කොවිඩ්-19 මළසිරුරු පිළිස්සීම නීතිගත කිරීම පිළිබඳව
අජිත් පැරකුම් ජයසිංහ
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය අයෙකුගේ දේහය සම්බන්ධව කටයතු කළ යුතු ආකාරය පෙන්වා දී තිබේ. ඒ අනුව එවැනි මෘත දේහයක් සෙල්සියස් අංශක 800 – 1,200 ත් අතර උෂ්ණත්වයකදී විනාඩි 45 සිට පැයක කාලයක් ආදාහනය කළ යුතු බව දැක්වේ.
රෝග නිරෝධායන හා නිවාරණ ආඥාපනතේ 222වන පරිච්ඡේදය සංශෝධනය කරමින් ඉදිරිපත් කර තිබෙන එම ගැසට් නිවේදනය අනුව ළඟම ඥාතියාට අවශ්‍ය නම් මළ සිරුරේ අළු ලබාගත හැකි ය.
ගැසට් නිවේදනයේ එම කොටස රූපයේ දැක්වේ
සෙල්සියස් අංශක 800ක් යනු ජලය නටන උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 100 මෙන් අටගුණයකි. සුලබ ලෝහ හා මිශ්‍ර ලෝහ අතරින් ටින් සෙල්සියස් අංශක 232දී ද, ඊයම් 327දී ද, තුත්තනාගම් 419.5දී ද, මැග්නීසියම් 650දී ද, ඇලුමිනියම් සෙල්සියස් අංශක 660දී ද, පිත්තල 900-1000 අතරදී ද, ශුද්ධ රිදී 961දී ද, කැරට් 24 රත්තරං 1063දී ද උණු වේ. යකඩ හා වානේ සඳහා ඊට ඉහළ උෂ්ණත්වයන් අවශ්‍ය වේ. (මූලාශ්‍රය මෙතැනින්)
ඇමරිකාවේ ජාතික අවමංගල්‍ය අධ්‍යක්ෂක සංගමයේ ප්‍රමිති අනුව ආදාහනාගාරයක තිබිය යුතු ප්‍රශස්ථ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1400 – 1800 වේ (මූලාශ්‍රය මෙතැනින්). එනම් සෙල්සියස් අංශක760 හා 982 අතර වේ.
කොවිඩ්-19 ඇති කරන නව කොරෝනා වයිරසය පිළිබඳ තවමත් පර්යේෂණ සිදු වේ. කෙසේ වෙතත්, එම වයිරසයට එතරම් ඉහළ උෂ්ණත්වයකදී පැවතිය හැකි යයි අනුමාන කළ හැකි තොරතුරු නැත. එබැවින් ආදාහනය කිරීම කිසිදු සැකයකින් තොර සුරක්ෂිත ක්‍රමයකි. ආදාහනයෙන්පසු ඉතිරි වන අළුවල ද වයිරසය පැවතිය නොහැකි ය. එහෙත්, ඒවා රැගෙන යන බඳුන් අනාරක්ෂිත වීමට පුළුවන.
සංස්කෘතික හේතු කුමක් වුවත්, කොවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයකුගේ සිරුරක් වැළලීමෙහිදී නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ හෝ දිගු කාලයක් සුරක්ෂිතව පැවතීමේ හැකියාව මුළුමනින් ම ප්‍රතික්ෂේප කළ නොහැකි ය.
මෙවැනි කාරණා සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති හැම විට ම පිළිගැනීම අත්‍යවශ්‍ය නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය යනු රාජ්‍යයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් අතර යම් සම්බන්ධීකරණයක් සිදු කරන, උපදේශාත්මක භූමිකාවක් ඉටු කරන, ප්‍රතිපත්ති සම්පාදනයට උපකාර කරන වෘත්තික ආයතනයක් මිස, රාජ්‍යයන්ට ඉහළින් සිටීමට තරම් හැකියාවක් ඇති ආයතනයක් නොවේ. එහෙත්, එහි භූමිකාව ඉතා වටිනා එකකි. ඔවුන්ගේ දැනුම, උපදෙස් හා මෙහෙයවීම් සබුද්ධිකව සලකා බැලිය යුතු ය.
කොවිඩ්-19 මළසිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ලංකාවේ රජය කටයුතු කරන ආකාරයෙහි තිබෙන ගැටලුව ද තේරුම් ගත යුතු ය. මේ මොහොතේ ආණ්ඩුව ලෙස සැලකිය හැකි කොරෝනා මර්දන කාර්යසාධන බලකාය කටයුතු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තැකීමකින් නොවේ. කවුරු විරුද්ධ වුණත්, හරි යයි තමන් තීරණය කළ දේ කිරීම ඔවුන්ගේ ප්‍රතිපත්තියයි. එසේම, සිංහල බහුතරයක් ජනයා අතර මුස්ලිම් විරෝධී හැඟීම් ප්‍රබල බව ද අප අමතක නොකළ යුතු ය. ප්‍රජාතාන්ත්‍රික නොවන ව්‍යූහයකින් සංස්කෘතික හිමිකම් පිළිබඳ හරවත් සංවාදයක් බලාපොරොත්තු වීම තේරුමක් නැත.
මළසිරුර ආදාහනාගාර උදුනේ දොර ළඟට ගෙන ගොස් ඥාතීන්ගේ මුහුණුවලට කැමරා අල්ලා පුච්චනවාට විරුද්ධ නම් කියන්නැයි ඇසූ අවස්ථාවක් ද අපි රූපවාහිනියෙන් දුටුවෙමු.
මිනිස්කමට ගරු කර, ප්‍රියයන්ගේ වියෝවෙන් දුකට පත් මිනිසුන්ට හා සංස්කෘතික ප්‍රජාවන්ට කරුණු පැහැදිලි කර දීමේ හා ඔවුන්ගේ ගැටලුවලට සවන් දීමේ වගකීමක් වගකිවයුතු නායකයන්ට තිබේ. එහෙම නායකයන් නැතිනම්, වගකිවයුතු පුරවැසියන්ගේ වගකීම වන්නේ මෙවැනි තත්වයන් හමුවේ ඉවසීමෙන් කටයුතු කිරීමයි.
මෙය හුදෙක් මුස්ලිම් ජාතික කොවිඩ්-19 මළසිරුරු පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. කොවිඩ්-19 ආසාදනය වී නොමැති බව තහවුරු නොවූ මළසිරුරු කීපයක් ද නිරෝධායන නීති අනුව ආදාහනය කරන ලදී. පුරවැසියන් ලෙස අපගේ වගකීම වන්නේ ආණ්ඩුව කෙරෙහි සානුකම්පිතව සලකා බලා එවැනි ක්‍රියා ඉවසීමයි. මෙම ගැසට් නිවේදනය අනුව එය ද නීත්‍යානුකූල බව පෙනේ. රෝග නිරෝධායන හා නිවාරණ ආඥාපනතේ 222වන පරිච්ඡේදයට එක් කර තිබෙන සංශෝධන අනුව සියලු රෝග එම ආඥාපනතට යටත් වේ.
ඡායාරූපය අල් ජසීරා වෙතිනි. එම ඡායාරූපය පළ වූ ලිපිය මෙතැනින් කියවන්න.