මධ්‍යම පන්තික ආඛ්‍යානය හඳුනාගැනීම සහ අලුත් ආඛ්‍යානයක් නිර්මාණය කිරීම

අජිත් පැරකුම් ජයසිංහ (කම්කරු දිනය වෙනුවෙනි)

ඇත්තට ම වැඩ කරන සැබෑ කම්කරුවන්ගෙන් රජය සූරාකන බදු මුදලින් හා ඔවුන් උගසට තබා රජය ලබාගන්නා ණයවලින් කොටසක් දේශපාලකයන් හා නිලධාරීන් සූරා කා තමන් වෙත විසිකරන කටුව කෑදර ලෙස ලෙවකමින් පාරිභෝජනවාදී අතෘප්තිමත් ජීවිත ගෙවන රාජ්‍ය සේවක පහළ මධ්‍යම පන්තිකයන් නියෝජනය කරන මුට්ටි කාසි ජාවාරම්කාර වෘත්තීය සමිති සුළු ධනපතීන් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ පවත්වන මාක්ස්වාදී මහා අභිචාරය මැයි දිනයයි.
සැබැවින් වැඩකරන කම්කරුවන් යනු ආර්ථිකයට සැබැවින් ම ඵලදායී සේවයක් කරන කම්කරුවන් ය. එවැනි කම්කරුවන් රජයේ සේවයේ ද සිටිති. එහෙත්, රජයේ සේවකයන් එසේ වීම අනිවාර්ය නැති බැවින් ඔවුන් වැඩිදෙනෙකු තමන් ලබාගන්නා වැටුපට සරිලන සේවයක් සලසන්නේ නැත. ඔවුන්ගේ සාමාන්‍ය චර්යාව පවා පීඩිත පන්ති විරෝධී ය. සමාජයේ පීඩිත කොටස්වලට රජයෙන් සේවා සපයන්නේ එපා වාහෙට හොදි බෙදන්නා සේ බව පීඩිතයෝ දනිති.
සැබැවින් වැඩකරන කම්කරුවන් වැඩිපුර ම දැකිය හැකි වන්නේ සංක්‍රමණික කම්කරුවන්, වතු කම්කරුවන්, ඇඟලුම් කම්කරුවන්, අවිධිමත් අංශයේ කම්කරුවන්, පරිගණක ආශ්‍රිත සේවා සපයන්නන්, වෙළඳ සේවකයන්, ස්වයං රැකියා කරන්නන්, සුළු ව්‍යාපාරිකයන්, සුළු වෙළඳුන්, සනීපාරක්ෂක කම්කරුවන්, පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් වැනි පිරිස් අතර ය. ඔවුන්ට පැවැත්ම සඳහා සැබැවින් ම වැඩ කරන්නට සිදු වී තිබේ. බොරු කරන්නට ගියොත් රස්සාව නැති වී යා හැකි ය. එසේම, ඔවුන් කරන කාර්යයන් ආර්ථිකයට බලපෑමක් කරයි. බොහෝ රජයේ රැකියාවල මෙම ලක්ෂණය නැත. එබැවින් සෑම රජයේ සේවකයකු ම සැබැවින් වැඩකරන කම්කරුවකු වන්නේ නැත. රාජ්‍ය නොවන සංවිධාන, අන්තර් රාජ්‍ය සංවිධානය වැනි ව්‍යූහයන්ට ද මෙම කාරණය අදාළ ය.
ඇත්තට ම වැඩකරන ජනතාව යන අර්ථකථනයට මුළුමනින් ම නොවැටුණත්, නිෂ්පාදනයේත්, නිදහස් වෙළඳපොළේත් පැවැත්මට අත්‍යවශ්‍ය වන සේවා සපයන පිරිසක් ලෙස ව්‍යවසායකයන් හා කළමනාකරුවන් ද සැලකිය හැකි ය. ඊනියා මාක්ස්වාදීන් ඔවුන් හඳුන්වන්නේ ධනපති පංතිය යන වෛරී යෙදුමෙනි. කිසිදු විකල්පයක් නැතත්, තම පැවැත්ම සඳහා අනෙකෙකු අවශ්‍ය බැවින් මාක්ස්වාදීහු මෙම පන්තිය සතුරකු ලෙස අර්ථකථනය කරගන්නා අතර සතුරුභාවය නඩත්තු කිරීම වෙනුවෙන් ලාභය, වෙළඳාම, වෙළඳපොළ, හිමිකාරිත්වය ආදිය කෙරෙහි ද පිළිකුලක් නිර්මාණය කරති.
වර්තමානය වන විට මෙම දැක්ම ලංකාවේ රාජ්‍යය අත්පත් කරගෙන සිටින රජයෙන් යැපෙන මධ්‍යම පන්තියේ පහළ ස්ථරවල අධිපති දෘෂ්ටිවාදයයි. මධ්‍යම පන්තියේ බහුතරය මාක්ස්වාදයට විරුද්ධ වුණත්, සමස්තයක් ලෙස ඔවුන්ගේ පන්ති දෘෂ්ටිවාදය හා රාජ්‍ය දැක්ම නිර්මාණය වන්නේ එකී පදනමෙනි. එනම්, කම්කරුවන්ට මෙන් ම ව්‍යවසායකයන්ට ද විරුද්ධ රාජ්‍ය මූලික, මධ්‍යම පන්තික හිතවාදී දෘෂ්ටියකිනි. රජයෙන් යැපෙන දේශපාලකයන්ගේ සිට නිලධාරීන් හරහා රාජ්‍ය සේවකයන් දක්වා වන මෙකී මධ්‍යම පන්තියේ ඉහළ කොටස් ව්‍යවසායකයන්ට හිතවාදී බවක් පෙන්වති. පහළ කොටස් කම්කරුවන්ට හිතවාදී බවක් පෙන්වති. එහෙත්, මේ දෙකම ව්‍යාජ ය. ඔවුන් කරන්නේ මෙම දෙපාර්ශ්වය ම සූරාකමින් මධ්‍යම පන්තික රාජ්‍යයක් පෝෂණය කරමින් නඩත්තු කිරීමයි. වෙනස්කම් තිබුණත්, එය එකම සූරාකන පන්තියකි. ලංකාව වැනි සුවිසල් රාජ්‍ය ආධිපත්‍යයක් සහිත රටවල වත්මන් සමාජ ගැටලු බොහොමයකට හේතුව රජයයි. ගැටලුවට විසඳුම තිබෙන්නේ මෙම රාජ්‍ය ක්‍රමය වෙනස් කිරීම තුළයි. ඒ සඳහා රාජ්‍යය තුළ මධ්‍යම පන්තික ආධිපත්‍යය බිඳ දමා ව්‍යවසායක හා කම්කරු ආධිපත්‍යය ඉහළ නැංවිය යුතු ය. අපගේ අවධානය එහිදී වැඩිපුර යොමු වන්නේ කම්කරු ආධිපත්‍යය ඉහළ නැංවීම කෙරෙහි ය.
ලංකාවේ සමාජය වෙනස් කිරීමේ සැබෑ විභවය තිබෙන්නේ කම්කරුවන්ට හා ව්‍යවසායකයන්ට ය. සමාජය මීට වඩා යහපත් අන්දමින් වෙනස් කිරීමට නම්, රජයෙන් යැපෙන මධ්‍යම පන්තිකයන්ගේ පන්තිමය, මතවාදීමය ආධිපත්‍යයට යට වූ වත්මන් ක්‍රමය වෙනස් කළ යුතු ය. ඒ සඳහා කම්කරුවන් මෙන් ම ව්‍යවසායකයන් ද ශක්තිමත් කළ යුතු ය.
වත්මන් යථාර්ථය විග්‍රහ කර තිබෙන මධ්‍යම පන්තික ආඛ්‍යානය හඳුනාගැනීම සහ ඒ වෙනුවට අලුත් ආඛ්‍යානයක් නිර්මාණය කිරීම තමයි අපේ ව්‍යායාමය.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)