පාසල්වල උගන්වන දේ අතරට වැසිකිළි භාවිතය වැනි සනීපාරක්ෂක කාරණාවලටත් ප්‍රමුඛතාව දෙනවා නම්
ඊශා කප්පරගේ
1980 වන විටත් ලංකාවේ බාල්දි වැසිකිලි තිබුණා. ගාල්ලේ රිච්මන්ඩ් හංදියේ තිබුණා වල වැසිකිළියක්. ගාල්ලෙ ටවුන් එකෙත් එකක් තිබුණා මතකයි.
මෙහි මළ එකතුවන්නේ වැසිකිළි ලෑල්ල යටින් තබා ඇති විශාල බාල්දියකට. එකතුවන මළ ද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස දෙමළ මිනිසුන් විසින් කර තබාගෙන යනු මා දැක තිබෙනවා. ඔවුන් හැඳින්වුණේ සක්කිලි නමින්.
එකල පවා බොහෝ නිවෙස්වල තිබුනේ වල වැසිකිළි. ගම්බද මේ තත්ත්වය වැඩිපුර තිබුණා. නිවෙස් දෙක තුනකට එක වැසිකිළියයි තිබුණෙ. අද වගේ පෞද්ගලික පවුල් ඒකක නොතිබුණු ඒ යුගයේ එකම මූලයකින් පැවත එන නෑදෑයින් පිරිසක් මහ ගෙදර අවටම නිවෙස් තනාගෙන වාසය කරන විට පොදු ළිඳ, පොදු වැසිකිළිය තමයි තිබුණේ.
වැසිකිළි ගොස් සබන් යොදා අත සේදීම කළේ නැහැ. වැසිකිළි ගොස් සේදීමට වතුර ගත්තෙත් අත්හැර දමන ලද ළිඳක, වළක තිබූ අපිරිසිදු වතුර. කිරි හට්ටියක්, කැඩුණු බාල්දියක්, ප්ලාස්ටික් බූලියක් වැනි යමකුයි එයට භාවිතා කළේ.
වර්තමාන ලංකාව කෙතරම් සෞඛ්‍යවත්දැයි සිතෙන්නේ මේවා කල්පනාවට ගන්නකොටයි. ලංකාවේ අද වැසිකිළියක් නැති නිවසක් නැති තරම්. කුඩා දරුවෙකු පවා දන්නවා වැසිකිළි ගිය පසු සබන් යොදා අත සේදිය යුතු බව. දැන් වළ වැසිකිලි, බාල්දි වැසිකිළි නැහැ. මේ හේතුව නිසාම පාචනය, පණු රෝග අවමයි. ලංකාවේ සෞඛ්‍ය දර්ශක ඉහළ දැමීම සඳහා මේ සෞඛ්‍යවත් වැසිකිළි භාවිතය ඉහළ දායකත්වයක් දක්වා තිබෙනවා.
හැබැයි තවමත් අපට වැසිකිළිය ගැන හරිහමන් දැක්මක් නැහැ. අපේ මිනිසුන්, ගැහැණුන් පොදු වැසිකිළි භාවිතා කරන්නට නම් දන්නේ ම නැහැ. නිවෙස්වල වැසිකිළි භාවිතයේ වුණත් වැඩි වෙනසක් නැහැ.
වැසිකිළි භාවිතය ඉගෙන ගන්නට තිබෙන තැනක් තමයි පාසල. හැබැයි, පාසල්වල වැසිකිළි තමයි ලෝකෙ තියෙන අපිරිසිදු ම වැසිකිළි. ඒ වුණාට අපි කියන්නෙ හොඳම දේ දරුවන්ට කියලායි. දරුවනුත් නිවැරදි වැසිකිළි භාවිතය පාසලෙන් ඉගෙනගන්නෙ නැහැ. පාසල්වල වැසිකිළිවලට ගල් දැමීම, කෝටු කැබලි දැමීම වැනි පරීක්ෂණ පවා කරන ළමයින් ඉන්නවා.
පාසල්වල උගන්වන ලොකු ලොකු දේ අතරට වැසිකිළි භාවිතය වැනි සනීපාරක්ෂක කාරණාවලටත් ප්‍රමුඛතාව දෙනවා නම් නරක ද?
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.