ගල් ටයරය, අන්තරය හා පෙරටුගාමිත්වය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පඩි පෙළකින් පහළට තල්ලු කරන ලද ටයරයක් වැදී වැටී හිසට හානි සිදු වීමෙන් නවක සිසුවෙක් අසාධ්‍ය තත්යවයට පත් වී සිටියි.
විශ්වවිද්‍යාල සිසුන් යනු ළමයින් නොවේ. තරුණයන් ය. ඔවුන් අතර කලහ, දඟකාරකම් සහ අපරීක්ෂාකාරිත්වය නිසා මෙවැනි අනතුරු සිදු විය හැකි ය. විශ්වවිද්‍යාලයට එන්නේ නිසි අධ්‍යාපනයක් ලද, ශික්ෂිත ශිෂ්‍ය පිරිසක් නොවේ. ලංකාවේ ටියුෂන් කර්මාන්තය හෝ එහි අනුබද්ධයක් වන පාසල් අධ්‍යාපන පද්ධතිය විසින් ළමයින්ට නිසි අධ්‍යාපනයක් හෝ ශික්ෂණයක් ලබාදෙන්නේ නැත. ඔවුන් වෙතින් සමාජයේ අනෙකුත් පිරිස් වෙතින්, විශේෂයෙන් ම ගුරුවරුන් වෙතින් පැතිය නොහැකි තත්වයක් බලාපොරොත්තු වීම අර්ථ විරහිත ය.
මෙම සිදුවීම ඍජුවම නොවුණත්, වක්‍රව හෝ නවක වධය හා විශ්වවිද්‍යාලවල පසුගාමී උප සංස්කෘතිය සමග සම්බන්ධ ය.
කෙසේ වෙතත්, මෙම කණගාටුදායක සිද්ධියෙන් එක් දෙයක් හෙළිදරව් විය. එනම්, විශ්වවිද්‍යාල සිසුන්ට අරගල සඳහා නායකත්වය දෙන දේශපාලන ව්‍යාපාර නම් තවමත් සිටින්නේ ළමා අවධියේ බවයි.
මෙබඳු සිද්ධියකදී දේශපාලනික දේශපාලන ව්‍යාපාරයක් හෝ වෙනත් ඕනෑම වෘත්තිකමය සංවිධානයක් හෝ පුවත්පත් සාකච්ඡාවක් පවත්වනවා නම් එහිදී කිව යුත්තේ සිදුවීම පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බව, විධිමත්, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සහ වැරදිකරුවන් සම්බන්ධයෙන් රටේ පවත්නා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
මෙවැනි වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මහා ගැටලුවක් නොවේ. දුර දිග නොබලා කරන මෙවැනි වැරදි සම්බන්ධයෙන් කළ යුතුව තිබෙන්නේ අධිකරණය ඉදිරියට පැමිණ ඇත්ත පවසා සමාව අයැද සිටීමයි. එවැනි අවස්ථාවලදී, විශේෂයෙන් ම සැකකරුවන් සිංහල නම්, අධිකරණය සාමාන්‍යයෙන් නම් සානුකම්පිතව කටයුතු කරයි. වරදක් වුණා නම් දඬුවම් විඳිය යුතු ය. සිතා හෝ නොසිතා හෝ, නොසැලකිල්ල නිසා හෝ බරපතල වරදකුත් කර, සහෝදර සිසුවකුගේ ජීවිතය ද අනතුරේ හෙළා, නීතිය ද ක්‍රියාත්මක නොකළ යුතු යයි ද ඉල්ලා සිටීම කිසිදු තත්වයක් තුළ නොකළ යුත්තකි.
මෙවැනි වැරදි බොහෝ අය අතින් සිදු විය හැකි ය. එහෙයින්, මෙම කරුණ දෙස සානුකම්පිතව බැලිය යුතු ය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවක් නොපැවැත්විය යුතුව තිබිණි. ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් කරන ලෙස නිවේදනයක් නිකුත් කළ හැකි විය. ඔවුන් මාධ්‍ය හමුවට ඉදිරිපත් කරන සිසුන්ගේ පෞරුෂයන් විසින් කරනු ලබන සන්නිවේදනය ගැන ද ඔවුන් අවධානය යොමු කළ යුතු ය. ඔවුන්ට නායකත්වය දිය යුතු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදීන් බොරු ශිෂ්‍ය මර්දනයක් ගැන කතා කරමින් ඔවුන්ටත් වඩා ළාමක දරුවන් ලෙස හැසිරීම කණගාටුදායක ය.
සමස්තයක් ලෙස ගත් කල, මෙම සිද්ධිය විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ, ශිෂ්‍ය ව්‍යාපාරයේ පමණක් නොව, වාමාංශික ව්‍යාපාරයේ ම පසුගාමිත්වය නිරූපණය කරන කැඩපතක් විය.