කොවිඩ්-19ට වැඩි පිරිසක් සාගතෙන් මිය යාවි – ලෝක ආහාර වැඩසටහන

ඉදිරි මාස කීපය තුළ ලෝකයෙහි අති දැවැන්ත සාගත ඇති වන බව ලෝක ආහාර වැඩසටහන (WFP – World Food Programme) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
Translations
තත්වය දැඩි සේ නරක අතට හැරුණොත් ලොව රටවල් 40ක් පමණ සාගතවලට ගොදුරු විය හැකි බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා වන ඩේවිඩ් බීස්ලි පවසනවා. එම රටවල් අතරින් 10ක දැනටමත් මිලියනයකට වඩා ජනතාව සාගින්නෙන් පෙළෙනවා.
අලුත් සාගත තත්වය නිසා ලොව පුරා මිනිසුන් මිලියන 130ක් පමණ අලුතින් සාගින්නට මුහුණ දෙන බව ද එම සංවිධානය පවසනවා. ලොව දැනටත් සාගින්නෙන් පෙළෙන මිලියන 800කට වැඩි ජනතාව සමග ගත් විට ලොව සාගින්නෙන් පෙළෙන ජනයා බිලියනය ඉක්මවිය හැකියි.
අභ්‍යන්තර ගැටුම්, ආර්ථික අවපාතය, ආධාර නොලැබී යාම මෙන් ම තෙල් මිළ පහළ යාම ද හේතුවෙන් දැඩි ආහාර හිඟයන් ඇති විය හැකියි.
කොවිඩ්-19න් මිය යනවාට වැඩි පිරිසක් ආර්ථික හේතු මත මිය යාමට ඉඩ ඇති බව ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා දැනුම් දුන්නා.
ලෝක ආහාර වැඩසටහන විසින් මෙම සතියේ නිකුත් කරන ලද වාර්ෂික වාර්තාව මගින් සාගතයට ගොදුරු විය හැකි රටවල් 55ක් හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව නිසි පරිදි දත්ත සපයා නැති රටවල් හත අතරින් එකක් බව වාර්තාවේ දැක්වෙනවා. ලෝක ආහාර වැඩසටහනේ කාර්යාලයක් ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන තත්වයක් තුළ තමයි එසේ සිදු වී තිබෙන්නේ.
“අප දැන්ම සූදානම්ව ක්‍රියාත්මක වූයේ නැතිනම්, මාස කීපයක් ඇතුළත අති විශාල සාගත සමූහයකට අපට මුහුණ දෙන්නට සිදු වෙනවා. එය වළක්වා ගන්නට අප ආහාර වෙත ප්‍රවේශය තහවුරු කළ යුතුයි; අරමුදල් හිඟය මගහැරවිය යුතුයි; වෙළඳාමට ඇති බාධා කිරීම් නතර කළ යුතුයි. අපට ලොකු කාලයක් නැහැ. ඒ නිසා අප බුද්ධිමත්ව, ඉක්මණින් ක්‍රියාමාර්ග ගත යුතුයි,” යි ලෝක ආහාර වැඩසටහන අවධාරණය කරනවා.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා