිටින්නේ යහපත් පොදු අරමුණු හා ප්‍රතිපත්ති වෙනුවෙනි. පුද්ගලයන් හෝ දේශපාලන පක්ෂ හෝ දෘෂ්ටිවාදයන් බලයෙන් නෙරපීම හෝ බලයට ගෙන ඒම අපගේ මාධ්‍යකරණයට අදාළ නැත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා