මිනීපෙට්ටි නැටුම ජනප්‍රිය වීම පසුපස ඇති මනෝභාවය කුමක් ද?


අජිත් පැරකුම් ජයසිංහ

මේ දවස්වල අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය හෙවත් වයිරල් වුණ වීඩියෝ වර්ගයක් තමයි කොෆින් ඩාන්ස් හෙවත් මිනීපෙට්ටි නැටුම.
මෙහි මූලය තියෙන්නේ ඝානාවේ. මෙහි අඩංගු නැටුම් දර්ශන ද ඇතුළත් වන්නේ බීබීසී විසින් Ghana’s Dancing Pallbearers නමින් කළ නිෂ්පාදනයකයි. එහි අඩංගු සංගීතය වෙනුවට අලුත් සංගීතයක් යොදා සැකසූ වීඩියෝ තමයි මේ වයිරල් වෙලා තියෙන්නේ.
ඝානාවේ අවමංගල්‍යයන් ශෝකී අවස්ථා නෙමෙයි. ඒ නිසා බෙන්ජමින් අයිඩූ නම් නිර්මාණාත්මක ව්‍යවසායකයෙක් අවමංගල්‍යයන්ට නර්තන සේවා සැපයීම ආරම්භ කළා. ඔහු ඒ වෙනුවෙන් නර්තන වින්‍යාස හා රංග වස්ත්‍ර ද නිර්මාණය කළා. ඒ ගැන මීට අවුරුදු තුනකට පමණ පෙර කළ වීඩියෝවක් තමයි මේ.
ඝානාවේ මිනීපෙට්ටි නැටුම කොරෝනා මරණත් සමග අලුතින් වයිරල් වීම අප නම් දකින්නේ කොරෝනා සමග දියත් වන රාජ්‍ය මර්දනයට සමාජ ප්‍රතිචාරයක් ලෙසයි. කොරෝනා පාලනය කිරීම ලොව බොහෝ තැන්වල පාලකයන් තනිව සියතට ගෙන තිබෙනවා. එහිදී බොහෝ පාලකයන් කොරෝනාවලට මුවා වී මූලික ප්‍රජාතන්ත්‍රවාදය පවා නොතකා හරිනවා. පාලකයන් අතර කොරෝනා සමග ඇති වී තිබෙන්නේ ඒකාධිපති ප්‍රවණතාවක්. පාලකයන් ඒකාධිපතිවාදයට ලොල් වීම පුදුමයක් නෙමෙයි. අසාර්ථකත්වයන්ට හේතුව බලය අප්‍රමාණවත් වීම යයි සිතන එක සාමාන්‍ය මිනිස් ලක්ෂණයක්. සොබාදහම එක්ක සටන් කරලා පැරදුණු මිනිසුන් අද්භූත බලයන් සහිත චරිත ඉන්න කතන්දර නිර්මාණය කිරීමේ සිට කොලිවුඩ් සිනමාව දක්වා ම මිනිසුන් මේ බලය පරිකල්පනය කර තිබෙනවා. පාලකයන් බලය පිළිබඳ පරිකල්පනය කළ ආකාර විවිධයි.
කොරෝනා වයිරසය සමග ලොව පුරාම ගොඩක් දේශපාලනය සිදුවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව සමාජය මෝඩයන් බවට පත්කිරීමේ මෙහෙයුම් හරහා බලයට එන පුළුල් චින්තනයක් නොමැති, පටු ජනප්‍රියවාදී පාලකයන් බොහෝ විට සිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සමාජ පසුගාමිත්වයට හේතුවක් ය කියායි. ෆැසිස්ට්වාදීන්ගේ සිට විවිධ ‘වාදීන්’ බොහෝදෙනෙකු ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් ලෙස සලකනවා. ඒ නිසා දකින දකින හැම දෙයක් ම ප්‍රජාතන්ත්‍රවාදයට පහර දීමේ අවස්ථාවක් ලෙස සලකන ඔවුන්ගේ සාමාන්‍ය ස්වභාවය අනුව යමින් ඔවුන් කොවිඩ්-19 ද බලය ගොඩනගාගැනීමේ අවස්ථාවක් ලෙස භාවිතා කරනවා.
එහෙත්, කොරෝනා වයිරසය ඔවුන් බොහෝදෙනෙකු සිතනවාට වඩා සූක්ෂමයි. ඒ නිසා ලොව බොහෝ තැන්වල කොරෝනා දේශපාලන සැලසුම් අර්බුදයට පත්වෙලා. එපමණක් නොවෙයි, කොරෝනා සම්බන්ධ අතිධාවනකාරී ක්‍රියාමාර්ග නිසා ලොව ආර්ථිකයන් කඩාවැටිලා. විශේෂයෙන් ම පසුගාමී රටවල ආර්ථිකයන් හාන්සියි. එයින් ජනතාව මුහුණ දී සිටින්නේ අනාගතය පිළිබඳ දැඩි අවිනිශ්චිතභාවයකට. කොරෝනාවල ඉවරෙකුත් නැහැ. ආර්ථිකයනුත් ඉවරයි.
මේ තත්වය තුළ ජනතාව නැවත කොරෝනා ගැන අලුතින් සිතන්නට, එයට වෙනස් අන්දමින් ප්‍රතිචාර දක්වන්නට පටන් ගන්නවා. අතීතයේදී වසංගතයන් හමුවේ මිනිසුන් කටයුතු කළ ආකාරය ගැන නැවත සොයාබලන්නට පෙළඹීමත් එවැනි එක් ආකාරයක්. මිනීපෙට්ටි නැටුම වයිරල් වීම එවැනි ප්‍රතිචාරයක් ලෙස සලකන්නට පුළුවන්.
මානව පරිණාමය හා උරුමය තුළ මරණය කියන්නේ මිනිසුන් අවසාන වශයෙන් සතුටින් භාරගත් දෙයක්. අමරණීයත්වය හා දීර්ඝායු ගැන පෙරේතකම නූතන පාරිභෝජනවාදී, කාමසුඛල්ලිකානුයෝගයට අයත් දෙයක්.
මේ වීඩියෝ ෂෙයා කරගැනීම හරහා මිනිසුන් අවිඥානකව කියන්නේ මොකක්ද? මේ මගේ විග්‍රහය: අපේ ජීවිත හා අපේ මරණය ඔබේ නොව අපේ දෙයක්. ඔබ දුක්වන්නැයි, බියවන්නැයි අපට කියද්දී අප නටන්නේ මෙහෙමයි. මරණයත් ජීවිතයේ ම කොටසක්. සතුටෙන් සිටිමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)