බස් එලෝන ළමයි හා අධ්‍යාපන චාරිකා


 

– අජිත් පැරකුම් ජයසිංහ

ළඟදි අධ්‍යාපන චාරිකාවක් ගිය මගේ දුව හරි සතුටින් කිව්වා, උදේ කෑමට නවත්තපු තැන පිට්ටනියක බස් පහම මියුසික් හෝන් ගහමින් ඇලකරගෙන වේගෙන් රවුමට රවුමට ගියාලු.

මේ වගේ ගමනකදි නුවරඑළිය පැත්තෙදි ළමයෙකුම බස්එක පදවන අයුරු දැක්වෙන වීඩියෝවකුත් සංසරණය වුණා.

මං ගුරුවරයකු කාලෙ ළමයින් එක්ක, අධ්‍යාපන චාරිකා, ක්‍රීඩා තරගවලට එක්කගෙන යන ගමන් බිමන් එහෙම සෑහෙන්න ගිහින් තියෙනවා. ළමයින් කියන්නෙ ළමයින්. හැබැයි, අපේ රටේ ගුරුවරුන්, බස් සේවකයන් ආදී හැමෝම ඒ ළමයින්ට වඩා ලොකු වෙනසක් නැහැ.

රියදුරන් ගැන කියනකොට මට මෙහෙම හිතෙනවා. ලංකාවේ අප අතරින් බොහෝ දෙනෙකු කාර් රේස් යන්නට ලැබුණු අවස්ථා අහිමි වුණ සාංකාවකින් පෙළෙන පිරිසක්. ඒ නිසා වාහනයක් අතට ගත්තත්, වෙන කෙනෙකු පදවන වාහනයක යන විටත් ඒ අය රිය පැදවීමේ විනෝදය විඳිනවා. ඒ අයට රථගාය කියන්නෙ නොසිඳෙන ආසාවක්.

ලංකාවේ බස් රියදුරන් වැනි අය බස් එළවන ගමන් දුරකථන ඇමතුම් දීම්, මැසේජස් බැලීම, යැවීම, මාර්ගයේ යන එන අනෙක් වාහන තිබෙන තැන ෆලෝ කිරීම, වෙනත් අයට දැනුම් දීම, විට කෑම, වතුර බීම, සිංදු ඇහීම විතරක් නෙමෙයි සිංදු කීමත් කරනවා. ඔවුන් නොකරන ප්‍රධාන දෙය තමයි, තමන්ගේ දෑතේ රැඳී තිබෙන ජීවිත ගැන නොසිතීම.

ආරක්ෂාව වගේ දේ අපට වැදගත් නැහැ. බස් එකත් අපට ත්‍රාසය ජනනය කරන තැනක්. බස් කියල ජාතියකුත් නැහැ. ලොරි බොඩිවල තදබද කරලා සීට් ගහපු, විවිධ පාට ගාපු, සුදු යකඩ අල්ලපු, නයිට් ක්ලබ් වගේ පාට පාට ලයිට් දාපු, සයිලන්සරේටත් හෝන් සවිකරපු, මහ හයියෙන් සිංදු දාන, හයියෙන් යන, ඇල කරලා වංගු ගන්න, හිටිහැටියේ බ්‍රේක් ගහන, ෆෝන් කණේ ගහන් තනි අතින් එළවන වාහන ජාතියක අපි යනවා.

අපේ පැත්තෙ බස් සීයකට වඩා අයිති සමගි ජන බලවේගෙ සංවිධායක ජගත් මේ ලොරි චැසි බස් වැඩිදියුණු කරන්න තවත් ලක්ෂ 20ක් විතර වියදම් කරන බව වීඩියෝවක සඳහන් වුණා. දේශපාලන නායකයකු වන ඔහුට තේරෙන්නෙ නැහැ ඔහුට අවශ්‍ය නම් ඇත්ත බස් හඳුන්වා දෙන්නට පුළුවන් බව.

අපි සමාජයක් විදියට බස් ගැන, ප්‍රවාහනය ගැන ඉන්නෙ ළමා මානසිකත්වයක. අපේ ගුරුවරුන්, විදුහලේපතිවරුන් පවා එහෙමයි.

අපි ඉදිරියට යන්න ඕනැ මේ යථාර්ථය පිළිඅරන්, එතන ඉඳන්. ලෝකෙ හොඳම ප්‍රමිතියි අපේ තත්වයයි අතර ලොකු පරතරයක් තියෙනවා. ඒක ආර්ථික පරතරයක් විතරක් නෙමෙයි, සංස්කෘතික අගාධයක්. ඒ පිම්ම පනින්නම ඕනැ නැහැ. අපි අලුත් සංස්කෘතියක් හදමු.

පාසල් අධ්‍යාපන චාරිකාවලට යම් විනයක් අවශ්‍යයි. ඒවායේදී ළමයින් විනෝද වීම වරදක් නැහැ. ඒත්, යම් අධ්‍යාපනික දෙයක් අනිවාර්ය වෙන්න ඕනැ. වර්තමානයේ අධ්‍යාපන චාරිකාවල ඒ ගුණාත්මකබව අවමයි.

පදවියේ සිට පුල්මුඩේට යන පාරෙ දහයෙ කණුවෙ පරණ මැදවච්චියේ ඉස්කෝලෙක 1940 දශකයේ පරණ ලොග් පොතක තිබුණු සටහන් වගයක් ගැන මට වරක් එක් ගුරුවරයකු පැවසුවා. ඒ අනුව, පාසලේ සිසුන් පිරිසක් මුල් ගුරුතුමා සමග අධ්‍යාපන චාරිකාවක් ගිහින් තිබුණේ වර්තමන පදවි පරාක්‍රමපුර වන වන්නච්චිය හරහායි. ඔවුන් ගිහින් තිබුණේ තෙන්නමරවාඩි නම් පැරණි දෙමළ ගමට. ඒ ගමනෙ අරමුණක් ලෙස සඳහන් වුණේ උළු ගෙවිල්ලපු ගෙයක් බලන එකලු.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

සුදු කොඩි නඩුව පාලකයන්ට ම සුදු කොඩියක් වේවි ද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු