එජාප දෙකඩ වෙයි; ශ්‍රීලනිපය වෙනම ඉල්ලයි. රනිල්, ගෝඨාභය, සජිත්, මෛත්‍රී, අනුර ජනාධිපතිවරණයට

පොහොට්ටුව දිනුවොත් ගෝඨා ජනපති, මහින්ද අගමැති, මෛතී‍්‍ර කථානායක, සජිත් ස්වාධීනව, රනිල් එ.ජා.ප.යෙන් එනඑක ස්ථිරයි!
Sinhala Tamil English Translations and Content Writing
මේ 2019 සැප්තැම්බර් 8දා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි. එය බොහෝ දුරට ඇත්ත වන්නට ද ඉඩ තිබේ. එහෙත්, මෙම ප්‍රවෘත්ති ලේඛකයාගේ පරිකල්පනය ඉක්මවා යන තවත් කාරණා මෙතන තිබේ.
මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය තීරණය වී අවසාන ය. ඔහුට යම් නීතිමය අභියෝග තිබේ.
Divaina lead news
දිවයින
ගෝඨාභය රාජපක්ෂ 2005 ඡන්දයේදී තමන්ට හිමි නැති හොර ඡන්දයක් දැම්මා ද යන්න පිළිබඳ විමර්ශනයක් දැන් පැවැත්වේ. එහෙත්, ඒ පිළිබඳ විමර්ශනය අතිශය දුෂ්කර ය. හේතුව, ඒ සම්බන්ධ වාර්තා දැන් විනාශ කර ඇති හෙයිනි. සංචාරක වීසා මත පැමිණි විදේශිකයකු වූ ඔහු එදා දේශපාලනයට සම්බන්ධ වී ඇති බව පෙනේ. එය වීසා කොන්දේසි කඩකිරීමකි. එහි නීතිමය තත්වයන් පිළිබඳ ගැටලු විමර්ශනය කළ යුතු ය. ලංකාවේ පුරවැසියකු වන්නට පෙර ඔහු රාජ්‍ය තනතුරක් භාරගත්තාදැයි යන්න ද විමර්ශනය කළ යුතු ය.
මේ ආදී කාරණා සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනය කරමින් සිටින බව පසුගිය දිනෙක දේශපාලන රැස්වීමකදී මහින්ද රාජපක්ෂ ම ප්‍රකාශ කළේ ය. ගෝඨාභය තමන් තේරූ අපේක්ෂකයා නොවන බව හැමවිට ම කියන මහින්ද ඇතැම් විට ගෝඨාභයගේ අපේක්ෂකත්වය නැතිව යනවාට කැමති වන්නටත් පුළුවන. ප්‍රචාරණ ව්‍යපාරය ඉදිරියට කරගෙන ගොස් අවසානයේදී ශිරන්ති රාජපක්ෂව එතැනට දැමීමට එමගින් අවස්ථාව සැලසෙනු ඇත.
මැදමුලනේ මව්පිය සොහොන ඉදිකිරීම වෙනුවෙන් ලබාගත් මුදල් ආපසු ගෙවීමෙන් මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුවේ වරද පිළිගැනීමක් සිදු වී තිබෙන අතර එම නඩුවෙන් ඔහු හිරකරනවා ද බුරුල් කරනවා ද යන කාරණය පසුපස ද ජනාධිපති සිරිසේන සිටියි. කෙසේ වෙතත්, මේ වන විට ගෝඨාභයට තිබෙන සහාය හා බිය හේතුවෙන් මෙම නඩු ජනාධිපතිවරණයෙන් පසුපසට කල්යාමට වැඩි ඉඩක් තිබේ.
ගෝඨාභය රාජපක්ෂට පීඩනයක් ඇති කර සන්ධානයක වැඩි බලයක් දිනාගැනීමට මෛත්‍රීපාල සිරිසේන උත්සාහ කරයි. රාජපක්ෂවරුන් ඔහුට කතානායක පදවිය ලබා දී ඔහු මුළුගැන්වීමට කැමැත්ත පළ කර තිබෙනමුත් ඔහු එවැනි තත්වයකට කැමැත්තක් නොදක්වන බව වාර්තා වේ. පසුගිය සතියේ පැවැත්වුණු ශ්‍රීලනිප සමුළුවේදී කියැවුණේ පක්ෂය අගමැතිවරයකු බිහිකිරීම සඳහා කටයුතු කළ යුතු බවය. එජාප භේදවීමක් සිදු නොවුවහොත් පොදුජන පෙරමුණට ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ශ්‍රීලනිප සහාය නොමැතිව බැරි ය. එහෙයින් ශ්‍රීලනිපයට කේවෙල් කිරීමේ ප්‍රබල හැකියාවක් තිබේ.
කෙසේ වෙතත්, මේ වන විට එක්සත් ජාතික පක්ෂය දෙදරා යාමේ මුවවිටට ම පැමිණ තිබේ. සජිත් ප්‍රේමදාස පසුපසින් යන කොටස්වල බලපෑම හේතුවෙන් මේ වන විට ඔහුට වෙනම ජනාධිපතිවරණයට තරග කිරීමට සිදුවන තැනකට ඔහු තල්ලු වෙමින් තිබේ. එහෙත්, එජාපය හැර දමා යාම දේශපාලන සියදිවි නසාගැනීමක් බව ඔහුට අවබෝධයක් ද තිබේ. ඒ නිසා අවසාන මොහොතේ ඔහු රනිල් වික්‍රමසිංහ සමග සම්මුතියකට එළඹී නැවත වතාවක් ඔහු පසුපස ගිය අජිත්, හරින්, සුජීව, හර්ෂ, ඉරාන් වැනි අය අතරමං කරදැමීමට ඉඩ තිබේ.
රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණේ සහාය ඇතුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව දැන් තහවුරු වෙමින් තිබේ. තමන් ජනාධිපති වුවහොත් අගමැති වනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ නොවන බව සජිත් ප්‍රේමදාස සැප්තැම්බර් 7දා එජාප පළාත් සභා මන්ත්‍රීන් හා පරාජිත අපේක්ෂකයන් වෙනුවෙන් පැවැත්වුණ සමුළුවේදී ඉඟි කළේ ය. “මා කැටුව එන්නේ එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයකු සමග බවත් මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා,”යි ඔහු පැවසී ය. අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව වාර්තා වන්නේ ඔහු වෙනුවෙන් දැඩිව පෙනී සිටින කිහිපදෙනෙකු අතර දැනටමත් අගමැති ධුරය පිළිබඳ සියුම් තරගයක් ඇති වී තිබෙන බවයි.
මෙම ප්‍රකාශයත් සමග රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සමග සම්මුතියකට එළැඹීමේ අවසන් ඉඩකඩ ද ඇහිරී ඇති බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාස සම්මුතියක් සම්බන්ධයෙන් විශ්වාස කළ නොහැකි අයෙකු බව රනිල් වික්‍රමසිංහ මුල සිට ම දැරූ ස්ථාවරය වන මුත්, අභ්‍යන්තර බලපෑම් හේතුවෙන් ඔහු යම් සම්මුතියකට එළැඹීමට කැමැත්ත පළ කරමින් සිටියදී සජිත් ප්‍රේමදාස මෙම ප්‍රකාශය සිදුකිරීම එජාප සමගියට ඇති අවසන් අවස්ථාව ද විනාශ කර ඇති බව වාර්තා වේ. එජාපයේ දෙදරීමක් ඇතිවුවහොත් සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණය ජයගැනීමට තිබෙන අවස්ථාව තවදුරටත් සීමා වන අතර එජාපෙන් ඉවත් වීම ඔහුගේ දේශපාලන ජීවිතයේ අවසානය වන්නට ද ඉඩ තිබේ.
එජාප දෙදරා යාමක් සිදුවුවහොත්, පොදුජන පෙරමුණ සමග සන්ධානයක ශ්‍රීලනිපයට කතානායක ධුරය හෝ ලබාගැනීම දුෂ්කර තත්වයක් මතු වන හෙයින් බොහෝ විට ඉදිරි ජනාධිපතිවරණයකදී මෛත්‍රීපාල සිරිසේන ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට ඉඩ ඇත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා