මහ මැතිවරණයෙන් විප්ලවීය වෙනසක් සිදු විය හැකි එක් විදියක්



අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2020-07-31

පාර්ලිමේන්තු මැතිවරණයට තව දින කීපයකි. අප අවධානය යොමු කරන්නට යන්නේ රටේ ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන්ට කෙතරම් නියෝජනයක් ලැබේ ද යන්නයි.

Translations by Creative Content Consultants

අපේ රටේ කාන්තාවන්ගෙන් ශ්‍රම බලකාය සමග සම්බන්ධ වන්නේ 35%ක් පමණ ප්‍රතිශතයකි. සමස්ත රැකියා නියුක්තිය සලකා බැලූ විට, රැකියාවල නියුතු වී සිටින්නේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 45%ක් පමණක් බව 2012 සංගණන දත්ත පෙන්නුම් කරයි.

කාන්තා ජනගහණය සලකා බැලුවහොත් 65%ක් ම රැකියාවල නිරත වන්නේ නැත. 2006 සහ 2016 අතර දස වසර තුළදී ශ්‍ර‍ම බලකාය සමග සම්බන්ධ වන කාන්තා ජනගහණයේ ප්‍ර‍තිශතය 5%කින් පහත වැටී තිබේ.

ලංකාවේ පිරිමින් අතර ද ව්‍යවසායකයන් සංඛ්‍යාව 5%කට අඩු ය. කාන්තාවන් අතරින් නම් 1%ක්වත් ව්‍යවසායකයන් නොවේ.

ලංකාවේ සැබෑ සමාජ වෙනසක් ආරම්භ කළ හැකි එක් සන්ධිස්ථානයක් වන්නේ ශ්‍රම බලකායේ කාන්තා ප්‍රතිශතය වැඩි කිරීම සහ කාන්තා ව්‍යසායකත්වය වර්ධනය කිරීමයි. මෙම ගැටලු විසඳාගැනීමට නම් කාන්තාවන්ට සාධාරණ නියෝජනයක් අවශ්‍ය ය. ඒ වෙනුවෙන් කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය වැඩි විය යුතු ය.

ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කිසිම දාක කාන්තාවන්ගේ නියෝජනය 6.5% ඉක්මවා නැත. 2015-2020 පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%කි. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225ක් අතර කාන්තාවන් සිටියේ 12ක් පමණයි.

නම් වශයෙන් කිවහොත්, ඔවුන් නම් වර්තමානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන, ශ්‍රියානි විජේවික්‍රම, වර්තමානයේ සමගි ජන බලවේගය නියෝජනය කරන චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරළ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, තුසිතා විජේමාන්න, වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අනෝමා ගමගේ, විජයකලා මහේෂ්වරන් සහ වර්තමානයේ ඉලංකෙයි තමිල් අරසු කච්චි නියෝජනය කරන ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා ය. මෙම කාන්තාවන් අතරින් අනෝමා ගමගේ හා ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා පත් කළ මන්ත්‍රීන් ය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ ගීතා කුමාරසිංහ ද සමග පසුගිය පාර්ලිමේන්තුවට කාන්තාවන් 10දෙනෙකු ඡන්දයෙන් තේරී පත් වූ හ. ඉහත නම් සඳහන් කරන ලද සියලු කාන්තාවෝ මෙවර මහ මැතිවරණයට දිස්ත්‍රික්කවලින් තරග කරති.

2020 මහ මැතිවරණය සම්බන්ධයෙන් අප විසින් කරන ලද අධ්‍යයනවලින් පෙනෙන කරුණක් වන්නේ මෙවර මැතිවරණයේදී මහජන ඡන්දයෙන් තේරී පත් වන කාන්තාවන් සංඛ්‍යාව පසුගිය මහ මැතිවරණයෙන් තේරී පත් වූ කාන්තාවන් සංඛ්‍යාවට වඩා අඩු වන බවයි.

ආණ්ඩු පක්ෂය මෙන් ම ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස සැලකිය හැකි සමගි ජනතා බලවේගය ද තම නාම යෝජනා ලැයිස්තුවල කාන්තාවන්ට ලබා දී තිබෙන්නේ අවම ඉඩකි. උදාහරණයක් ලෙස බස්නාහිර පළාත සලකා බැලුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ලැයිස්තුවෙහි එක ද කාන්තාවක හෝ නැත. කොළඹ සහ ගම්පහ ලැයිස්තුවල එක් කාන්තාවක් බැගින් පමණක් සිටිති. සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ එකද කාන්තාවක හෝ නැත. කොළඹ ලැයිස්තුවෙහි එක් කාන්තාවක් ද, ගම්පහ ලැයිස්තුවෙහි කාන්තාවන් දෙදෙනෙකු ද සිටිති. එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් ලැයිස්තුවෙහි ද එකද කාන්තාවක හෝ නැත. කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙහි කාන්තාවන් දෙදෙනෙකු ද ගම්පහ දිස්ත්‍රික් ලැයිස්තුවෙහි එක් කාන්තාවක් ද සිටිති. ඉහත කී පක්ෂවලට සාපේක්ෂව ජාතික ජන බලවේගයේ බස්නාහිර පළාත් දිස්ත්‍රික්කවල ලැයිස්තුවල සුළු ප්‍රගතියක් දක්නට ලැබේ.

ප්‍රධාන පක්ෂවලින් මුළු රටෙන් ම කාන්තාවන් 40ක් පමණ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අතර එයින් අඩක් පමණ ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාවන් බව දළ වශයෙන් ගණනය කර තිබේ.

මෙම සංදර්භය තුළ මැතිවරණයෙන් පසු දේශපාලන පක්ෂ මුහුණ දෙන ප්‍රබලම අභියෝගය වන්නේ තම ජාතික ලැයිස්තු ආසනවලින් කීයක් කාන්තාවන්ට දෙනවා ද යන්නයි. දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සීතා අරඹෙපොළට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකි ය. තවත් කාන්තාවන් දෙදෙනෙක් එම ජාතික ලැයිස්තුවෙහි සිටිති. ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිකා සත්කුණනාදන් පත් කරන්නට ඉඩ තිබේ. සමගි ජන බලවේගයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙහි සිටින කාන්තාවන් දේශපාලනයෙහි ප්‍රමුඛ අය නොවේ. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙහි ප්‍රකට විද්‍යාර්ථියකු වන ආචාර්ය හරිනි අමරසූරිය, රංගන ශිල්පිනී දීපානි සිල්වා හා ඩාබිඳු සාමූහිකය නම් නිදහස් වෙළඳ කලාප කාන්තා සංවිධානයෙහි නායිකා චමිලා තුෂාරි සිටිති.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)