සරණාගතයන්ට මනුස්සකමින් සලකන ලාංකිකත්වයක් ගොඩනගා ගනිමු
අජිත් පැරකුම් ජයසිංහ
අද ලෝක සරණාගත දිනයයි. සරණාගතයන් කියන්නේ අනාරක්ෂිතබව නිසා තමන්ගේ නිවස, ගම, ඇතැම් විට රට පවා අතහැර වෙනත් තැන්වලට සංක්‍රමණය වන්නට සිදු වූ මිනිසුන්ටයි. ඔවුන්ගේ අරමුණ නැවත ජීවිතය ආරම්භ කිරීමයි.
(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
ලොව පුරා මිලියන් 70ක් ජනතාව සරණාගත තත්වයට පත් වී සිටිනවා. තිස් අවුරුදු යුද සමයේ ශ්‍රී ලංකාව ද සරණාගතයන් පැමිණෙන ගමනාරම්භක ස්ථානයක් වුණා. 1983 න් පසුව ලාංකිකයින් ලක්ෂ 18 කට වැඩි පිරිසකට බටහිර රාජ්‍යයන් සරණාගත තත්වයන් ලබාදී රැක බලාගෙන අති දැඩි කොට ඒ රටේ සම්පත්වලින් අපේ රටේ ඥාති හිතවතුන්ට සම්පත් සාදා දෙන්නට ද ඉඩ දී තිබෙනවා. දැනුත් ලාංකික ආර්ථික සරණාගතයන් බෝට්ටුවලින් ඉතා අවදානම්සහගත ගමන් ඕස්ට්‍රේලියාව වැනි රටවලට යනවා, වඩා හොඳ ජීවන තත්වයන් සොයාගෙන.
දැන් ලංකාව එදාට වඩා සාමකාමී රටක්. වෙනත් රටවල සරණාගතයන් දේශපාලන රැකවරණ සොයාගෙන යන අතර ශ්‍රී ලංකාවේ තාවකාලිකව රැඳී සිටිනවා. ඔවුන් වීසා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ, ඉන්පසු එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ සරණාගතයන් ලෙස ලියාපදිංචිය ලබාගන්නවා. ශ්‍රී ලංකාව සරණාගතයන්ට දේශපාලන රැකවරණ ලබාදෙන රටක් නෙමෙයි. එසේම, ඔවුන් ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ බලාපොරොත්තු වන්නේත් නැහැ. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ඔවුන්ට එසේ දේශපාලන රැකවරණ දෙන රටක රැකවරණ ලබාදෙන තෙක් තාවකාලිකව ඔවුන් ලංකාවේ ඉන්නවා.
ඔවුන් අපේ අමුත්තන් පිරිසක් මිස අපේ රට ආක්‍රමණය කරන්නට පැමිණි පිරිසක් නොවෙයි. අප ඔවුන්ට බිය විය යුතු නැහැ. අප ඔවුන් කවුරුද කියා සොයා දැනගත යුතුයි. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වැනි ආයතනවලට අපට ඔවුන් පිළිබඳ පහදා දීමේ වගකීමක් තිබෙනවා.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු, ඒ වන විට මීගමුවේ රැඳී සිටි මෙවැනි සරණාගතයන්ට හිරිහැර සිදු වුණ නිසා ඔවුන්ව තිහාරියට ගෙන එන්නට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය කටයුතු කළා. මේ ඒ ගැන ලියූ ලිපියක්. ලංකාවේ ඉන්න පකිස්තාන් සරණාගතයන් කවුරු ද? >>
අන්තවාදීන් පිරිසක් 2017 සැප්තැම්බරයේදී ගල්කිස්සේ රැඳී සිටි රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසකට හිංසා කළා. මේ දේවල් අපේ රටේ හොඳ නමට කැළලක්.
සරණාගතයන්ට බයවෙන්න එපා. 1948 අංක 20 දරණ ‘ආගමික හා විගාමික පනත’ අනුව ලංකාවේ රජයට කිසිම පුද්ගලයෙකුට ස්ථිර පුරවැසිභාවය හෝ ස්ථාවර පදිංචිය පවා ලබාදීමට නීතිමය හැකියාවක් ලංකාවේ නැත. ඒ නිසාම ලංකාවට ලෝකයේ කිසිදු සරණාගතයෙකු බාර ගැනීමට හැකියාව නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට එවැන්නක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට ද හැකියාවක් නැත. ඉල්ලා ද නැත. මෙම නීතිය කොරතම් බලවත් ද යන්නේ නම්, ලංකාවේ පුරවැසියෙකු විදේශිය කාන්තාවක් හා විවාහකර ගත්තේ වුව ද, ඇයට, ස්ථිර පුරවැසි බව ලැබෙන්නේ නැත. ඇයට හිමිවන්නේ ද කලත්‍රයාගේ වීසා බලපත්‍රයකි.
ඒ නිසා ලංකාවේ ඉන්න සරණාගතයන්ට මනුස්සකමින් සලකමු. නියම ලාංකිකකම ඒකයි. මේ සටහන ලියන්නට හිතුණේ අද ලෝක සරණාගත දිනයේ ලංකාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය පිටු බැලුවාමයි. එහි අද දිනය හා සම්බන්ධ කිසිවක් තිබුණෙ නැහැ.
මේ වීඩියෝව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස්ගේ මූලස්ථානයේ වෙබ් අඩවියෙන් ලබාගත් එකක්. එය රසවත්.
ඡායාරූපය ශ්‍රී ලංකාවේ සිටින පකිස්තාන අහමදියා මුස්ලිම් සරණාගත දරුවන් පිරිසක්. Thanks for the photo: AP/Gemunu Amarasinghe
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.