නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට දුන්නේ ඇයි?

නෙවිල් ප්‍රනාන්දු රෝහල
නෙවිල් ප්‍රනාන්දු රෝහල එහි හිමිකරු විසින් රජයට පවරා දී තිබේ. එය අගෝස්තු 1දා සිට රජයේ ශික්ෂණ රෝහලක් ලෙස සෞඛ්‍ය සේවා ආරම්භ කරනු ඇත. ඉදිරි කාලයේදී රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායක් බවට පත් වීමට නියමිත සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශික්ෂණ රෝහල ලෙස එය භාවිතාවට ගනු ඇතැයි සිතිය හැකි ය.

දැන් මේ ගනුදෙනුව දෙස ආකාර කීපයකට බැලිය හැකි ය. එක් පිරිසක් මෙයට විරුද්ධ වන්නේ රෝහල නඩත්තු කිරීම රජයට පවරා නෙවිල් ප්‍රනාන්දු එයින් ලාභ ගැනීම තමන් අත තබාගෙන ඇති බව කියමිනි. එය කිරි එළදෙනගේ හිස පැත්ත වෙනෙකෙකුට දී පස්සා පැත්ත ගත් කපටියාගේ කතාව සමග සමපාත කිරීමට ද ඔවුහු උත්සාහ කරති.

නෙවිල් ප්‍රනාන්දු ශූර ව්‍යාපාරිකයෙකු බැවින් ඔහු මේ ගනුදෙනුවෙන් ලාභ ලබන්නට බැරි නම් අඩු ගානේ ජාමෙ බේරා ගැනීමට හෝ උත්සාහ කරනු ඇත. මට නම් එහි වරදක් පෙනෙන්නේ නැත. 


ධනවාදය ධාවනය වන්නේ ලාභය නිසා ය. සමාජ සංවර්ධනයත් සමග ලාභය නියාමනය කර ගැනීමට මිනිස් සමාජයට හැකි වී තිබේ. ලාභය අපරාධයක් නො වේ. අපරාධයක් වන්නේ අසීමිත ලාභයයි.

එහෙත්, මේ වන විට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විධිමත් රාජ්‍ය නියාමනයකට යටත් කර ගැනීමේ හැකියාව ඇති වී තිබේ. එයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අරගලවල බලපෑම ඉවහල් වන්නට ඇතැයි අපි පිළිගනිමු. 

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය ලේ පිපාසිතයන්ගේ පාපතර බල දේශපාලන අරමුණු ඉටු කර ගන්නා මාවතට යොමු වී ඇති බව අවබෝධ වීමත් සමග ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිට විශ්වවිද්‍යාල සිසුන් දක්වා පිරිස් මේ වන විට එයින් ඉවත් වෙමින් සිටිති. වෙනෙකක් තබා සිසුන් උසි ගැන්වූ අන්තවාදී බලවේග පවා දැන් මල් වැවීම, මුද්දර එකතු කිරීම, නලින්ගේ කිරිපල්ල අතගෑම වැනි වෙනත් විනෝදාංශවලට යොමු වී තිබෙන බව පෙනේ.

සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන ආධිපත්‍යය දරන මධ්‍යම පංතියේ දෘෂ්ටිවාදීමය පදනම සපයන මාක්ස්වාදය විසින් සමාජයට හුරු කර තිබෙන්නේ ව්‍යවසායකයා යනු විනාශ කළ යුතු ධනපතියෙකි ය කියා සිතන්නට ය. ඔවුන්ට අනුව, සංවර්ධනය විය යුත්තේ ඔවුන් ම ධනපති යයි කියා හඳුන්වන රජය පමණි. ඔවුන්ට අවශ්‍ය රජය හැම දෙයට ම මැදිහත් වීම ය. සිල්ලර වෙළඳාමේ සිට, බස් කෝච්චි දිවීම, බැංකු, ගුවන් සේවා, පුක පිහින කඩදාසි හැදීම, අත පිහින රෙදි විවීම වැනි හැම දෙයක් ම රජය කළ යුතු යයි ඔවුහු සිතති. එසේම, අනිවාර්ය අධ්‍යාපනයේ සිට, උසස් අධ්‍යාපනය, චිත්‍රපටි නාට්ටිකාරයන්ට අත දීම, ගොවියන්ට ඔක්කොම දී අස්වැන්නත් මිළ දී ගැනීම, කට්ටඩියන්ට හා හොර වෙදුන්ට සම්මාන දීම, වැද්දන් අහිගුණ්ටිකයන්ගේ සමාජ පසුගාමිත්වය රැක ගැනීම දක්වා සියලු දේ රජය කළ යුතු යයි ද ඔවුහු සිතති.

මධ්‍යම පංතිය එහෙම හිතන්නේ නිකම් නො වේ. රජය මේ බැරි මගුල් ඔක්කොම භාරගෙන කරන්නට යන විට ඔවුන්ට නිකම් සිට හෝ අඩුවෙන් වැඩ කර හෝ බදු මුදලින් පඩි ගත හැකි රජයේ රස්සා ලබා ගත හැකි ය.

අනුපානෙට කරන ඊනියා මහජන සුබසාධනයට මුවා වෙමින්, ප්‍රධාන කාර්යය ලෙස මධ්‍යම පංතිය නඩත්තු කිරීම කරන රජය පවත්වාගෙන යා හැක්කේ මේ රටේ වැඩ කරන ජනයා බදු ගෙවනවා නම් පමණක් බවවත් තේරුම් ගැනීමේ හැකියාවක් මේ අඳබාල ඊනියා මාක්ස්වාදීන්ට නැත. කම්කරුවන් පවතින්නට නම් ව්‍යවසායකයන් සිටිය යුතු ය.

ලංකාවේ මාක්ස්වාදීන්ට ව්‍යවසායකයන් වහකදුරු වැනි ය. ඔවුන් ව්‍යවසායකයන් දෙස බලන්නේ ම ධනපති භංග වේවා කියාගෙන ය. එහෙත්, ව්‍යවසායකයා ද කම්කරුවා හා මධ්‍යම පංතිකයා සේ ම හොඳ හෝ නරක දෙක ම විය හැකි තවත් මිනිසෙකි. සමාජය කළ යුතුව තිබෙන්නේ මිනිසකුට හොඳ මිනිසකු වන්නට උදව් කිරීම හෝ අඩු තරමේ නරක මිනිසකු වීම වැළැක්වීමයි.

ලංකාවේ වාමාංශිකයන් විසින් ප්‍රතිගාමී ධනපතියන් ලෙස හඳුන්වන ලද කොතලාවල වැනි අය විසින් රජයට දෙන ලද දේපල අදත් පොදු යහපත සඳහා භාවිතා වේ. වාමාංශික ධනවතුන් විසින් වමේ පක්ෂවලට දුන් දේපලවලට සිදු වී ඇත්තේ කුමක් ද යන්න ඇස් ඇර බලන්න. ඒවා මේ වන විට එක එක කපටින් විසින් පවුල් දේපල බවට පත් කරගෙන තිබෙනවා පමණක් නොව, කාලකන්නි, දොම්නස් ස්ථාන බවට ද පත් කර ඇත. 

නෙවිල් ප්‍රනාන්දු දෙස අප නම් බලන්නේ මේ අතීත අත්දැකීම් මත පදනම්ව මිස වම විසින් ප්‍රවර්ධනය කරන ව්‍යාජ පංති වෛරයෙන් හෝ රාජිත සේනාරත්න කියන තරම් මහා ගෞරවයකින් ද නො වේ.  

ලංකාවේ කම්කරු පංතික විප්ලවයක් සිදු වීමේ කිසිදු හැකියාවක් නැත. එයට මූලික හේතුව ලංකාවේ පවතින්නේ මධ්‍යම පංතියේ ආධිපත්‍යයෙන් යුත් විකෘති සමාජවාදී රාජ්‍ය ධනවාදයක් නිසා ය. මෙය හරියට ම හඳුනාගෙන විග්‍රහ කළ දේශපාලනඥයා ජේ.ආර්. ජයවර්ධනයි. ඔහු ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙස නම් කළේ ඒ වන විට පැවති දැවැන්ත රාජ්‍ය ධනවාදය පිළිබඳ මනා අවබෝධයකිනි. ආර්ථිකය විවෘත කරමින් පෞද්ගලික අංශයට ප්‍රමුඛතාව දුන් මුත් ඔහු මේ රාජ්‍ය ධනවාදී සමාජවාදී ආර්ථිකය ද අතහැරියේ නැත.

සිරිමාවෝ බණ්ඩාරනායකගේ අගමැතිත්වයෙන් යුක්ත වූ ශ්‍රීලනිප - සමසමාජ - කොමියුනිස්ට් සමගි පෙරමුණු සමාජවාදී රජයෙන් පසු රාජ්‍ය ධනවාදය උපරිම තලයකට ගෙන ආවේ මහින්ද රාජපක්ෂයි. ඔහු රාජ්‍ය අංශය ප්‍රසාරණය කළේ දැවැන්ත මධ්‍යම පංතියක් ගොඩනගමිනි. උඩ එවුන්ට තීරු බදු රහිත කාර් ද යට එවුන්ට නිකං වගේ මෝටර් සයිකල් ද දුන්නත්, නිකං කෑම පත්තියන් වී සිටින මේ මධ්‍යම පංතිය සතුටු කළ නො හැකි ය. වත්මන් ආණ්ඩුව රුපියල් දහදාහක පඩි වැඩි වීමක් දුන්නත්, තවමත් මේ මධ්‍යම පංතිය වැඩ කරන්නේ නැත.

ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂවලට පැවරෙන්නේ මේ අලස මධ්‍යම පංතියට අවශ්‍ය න්‍යාය සම්පාදනය කර දීමයි. ඒ අනුව, බදුත් නො ගෙවා, සියල්ල නිකනුත් දෙන ගාඩියන් ඒන්ජල් හෙවත් භාරකාර සුරංගනාවක් පිළිබඳ සිහිනය සම්පාදනය කරමින් මධ්‍යම පංතිය චූන් කිරීම ඔවුන් දිගට ම කරනු ඇත.

ලංකාවේ කම්කරු පංතියට කිසිදු පංති විඥානයක් නැත. ඔවුන් සිතන්නේ තමන්ගේ විමුක්තිය තිබෙන්නේ රජයෙන් යැපෙන මධ්‍යම පංතිකයකු වීම තුළ ය කියා ය. ලංකාවේ වම්මු කම්කරු පංතියට ලබා දී තිබෙන අධ්‍යාපනය එයයි. ලංකාවේ කම්කරු පංති විප්ලවයක් සිදු වීමේ හැකියාව මේ මොහොතට අදාළව අවම බව අප කියන්නේ ඒ නිසා ය.

කම්කරු පංතික විප්ලව සිදු නො වුණත්, ලාංකීය සමාජයට සංවර්ධනය වන්නට බැරිකමක් නැත. ඒ සඳහා ප්‍රවේශ දෙකක් තිබේ. එක පැත්තකින් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ යුතු ය. අනෙක් පැත්තෙන් දැනුම, කුසලතා, ආකල්ප පැත්තෙන් දියුණු වන වැඩ කරන ජනතාවක් ගොඩනැගිය යුතු ය.

මධ්‍යම පංතිය සම්බන්ධයෙන් කීමට ඇත්තේ මෙයයි. එය පදනම් කරගෙන දේශපාලනය කරන අයට මේ රටට කිසිදු සාධනීය මෙහෙයක් තවදුරටත් ඉටු කළ නො හැකි බැවින් මාක්ස්වාදය පීඩිතයන්ට අරගල කරන්නට නම් ෂෝක් මෙව්වා එකකි වැනි අලුත් ආතල් එකකට පිවිසීම සුවදායක ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. "වෙනෙකක් තබා සිසුන් උසි ගැන්වූ අන්තවාදී බලවේග පවා දැන් මල් වැවීම, මුද්දර එකතු කිරීම, නලින්ගේ කිරිපල්ල අතගෑම වැනි වෙනත් විනෝදාංශවලට යොමු වී තිබෙන බව පෙනේ."
    LOL..

    ReplyDelete
  2. වෛද්‍ය සිසුන් තවමත් ස්ව කැමැත්තෙන් (?) දේශන වලට යන්නේ නැද්ද ? දැන් කාටද පාඩු ?

    ReplyDelete
  3. පැරා,

    ප්‍රශ්නය තිබුනේ සයිටෙම් එකේ රජයට දීල තියෙන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල, රජය මෙතෙක් කෘශිකර්ම ගොඩනැගිල්ලට සබීතා පෙරේරාගේ සැමියාට කෝටිගණන් ගෙවනවා වගේ මේ රෝහලේ සියලු නඩත්තු රජයේ වියදමින් දරනු ඇති, එච්චර විතරද රජය ගෙවන විශාල බදුමුදල ප්‍රමාණවත් වෙන්න ඕනේ නෙවිල් ප්‍රනාන්දු ට තමන්ගේ රෝහලට ගත්ත ණය ගෙවන්න (මොකද නෙවිල් ප්‍රනාන්දු මේ රෝහල නොමිලේ රජයට දුන්න නම් රෝහල වෙනුවෙන් ගත්ත ණය ගෙවන්න ඔහු ඉදිරිපත් වෙන්නේ නෑ නේ ) මෙය හරිම අපුරුයි මෙහිදී ඔහුට කිසිවක් නොකර විශාල මුදලක් අතට එන අතර මේ මහින් සයිටෙම් ගැටලුව නිරාකරණය කරන්න ලැබෙනවා. එක ගලයි කුරුල්ලෝ දෙන්නයි.

    මම නම් සාහිත්‍ය ගැන එතරම් අවදානය යොදපු කෙනෙක් නෙමෙයි ඔබල වගේ, හැබෙයි මට මතක 4 වසරේ විතර (කුමාරෝදය පොතේද කොහෙද ) තිබුන මුනිදාස කුමාරතුංග මහතා ලියපු කතාවක් එකට කියන්නේ "හතර රියන් සහ දෙරියන් " එක මිනිහෙක් හතර රියන්, උසයි හැබැයි මෝඩයි දෙරියන් කොටයි හැබැයි කපටිය. ඔවුන් දෙන්න හවුලේ එළදෙනක් ගන්නවා අරගෙන එලදෙනවා බෙදන්නේ උගේ බඩ මැදින් ලනුවක් ගැටගහල, දෙරියන් හතර රියන්ට කියනවා ඔබ ඉදිරියේ තියෙන්නේ එළදෙනගේ නම්බුකාර කොටස වන කට බාර ගන්න මම පස්ස පැත්ත බාර ගන්නම් කියල. මෙහිදී හතර රියන් සතාට සියලු කෑම වතුර දෙන අතර දෙරියන් ගොමටික, පැටව සහ කිරි ගැනීම කරනවා.

    මේක තමයි ශ්‍රී ලංකාවේ සිදුවෙන්නේ මේක නෙවිල් ප්‍රනාන්දු ගැන විතරක් නෙමෙයි ඉන්දියාව සමග ගහන ගිවිසුම් වලත් වෙන්නේ ඕක තමයි මෙතැනදී හතර රියන්ට රගපාන්නේ රටේ මහජනයා දෙරියන් වෙන්නේ නෙවිල් ප්‍රනාන්දු ඇතුළු රටේ දෙසපාලුවෝයි.

    ReplyDelete
    Replies
    1. yes!
      ඉස්පිරිතාල ලෙඩ්ඩු රජයෙන් - උපාධි සල්ලී උන්ට, ඉතින් ආන්ඩුවෙන්ම දෙකම කලා නම් ඉවරයිනේ.

      Delete
  4. ධනවාදී අර්ථ ක්‍රමයක් තුල සමාජ සුභ සාධනයට ඉඩක් නැත. එය වෙස් බැඳුමක් පමණි. එසේ නම් නෙවිල් රෝහල රජය සතු කිරීම , තවත් එක් උගතෝකෝටිකයක් පමණි. මෙහි යටි අර්ථ ... එනම් ධනවාදී ඉලක්ක හදුනා ගැනීමට කල්ගතවනු ඇත. ධනවාදයේ අළුත් මුහුණුවර මෙම සංසිද්ධිය මගින් හෙළි කරගත යුතු වේ.

    ReplyDelete
  5. තමන්ගෙම නැට්ට ගිලින සර්පයෙක් වැනී මුග්ධ ලාංකික මධ්‍යපාංතිකයා තම ස්වයං විනාශකාරිත්වය ජානවලින්ම උරුමකරගත්තෙකි. බලන්න ඕනම ක්ෂේත්‍ර‍යක ඇති පිරිහීම සහ පසුගාමීත්වය. තමන් ගමන් කරන පාලමේ ඇණයක් සොරකම් කිරීමට දෙවරක් නොසිතන මෙම මුග්ධ ලාංකික මධ්‍යපාංතිකයා 2016 දත්ත අනුව ලොව ආගමිකත්වයෙන් ඉහලම තැනක වැජඹේ .
    ලාංකිකයන් පට්ට හොරු සහ වංචාකරුවන්ය එනිසා සැමවිට පාර්ලිමේන්තුවට තමන්ගෙ හොඳම හොරු තෝරා පත්කරනියී.


    (Ouroboros අර්ථයන් පටලවා නොගන්න)

    ReplyDelete
  6. GMOA Memorial*(ex SAITAM) හොස්පිටල් එක තවත් ගෙවන වාට්ටුවක් කරයිද?

    (* credit to Sarath Wimalasuriya)

    ReplyDelete
  7. මේ බ්ලොග් එකේ හැමදාම තියෙන්නෙ,රජයට මුකුත්ම කරන්න බැහැ හැමදේම පුද්ගලීකරනය කල යුතුයි කියල.ඒත් අද්යාපනය,ප්‍රවාහනය සෞක්ය වාගෙ ප්‍රධාන දේවල් ලස්සනට කරන රටවල් ඕනතරම් තියෙනව.හැබැයි ඒ දේසපාලකයො හොරකම් කරන්නෙ නැහැ.ලංකාවෙත් හොරු නැති ආන්ඩුවක් හදාගත්තොත් ඕව එච්චර දේවල් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ හොරු නැති ආන්ඩුවක් හදාගන්නට බැරි ඇයි?

      Delete
    2. නිරෝෂාන්July 20, 2017 at 9:20 PM

      චන්ද ක්‍රමය හදල තියෙන්නේ හොරුන්ට දිනන්න..

      Delete
  8. ලංකාවේ පමණක් නෙවේ ඇමරිකාවේ පවා දේශපාලඥයන්ගේ මූලික ටාගට් එක මධ්‍යම පංතිය තමයි- දැන් ඔබාමා වුනත් බදු සහන ලබල දෙන්න හැදුවේ මධ්‍යම පංතියට -

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා