සියලු සෞඛ්‍ය සේවකයන් රැකගැනීම සමාජ වගකීමකි

සෞඛ්‍ය සේවකයන් කරන රැකියා කොරෝනා වයිරසය පැතිරීම අබිමුව වෙනදාට වඩා වැදගත්කමකින් යුක්ත ය. එහෙයින්, ඔවුන් රැකගැනීම, ඔවුන්ට උපකාර කිරීම හා ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම මේ මොහොතේ සමාජ වගකීමකි.
සෞඛ්‍ය සේවකයන් යම් දුරකට කොරෝනා වාහකයන් විය හැකි බව ඇත්තකි. ඒ නිසා ඔවුන්ට ආරක්ෂක උපකරණ සැපයීම හදිසි අවශ්‍යතාවකි. මේ වන විට, හදිසි කොරෝනා වසංගත තත්වයක් කළමනාකරණය කරගැනීම සඳහා රෝහල්වල සූදානම් කිරීම් සිදුවෙමින් තිබේ.
එහෙත්, ඔවුන් සේවය අවසන් කර නිවෙස්වලට, නවාතැන්වලට යා යුතු ය. ඔවුන් මහමගදී, පොදු ප්‍රවාහනයේදී සහ වාසස්ථාන අවටදී වෙනස්කම් කිරීම්වලට භාජනය නොවී ආරක්ෂා කරගැනීම හා එවැනි දේ කරන අයට එරෙහිව නීති ප්‍රකාරව දැඩිව කටයුතු කිරීම රජයේ වගකීමකි.
රෝහල් සේවකයන්ට මේ මොහොතේ සිට ම, ඇඳිරි නීති තිබුණත්, නැතත්, ප්‍රවාහන පහසුකම් සැපයිය යුතු ය. ඍජුව කොරෝනා රෝගීන්ට සත්කාර කරන සෞඛ්‍ය සේවකයන්ට හා ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය නම්, රෝහල් අවටින් නවාතැන් පහසුකම් සැපයිය යුතු ය. වෙන රටවල ඒවා සිදු කරනු ලැබේ.
දීර්ඝ සේවා මුරවල යෙදෙන සේවකයන්ට ආහාර පාන සැපයීම වෙනුවෙන් රජය මුදල් වෙන් කළ යුතු ය. දැනට එසේ ආහාර සපයන්නේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලවලට පමණි.
එසේම, සෞඛ්‍ය සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන සේවකයන්ට භාණ්ඩ හා ඉන්ධන ලබාගැනීමේදී පහසුවක් සිදු කළ යුතු ය. එංගලන්තයේ වෛද්‍යවරයකු අප සමග පැවසුවේ එරට සුපිරි වෙළඳසල් හා ඉන්ධනහල් ආදියෙහි ඒ සඳහා වෙනම වේලාවන් වෙන් කර තිබෙන බවයි.
සේවය අතරතුරදී රෝහල් සේවකයන් උපරිමයෙන් ආරක්ෂා කරගත යුතු ය. ඔවුන් නිරාවරණය වීම වැළැක්වීමේ වැදගත්කම පිළිබඳ රාගම රෝහලෙන් උගත් පාඩම භාවිතා කළ යුතු ය. රෝගී තත්වය සඟවාගෙන පපුවේ වේදනාවක් වෙනුවෙන් ප්‍රතිකාර ගත් බව කියන රෝගියා විසින් විශේෂඥ වෛද්‍යවරයකු, වාට්ටුවක හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයක් ම ස්වයං නිරෝධායනයට යොමු කරන ලදී. එම පුද්ගලයන් අතින් තවත් විශාල පිරිසක් වයිරසයට නිරාවරණය වී තිබේ. නිදසුනක් ලෙස අදාළ වෛද්‍යවරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන කීපයක ප්‍රතිකාර කිරීමට අමතරව රූපවාහිනී වැඩසටහනකට ද සහභාගි වී තිබේ. දැන් ඒ සියල්ලන් ම පාහේ ස්වයං නිරෝධායනයට ලක් කරන්නට සිදු වී තිබේ.
සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසක් මෙසේ වයිරසයට නිරාවරණය වුවහොත්, එමගින් සෞඛ්‍ය පද්ධතියේ විශාල හිදැසක් ඇති කරනු ඇත. එය පිරිමැසිය හැකි අඩුපාඩුවක් නොවේ. එබැවින් රජය පමණක් නොව, මහජනයා ද වගකීමෙන් යුතුව හැසිරියයුතු ය.
සෞඛ්‍ය සේවකයන් යයි කී විට, අපට සිහියට එන්නේ වෛද්‍යවරුන්, හෙදියන් වැනි අය පමණක් වුව ද, අධික අවදානමකට ලක් වන තවත් පිරිස් සිටිති. ඒ අතරින්, සනීපාරක්ෂක සේවකයන් විශේෂ ය. බොහෝ රෝහල්වල මෙම කාර්ය මණ්ඩල බාහිර සමාගම්වලින් ලබාගන්නා ලද, අඩු පඩියට වැඩ කරන, අයහපත් සේවා කොන්දේසිවලට යටත් කරගෙන සිටින පිරිසකි. මේ මොහොතේ ඔවුන් ගැන විශේෂයෙන් සොයා නොබලන්නේ නම්, තත්වය පාලනය කරගත නොහැකි වනු ඇත.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා