ජිනීවා: වගවීම වැඩි දියුණු කරන යෝජනාවක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍යයි – නුවන් බෝපගේ

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසි වාරය අවසානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කුමන ආකාරයේ යෝජනාවක් සම්මත වේද යන්න කෙරෙහි මේ වන විට අවධානය යොමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පරිහාණියට පත්වීමට හේතු වූ ආර්ථික අර්බුදයට මග පෑදූ ආර්ථික අපරාධ සිදුකළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවට මෙම යෝජනා කෙටුම්පත මගින් නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව පිළිබඳ කේන්ද්‍රීය කණ්ඩායම විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, මලාවි, උතුරු මැසිඩෝනියාව හා මොන්ටිනිග්‍රෝ යන රටවල් මෙම කණ්ඩායමට අයත්ය. 

2021 මාර්තු මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගන්නා ලද අංක 46/1 දරන යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමේ බලය හා විශ්වාස කළ හැකි චෝදනා එල්ල වී ඇති  පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව ඉලක්ක ගත තහංචි, එනම් දේපළ තහනම් කිරීම් හා ගමන් බිමන් තහංචි පැනවීමේ බලය සාමාජික රටවලට ලබාදී ඇත.

යුද්ධය පැවැති සමයේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන් හා දේශපාලන නායකයන්ට විදේශයන්හිදී මෙය දැඩිව බලපානු ඇත.

46/1 යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මධ්‍යම දත්ත ගබඩාවක් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් ස්ථාපිත කර තිබේ. අනාගතයේදී පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව නඩු පැවරීම සඳහා රාජ්‍යයන්ට මෙම දත්ත උපයෝගී කරගත හැකිය.

හියුමන් රයිට්ස් වොච්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ ආසියානු සංසදය (FORUM-ASIA) හා ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි යෝජනාවක් සම්මත කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කර ඇත. නිශ්චිතව නොපැවසුවත්, එම දැඩි යෝජනාව 46/1 ද ඉක්මවා යා යුතුය. ශ්‍රී ලංකා රජය එය වළක්වාගැනීමට උත්සාහ කරමින් සිටියි.

වර්තමාන අර්බුදයට මුලික වූ යුද සමයේ සිදු වූ ම්ලේච්ඡ ක්‍රියා සහ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයන් සම්බන්ධයෙන් සාක්ෂි සංරක්ෂණය කිරීම සඳහා දැනට පවතින යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ යාන්ත්‍රණයක් වැනි නව මුල පිරීම් අනුගමනය කිරීම හරහා වර්තමාන තත්වය සියුම්ව නිරීක්ෂණය කරන සහ වගවීම වැඩි දියුණු කරන යෝජනාවක් කවුන්සිලය විසින් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය බව මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIAනියෝජනය කරමින් නීතීඥ නුවන් බෝපගේ 2022 සැප්තැම්බර් 12දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51වන සැසි වාරය අමතමින් ඉල්ලා සිටියේය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා