අම්මා නිසා ආ දුර ගමනක කතාව

 

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි රණසිංහආරච්චි

ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය අද පවා ප්‍රසිද්ධ ළමා හා කාන්තා කාර්යාංශය ලෙසයි. පොලිස් වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට එය ආරම්භ වුණේ 1979දීයි . වර්තමානයේදී ශ්‍රී ලංකාව පුරා පොලිස් අධිකාරි කොට්ඨාස 44ක පොලිස් ස්ථාන 494ක ළමා හා කාන්තා කාර්යාංශයේ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. කාන්තාවන්ට හා ළමයින්ට එරෙහිව ශාරීරික ප්‍රචණ්ඩත්වයේ සිට ලිංගික අපචාර දක්වා සෑම ආකාරයකම අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ වර්තමාන අධ්‍යක්ෂවරිය වන්නේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි රණසිංහආරච්චි මහත්මියයි.

Read in English: Long march thanks to her mother

“මගේ ගම මහනුවර. මම ඉස්කෝලෙ ගියේ පුෂ්පදාන බාලිකා විද්‍යාලයට. ගණිත අංශයෙන් 1996දී උසස් පෙළ විභාගය කළා. 1997දි මුල්ම රැකියා අයදුම්පත උප පොලිස් පරීක්ෂක තනතුරක් සඳහා ඉදිරිපත් කළා.”

දර්ශිකා සිසුවිය දක්ෂ ක්‍රීඩිකාවක්. මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය හොකී ක්‍රීඩාවට ප්‍රසිද්ධයි. පාසලේ හොකී කණ්ඩායමේ නායිකාව වූ ඇය 1995 වසරේ ශ්‍රී ලංකාවේ දක්ෂතම හොකී ක්‍රීඩිකාව වූ ඇය ජාතික කණ්ඩායමත් නියෝජනය කළා.

“මගේ අම්මා හොඳින් ක්‍රීඩා කළ කෙනෙක්. මං නිල ඇඳුමින් රාජකාරියක් කරනවා දකින්නට ඇය ආසා කළා. අප්පච්චි මං පොලිසියට බැඳෙනවාට කැමති වුණේ නැහැ. ඔහු සිටියෙ විදේශ රැකියාවක. අම්මායි, මායි සම්මුඛ පරීක්ෂණ හතකට කොළඹ ආවා. අන්තිමට පුහුණුවට කැඳෙව්වාම තමයි අප්පච්චිට කිව්වේ. මගේ උසස් පෙළ ප්‍රතිඵලවලින් විශ්වවිද්‍යාලයකට යන්නට හැකියාව තිබුණත්, මං පොලිස් සේවයට බැඳුණා.”

දියණියකගෙන් හා පුතුන් දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ තම එකම දියණිය පොලිස් සේවයට යොමු කළ ඇගේ ආදරණීය මව දැන් ජීවතුන් අතර නැහැ.

“2015වන විට පොලිස් අධිකාරිවරියක ලෙස පොලිස් ආචාර පෙළපාලියට නායකත්වය දුන්නෙ මමයි. 2015 පෙබරවාරි 4 නිදහස් උත්සවය පැවැත්වුණේ කෑගල්ලේයි. මං උදේ පුහුණුවීම් කරලා හවස නිල ඇඳුමෙන්ම අම්මා බලන්න ගියා. පිළිකාව නිසා අම්මා ජනවාරි 31දා මියගියා. මට ආචාර පෙළපාලියට සහභාගි වෙන්නට බැරිවුණා. ඒත්, පොලිස් ආචාර පෙළපාලියේ කණ්ඩායම් බස් පිටින් ඇවිත් අම්මාට අවසන් ගෞරව දක්වනකොට, මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවා පැමිණ මල්වඩමක් තැබුවාම මට ලොකු ආඩම්බරයක් ඇති වුණා. අම්මගෙ ආසාව ඒක වෙන්න ඇති.”

පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීම ඔස්සේ ගොඩනැගුණු නායකත්ව කුසලතා, තීරණ ගැනීමේ හැකියාව, පෞරුෂය හා ගෞරවය ගැන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා ආඩම්බර වෙනවා. කාන්තා හා පිරිමි වශයෙන් පොලිස් කාඩරය වෙන්කර තිබීම කාන්තා පොලිස් නිලධාරීන්ගේ උසස්වීම්වලදී බලපානවා. එම තත්වයන් වෙනස්කිරීම සඳහා මේ වන විට ඇය කාන්තා හිමිකම් වෙනුවෙන් උද්දේශනයක ද යෙදෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීමෙන් පසු ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව ඩිප්ලෝමාව හැදෑරුවා. කොළඹ විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තා. මේ සියල්ලට පොලිස් දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ලැබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දස වසරක් සේවය කළ ඇය සයිබර් අපරාධ විමර්ශන අංශයේ අධීක්ෂකවරිය ලෙස කටයුතු කළා. “සයිබර් අපරාධවලට බොහෝ විට ගොදුරු වන්නේ කාන්තාවන්. එයට බොහෝ විට හේතු වන්නේ නොදැනුවත්කමයි. විශ්වාසය නිසා කෙනෙකුට ගන්නට දෙන පිංතූරයක්, වීඩියෝවක් වැනි දෙයක් එක තත්පරයක් අන්තර්ජාලයේ තිබුණත්, ඒක විශාල පිරිසකට ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. අපට හොයාගන්නට පුළුවන් අප්ලෝඩ් කරන පුද්ගලයා විතරයි. අසභ්‍ය ඡායාරූපයක් නිෂ්පාදනය කිරීම නීතිමය වරදක්. අපි ඒ වරද වළක්වාගන්නට ඕනැ.

“අසභ්‍ය ඡායාරූප ප්‍රචාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් ඉතා පහසුවෙන් සොයාගත හැකියි. බොහෝ විට වැරදිකරුවන් වරද පිළිගන්නවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අසභ්‍ය ලේඛන පනත යටතෙ මේ වරදට තිබෙන්නෙ සුළු දඩයක් පමණයි. 2007 අංක 17 පරිගණක අපරාධ පනතේ මේ සම්බන්ධයෙන් මොකවත් නැහැ. මේ නීති සංශෝධනය විය යුතුයි. ඒ වෙනුවෙන් අපි ඉදිරියේදී කටයුතු කරනවා.”

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා සයිබර් අපරාධ පිළිබඳ ප්‍රංශයේ, චීනයේ, ඉන්දියාවේ, ඉන්දුනීසියාවේ, නෙදර්ලන්තයේ, ඉරානයේ හා ස්පාඤ්ඤයේ විශේෂ පුහුණුව ලබා තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාව අභියෝගාත්මකයි. උප පොලිස් පරීක්ෂක පුහුණුවෙන් පසු ඇය වවුනියාවේ යුද්ධය සම්බන්ධ රාජකාරිවල යෙදුණා. පිරිමින් හා හරි හරියට පොලිස් මෙහෙයුම් රාජකාරිවල යෙදුණු ඇය 2004 සුනාමි කාලයේත්, යුද්ධය නැවත ආරම්භ කරද්දීත් ත්‍රිකුණාමලය පදනම් කරගෙන රාජකාරි කරමින් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබුවා.

2001 වසරේදී විවාපත් ඇය වර්තමානයේදී 19 හැවිරිදි හා 13 හැවිරිදි දියණියන් දෙදෙනෙකුගේ සාඩම්බර මවක්. “2008 වසරේදී මං සහකාර පොලිස් අධිකාරි ලෙස උසස් වෙලා හිටියෙ. උසස්වීමෙන් පස්සෙ මුලින්ම පත්වුණේ ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් විදියට. රාජකාරි විශාල ප්‍රමාණයක් පැවරුණා. මගේ සැමියා බරපතල අනතුරක් නිසා රෝගාතුර වෙනකොට මගේ චූටි දුවට වයස මාසයයි. මවක් ලෙස පවුලේ කටයුතු කළමනාකරණය කරගැනීම අභියෝගාත්මක වුණත් මං ඒවා ජයගත්තා. ඒ කාලෙ අම්මා මට ගොඩක් උදව් කළා. මං හදිසි රාජකාරියකට බැහැර යාමට කාර්යාලයෙන් පිටත්වෙනකොට අම්මා නුවරින් කොළඹ බස් එකට නගිනවා. මම රාජකාරි කරන අතරෙ දරුවන් බලාගත්තෙ ඇය. ඩේ කෙයාවල එහෙම තියන්නට වුණා. දරුවන් කාරෙකේ තියාගෙන රැකියාව කරපු වෙලාවලුත් තියෙනවා. ඒ සමගම ඔවුන් තමන්ගෙ කටයුතු තනිව කරගන්නටත් ඉගෙනගත්තා. මට දීර්ඝකාලීන සැලසුම් තිබුණෙ නැහැ. එදිනෙදා ප්‍රශ්න විසඳාගත්තා. මම හැමතිස්සෙම රාජකාරියට ප්‍රමුඛත්වය දුන්නා.. මේ වෙනකල්ම මං රාජකාරියෙන් කිසිම සහනයක් බලාපොරොත්තු වෙලා නැහැ.”

මෙතක් කළ සේවයටත් වඩා සේවයක් තම අලුත් තනතුර වන පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ධුරයෙන් කළ හැකි බව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකාගේ අදහසයි. “රටේ ජනගහනයෙන් 65%ක් විතර කාන්තාවන් හා ළමයින්. ඔවුන් මුහුණදෙන ප්‍රශ්න විසඳීම තමයි දැන් මට තියෙන කාර්යභාරය. දෛනිකව එන ප්‍රශ්න ගැන මම පෞද්ගලිකවම සොයාබලනවා.”

ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් ළමා හා කාන්තා හිතකාමී ස්ථාන ලෙස සංවර්ධනය කිරීමත් ඇගේ අරමුණක්. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අරමුදලින් මේ වන විටත් එවැනි ස්ථාන 41ක් සංවර්ධනය කර තිබෙනවා.

පොලිස් සේවයේ සිටින 85,000ක් නිලධාරීන් අතර කාන්තාවන් සිටින්නේ 9,000ක් පමණයි. පොලිස් සේවයට වැඩි වැඩියෙන් කාන්තාවන් අවශ්‍යව තිබෙනවා. පොලිස් සේවයට එක්වන්නට කැමති අනාගත පරම්පරාවල කාන්තාවන්ට ඇය දෙන පණිවුඩය මෙහෙමයි. “දෙපාරක් නොහිතා මං කියන්නෙ එන්න කියලායි. අපිත් මුලදි බයෙන් ආවෙ. ගොඩක් අය හිතනවා, කාන්තා පිරිමි දෙපාර්ශ්වයක් තියෙන නිසා, අධිකාරි බලයලත් පිරිමි පිරිසක් ඉන්න නිසා, ගැහැණු ළමයෙකුට මේ රැකියාව සුදුසුද කියලා. අපි එන කාලෙ මේ වගේ උසස් කාන්තා නිලධාරින් හිටියෙත් ඉතාම අඩුවෙන්. දැන් කාන්තාවන් දහදෙනෙකු පොලිස් සේවයේ රාජ්‍ය නිවේදිත තනතුරු දරනවා. අලුතෙන් එක්වන අයට අපෙන් උපදෙසක් ලබාගන්නට, අප හරහා පැමිණිල්ලක් යොමුකරන්නට හැකියාව තියෙනවා. පොලිසියට බැඳෙන ඔබට ඉදිරි අධ්‍යාපනයටත්, රැකියාව හා පෞද්ගලික ජීවිතය තුලනය කරගෙන ඉදිරියට යන්නටත් අවස්ථාව ලැබෙනවා.”

මෙම අන්තර්ගතය Creative Content Consultants විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් නිර්මාණය කරන ලදී. අදාළ ආයතනවල අවසරය මත පළකරනු ලැබේ.

hAdapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා