2020-03-17

ආසාදිතයන් හිංසාවට, පීඩාවට, ලජ්ජාවට පත්වීම වළක්වන්න

මා සෞඛ්‍ය විශේෂඥයකු නොවන නිසා ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යාප්තිය කෙතරම් පාලනය කරගෙන තිබේ ද, මේ අවස්ථාවේ රජය ගත යුතු නිශ්චිත පියවර මොනවා ද යන්න කියන්නට නොදනිමි. එහෙත්, මාධ්‍යකරුවකු හා සමාජ ක්‍රියාකාරිකයකු ලෙස මා දකින පහත නිරීක්ෂණ සැමගේ අවධානයට යොමු කරමි.
Translations
කොවිඩ්-19 ආසාදනය යනු ඩෙංගු වැනි වෙනත් වයිරස් ආසාදන මෙන් ම වේදනාකාරී අත්දැකීමකි. එය ආසාදනය වන ශක්තිවන්තයන් වැඩිදෙනෙකු එතරම් සංකුලතාවලට මුහුණ නොදී සුවය ලබන බව පෙනේ. බෝ නොවන රෝග ඇති අය, ශ්වසන ආබාධ ඇති අය, ප්‍රතිශක්තියෙහි ගැටලු ඇති අය හා වැඩිහිටියන් එහිදී ද වැඩි අවදානමකට ලක්වන බව පෙනේ. එහි විශේෂත්වය ඇත්තේ එය ව්‍යාප්ත වීමේ වේගයෙහි ය.
ලංකාවේ දැනට වාර්තා වී තිබෙන රෝගීන් සංඛ්‍යාව අනුව, මරණයක් ද වාර්තා වීමට සම්භාවිතාව තිබේ. එය වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ උපරිම උත්සාහ කරනවා ඇත. මරණයක් වාර්තා වීම සමාජයේ ආත්ම ශක්තියට බලපානු ඇත. එහෙත්, එය කලබල විය යුතු ව්‍යසනකාරී තත්වයක් නොවේ.
මෙහිදී සමාජයටත් වඩා කලබල නොවී සිටිය යුත්තේ රජයයි. තීරණ ගන්නා විට සියලු පැති සැලකිල්ලට ගැනීම මෙන් ම, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ද වැදගත් ය. මේ වන විට ආසාදනය පිළිබඳ ඇති තරම් දැනුවත් කිරීම් සිදුවෙමින් තිබේ. එහෙත්, මෙහි සමාජ බලපෑම තවමත් අඳුරු කලාපයකි. කොරෝනා හමුවේ ආර්ථිකය මුහුණ දී තිබෙන තත්වයන් පිළිබඳව ද සමාජය විවෘතව සාකච්ඡා කළ යුතු ය.
ලොව දියුණු රටවල් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග හැම එකක් ම අනුගමනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට නැත. විශේෂයෙන් ම මේ අවස්ථාවේදී සමාජ මාධ්‍යවලින් මතු කරනු ලබන රට ම වසාදැමීම වැනි ක්‍රියාමාර්ගවල දීර්ඝකාලීන බලපෑම පිළිබඳ සැලකිල්ලකින් තොරව හදිසි ක්‍රියාමාර්ග ගැනීම පසුකාලීනව සාගතයක් පවා ඇතිකරන්නට ඉඩ තිබේ.
ලංකාවේ පෞද්ගලික අංශය කඩාවැටුණොත්, ඔවුන් උපයන මුදලින් කා බී සතුටින් සිටින රජයේ හා ආණ්ඩුවේ පිරිස්වලටත් එහි විපාක භුක්ති විඳීමට සිදු වනු ඇත. එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවත් වන අවිධිමත් අංශයේ කම්කරුවන්ට, සුළු වෙළඳුන් වැනි අයට දැනටමත් මෙම අර්බුදයේ බලපෑම දැනී හමාර බව ආණ්ඩුව අවබෝධ කරගත යුතු ය. මුළු රට ම වසා දමනවා නම්, එවැනි මිනිසුන්ගේ ජීවිත රැකගැනීමට ද විකල්ප රජයට තිබිය යුතු ය. එහෙත්, අපට වැටහෙන පරිදි නම්, රජයට එසේ කිරීමේ ආර්ථික ශක්තිය නැත.
මේ මොහොතේ රටට ඉතා වැදගත් වන්නේ මුදල් ඉතිරි කරගැනීම ය. විශාල මුදල් නාස්තියක් සිදුවීමට ඉඩ තිබෙන වැඩකට දැනටමත් ආණ්ඩුව පියවර ගෙන තිබේ. ඒ පාර්ලිමේන්තු මැතිවරණයයි. ඒ සම්බන්ධ තීරණය ගනු ලැබුවේ නවකොරෝනා වයිරසය දොරට තට්ටු කරමින් සිටින සමයක ඉතාම අදූරදර්ශීයව ය. මෙම අර්බුද අවස්ථාවේ පෝස්ටර් ගැසීම, වාහන සංදර්ශන පැවැත්වීම වැනි ක්‍රියා මගින් රටට අහිමි වන්නේ අත්‍යවශ්‍ය ජාතික ධනයයි.
මහජනතාව පැත්තෙන් ද නවකොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් තරම් සහයෝගයක් ලැබෙන බව නොපෙනේ. එහෙත්, මිනිසුන් ආසාදිතබව සඟවා ගැනීමට උත්සාහ කරන්නේ ඇයි ද යන්න රජය බරපතල ලෙස සැලකිල්ලට ගෙන ඇති බවක් නොපෙනේ. එයට මූලික හේතුව වන්නේ රජයේ නිරෝධායන වැඩසටහන ගැන විශ්වාසයක් නැතිකමයි. පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූ අවස්ථාවේවත් රජය දුරදිග බලා නිරෝධායනයට සූදානම් කිරීම් සිදු කළා නම් මෙසේ වන්නේ නැත. නිරෝධායනය ආරම්භ වන විට අශ්වයා ඉස්තාලයෙන් පැනගොසිනි.
පටු ජනප්‍රියත්වය වෙනුවෙන් හැඳල සූදානම් කළ නිරෝධායන මධ්‍යස්ථානය වසා දමා කන්දකාඩු වැනි දුරබැහැර ප්‍රදේශවල හදිසියේ නිරෝධායන මධ්‍යස්ථාන විවෘත කිරීමේ සිට ගැටලු රැසක් පැනනැගිණි. ගුවන් තොටුපළේ සිට විදේශවල සිට පැමිණි පුද්ගලයන් බාහිර පුද්ගලයන්ට අතට අත දෙමින්, රණ්ඩු වෙමින් යන හැටි ද, ගිහින් එම ස්ථාන විවේචනය කරමින් වීඩියෝ ප්‍රචාරය කළ හැටි ද, එමගින් සෙසු අය එම ස්ථානවලට යන්නට මැලි වූ හැටි ද, ඇතැමෙකු පළාගොස් ඇති බව ද වාර්තා විය.
Translations by Creative Content Consultants
මේ වන විට ද ආසාදිතයන් සමාජ වෛරයට, හිංසනයට, ලජ්ජාවට පත්කිරීමට ලක්වීමේ බරපතල ගැටලුවක් තිබේ. ඔවුන් පිළිබඳ මාධ්‍ය වාර්තා කරන ආකාරය පමණක් නොව, ඇතැම් රාජ්‍ය නිලධාරීන් පවා අදහස් පළ කරන ආකාරය හිංසාකාරී ය. මෙහි තිබෙන භයානක ම තත්වය වන්නේ ආසාදිතයන් තම ගැටලුව සඟවාගැනීමට උත්සාහ කිරීම, වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ප්‍රමාද කිරීම සහ එමගින් එය තවත් අයට පැතිරීමයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම ඔබේ වරදක් නොවේ. එබැවින් සැඟවී නොසිට ප්‍රතිකාර ගැනීමට ඔබ යොමු විය යුතු ය. යමෙකු ආසාදිතයකු හිංසනයට, පීඩාවට, ලජ්ජාවට ලක්කරන්නේ නම්, එම පුද්ගලයා කරන්නේ බරපතල සමාජ විරෝධී ක්‍රියාවකි.
ආසාදිතයන් හිංසාවට, පීඩාවට, ලජ්ජාවට ලක්වන අයුරින් සිදුකරන මාධ්‍ය වාර්තාකරනය සහ සමාජ මාධ්‍ය චර්යාවන් නවතා දැමිය යුතු ය.