මට්ටු කළ නොහැකි රාජ්‍ය සේවය සමග වෙට්ටු දමන ගම සමග පිළිසඳර


 March 2, 2021 Politics

ගම සමග පිළිසඳර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන පෙළේ ප්‍රචාරණ උපායමාර්ගයකි. එය මීළඟ ජනාධිපතිවරණය වෙනුවෙන් කල්තබා පවත්වාගෙන යන ප්‍රචාරණ වැඩසටහනක් ලෙස සැලකීම වුව වැරදි නැත.

එහි මූලෝපාය වන්නේ විධායක ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය හා පාර්ලිමේන්තුව පමණක් නොව, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය පරිපාලනය, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආදී සියල්ල බයිපාස් කර කෙළින්ම ජනතාව වෙත පැමිණීමයි. එහෙත්, ජනාධිපතිවරයා හා ගැමි ජනතාව අතර මෙම සම්බන්ධය තිරසර එකක් නොවේ. එය තෝරාගත් ගමක, නිශ්චිත මොහොතකදී පමණක් සිදුවන සංදර්ශනාත්මක ජවනිකාවකි. මාධ්‍ය, අවස්ථා කළමනාකරණ සමාගම්, දැවැන්ත පසුතල නිර්මාණය ආදී සේවා රැසක් ඒ පසුපස තිබේ.

මෙම නාටකය මනා පිටපතක් සහිත එකකි. ඇතැම් විට, එය උවමනාවට වඩා යථාර්ථවාදී වන නිසා එහි තිබෙන මායාව බිඳී යයි. උදාහරණයක් ලෙස පසුගියදා පැවැත්වුණු වැඩසටහනකදී දැරියක පාසලේ පුස්තකාලයට පොත් අවශ්‍ය බව කියා අවසන් වන්නටත් පෙර ජනාධිපතිවරයා සූදානම් කරගෙන පැමිණ තිබූ පොත් ටික ඔවුන්ට දුන්නේය. ත්‍රිකුණාමලය දිසත්‍රික්කයේ බොහෝ පාසල්වලට ඇති තරම් ඉඩ තිබේ. ඒවායේ පිට්ටනියක් ඉදිකිරීම යනු කැලේ වැවී තිබූ පිට්ටනි ඉඩම නැවත එළිකිරීමයි. ඒවා එතරම් අමාරු වැඩ නොවේ.

ගම සමග පිළිසඳරෙහිදී ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් සරල ප්‍රශ්න ටිකකට රාජ්‍ය නිලධාරීන් හරහා ක්ෂනික විසඳුම් ලබාදෙයි. වඩා අභියෝගාත්මක කාර්යයන් හමුදාවට පවරයි.

වඩා දේශපාලනිකව විමසූ කල පෙනෙන දෙයක් වන්නේ ගම සමග පිළිසඳරෙන් ජනාධිපතිවරයා කරන්නේ මට්ටු කළ නොහැකි අකාර්යක්ෂම රාජ්‍ය සේවය සමග වෙට්ටු දැමීමක් බවයි. ජනාධිපතිවරයා ගම සමග පිළිසඳර කරන අතර රටේ ප්‍රශ්න තිබෙන තැන විමසා බැලිය යුතුය.

වර්තමානයේ ලොකුම අභියෝගය වන්නේ කොවිඩ්-19 අධි වසංගතයයි. එයට මුහුණදීම සඳහා රටේ ජනගහනයෙන් සැලකියයුතු පිරිසකට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබුණු ත්‍යාගයට අමතරව තවත් එන්නත් ආනයනය කිරීමට පියවර ගෙන තිබේ.

රජය එවැනි ප්‍රතිපත්තිමය තීරණ ගනිද්දී රජයේ නිලධාරීන් කරන්නේ කුමක්ද? මේ වන විට සෞඛ්‍ය නිලධාරීන් කොවිඩ්-19 එන්නත හොරෙන් ගසාගැනීමට අමතරව මුදලට විකිණීමටත් පටන්ගෙන තිබේ. ඒ රාජ්‍ය සේවයේ තත්වයයි. විස්තර පහත සබැඳියෙන්

එන්නත වෙනුවට සමූහ ප්‍රතිශක්තිය

රජයේ නිලධාරීන් කරන්නේ දේශපාලකයන් කරන දෙයමය. මේ රටේ ඉහළ දේශපාලන නායකත්වය පවා එන්නත තමන්ට, තම පවුල්වල අයට හා සේවකයන්ට හොරෙන් හෝ අයථා අන්දමින් හෝ ලබාගත්හ. සෞඛ්‍ය සේවකයන් ද කළේ එය මිස වෙනත් දෙයක් නොවේ. හැමවිටම වන්නා සේ, සංඛ්‍යාවෙන් අඩු දේශපාලකයන් මෙන් නොව, සංඛ්‍යාවෙන් විශාල රජයේ සේවකයන් සොරකම් කරන විට එය පැහැදිලිව දැකිය හැකිය.

රජයේ සේවකයන්ට එන්නත ලබාදීම හා පීඑච්අයිලාට එන්නත් ටිකක් පිට විකුණාගැනීමට දීම එක්තරා ආකාරයක කප්පම් ගෙවීමකි. සේවකයන්ට අවශ්‍ය පහසුකම්, අතිරේක කාලය හා ශ්‍රමය වෙනුවෙන් සිදුකළ යුතු ගෙවීම්, පහසුකම් හා ආරක්ෂාව සැපයීමට වඩා එය ලාභදායීය. එහෙම නැතිනම්, අතිරේක වැඩකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැනි රජයේ නිලධාරීන්ට බොන්නට වතුර උගුරක්වත් නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු තවත් වටයකින් මෙරට ජනතාවගේ බලාපොරොත්තු සුන්වීමකට වැඩිදෙයක් නොවේ. එයට මූලික හේතුව, රටේ පවත්නා ප්‍රශ්නයේ සංකීර්ණත්වයේ තරම අනුව තනි පුද්ගලයකුට දිය හැකි විසඳුමක් නැති වීමයි. විධායක ජනාධිපති පදවිය හෝ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමෙහි අසමත් බව ගෝඨාභය රාජපක්ෂ උදාහරණයෙන් නිරූපණය වේ.

අවශ්‍ය වන්නේ මැජික් බලයකින් තමන්ට සියලු ප්‍රශ්න විසඳිය හැකි බව කියන දියසේන කුමාර පන්නයේ නායකත්වයක් නොවේ. තමන්ට කළ හැක්කේ නායකත්වය දීම පමණකැයි ද, විසඳුම් නිර්මාණය කරගැනීම අප සැමගේ සාමූහික ප්‍රයත්නයක් බව ද විවෘතව කියන නායකත්වයකි. එවැනි නායකත්වයකට ඡන්දය දෙන්නට තරම් ලංකාවේ සමාජය දියුණු විය යුතුය. එසේම, රට වෙනුවෙන් වැඩකරන්නට ද සූදානම් විය යුතුය.

(ඡායාරූපය: ගෝමරන්කඩවල ගම සමග පිළිසඳරේ දර්ශනයක්, ජනාධිපති මාධ්‍ය අංශය)

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා