2020-03-15

කොරෝනා කාලේ ආලේ

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත 2020 මාර්තු 15

මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරස් ආසාදිත ශ්‍රී ලාංකිකයන් හමු වීම ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේදී පළමුව වයිරසය ආසාදිත බව තහවුරු වූ පුද්ගලයා ඉතාලි සංචාරක පිරිසකට සේවා සැපයූ සංචාරක මාර්ගෝපදේශකවරයෙකි.
කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේ සිට එන පුද්ගලයන් දින 14ක අනිවාර්ය නිරෝධායනයක් වෙත යොමු කිරීමට රජය තීරණය කර තිබේ. ආපසු එන ලාංකිකයන් නිරෝධායනයට විරෝධය පළ කරති. නිරෝධායනයට යාමට පෙර පිටත සිටින පුද්ගලයන්ට අතට අත පවා දෙන හැටි රූපගත වී තිබිණි. අතට අත දීම කොරෝනා බෝ වන ප්‍රධාන ආකාරයකි. ඇතැමෙකු ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල සමග රණ්ඩු වෙති. ඇතැමෙකු පළා යන බව ද කියැවේ.
මේ අතර, රටේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ප්‍රමුඛතාව දී තිබෙන්නේ මහ මැතිවරණ නාමයෝජනාවලට ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීමට ද, එජාපයේ සජිත් පිල හා රනිල් පිල එකිනෙකා පරාජය කිරීමට ද අවධානය යොමු කර තිබේ. රටේ ආණ්ඩුවක් තිබේ ද යන්න පැහැදිලි නැත.
මේ අතර, කොවිඩ්-19 වයිරසය සම්බන්ධ නිරෝධායන කටයුතු භාර දී තිබෙන්නේ සෞඛ්‍ය අංශවලට නොව, යුද හමුදාවට ය. නිරෝධායන මධ්‍යස්ථාන පිහිටා තිබෙන්නේ කටුනායක ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් සිය ගණනක් දුරින් ඈත නැගෙනහිර පැත්තේ ය. එම ස්ථානවල පහසුකම් අවම ය. නිරෝධායනය කෙසේ වෙතත්, එම ස්ථානවල රෝගියකු සිටියහොත්, එම රෝගියා විසින් තවත් විශාල පිරිසකට පහසුවෙන් වයිරසය බෝ කරනු ඇත.
ආණ්ඩුවත්, ලාංකික අපිත් නිරෝධායනය විහිළුවක් බවට පත් කරමින් සිටිමු. මේ දිනවල රට පුරා ඇති අධික උෂ්ණ කාලගුණය නිසා සොබා දහම අපට යම් ආරක්ෂාවක් ලබා දී ඇතත්, වසංගත තත්වයකට මුහුණ දීමට අප සූදානම් නැති බව පැහැදිලි ය.
මේ අතර, මාධ්‍ය විසින් කොරෝනා බිය බෙදාහරිමින් තිබේ. ලෝක මට්ටමෙන් ම මාධ්‍ය චර්යාවන්ගේ ගැටලුවක් තිබේ. ඕස්ට්‍රේලියාවේ වෙළඳසලකදී කාන්තාවන් පිරිසක් වැසිකිළි කඩදාසිවලට රණ්ඩු වන ආකාරය ලොව පුරා ප්‍රචාරය විය. එය ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය තත්වය යයි ලංකාවේ අපට පමණක් නොව, ඕස්ට්‍රේලියාවේ මිනිසුන්ට පවා සිතෙනු ඇත. මිනිසුන් තව තවත් කලබලයට පත් වනු ඇත. වැසිකිළි කඩදාසි තව තවත් හිඟ වනු ඇත. ගෙවල්වල වැසිකිලි කඩදාසි අට්ටි ගසාගෙන තිබිය හැකි ය. කොරෝනා බිය නිසා වැසිකිළි යාම කිහිප ගුණයකින් වැඩි වන්නේ නැත.
කොවිඩ්-19 වයිරසයේ බලපෑම පාලනය කිරීමට ලංකාව වැනි බනානා රාජ්‍යවලට ඇති හැකියාව බරපතල අන්දමින් සැක සහිත ය. නිදහස්කාමී, ලිබරල් රාජ්‍යයන් වන ඉතාලිය, ඕස්ට්‍රේලියාව වැනි රටවලට කොරෝනා විනය ඇති කරගැනීමට එක රැල්ලක් යන තුරු කල් ගත වන බව පෙනේ. එහෙත්, චීනය, සිංගප්පූරුව වැනි දැඩි පාලනයන් සහිත රටවල් තත්වය පාලනය කරගන්නට විධිමත් උත්සාහයන් දරනු දැකිය හැකි ය. චීනය ඒ වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය, තොරතුරු තාක්ෂණය, ජංගම දුරකථන හා සමාජ මාධ්‍යවල මහා දත්ත හෙවත් බිග් ඩේටා පමණක් නොව සීසීටීවී කැමරා පවා උපයෝගී කරගනිති. කොරෝනා වයිරසය මුවාවෙන් දේශපාලන මර්දනය තියුණු කරන ඇතැමෙක් චීන රජයට චෝදනා කරති.
කොරෝනා වයිරසය විසින් ලෝක ආර්ථිකයට කරන බලපෑම සුළුපටු නොවේ. තෙල් මිළ පහත වැටීම ලෝක ආර්ථික ක්‍රියාකාරකම් බිඳවැටීමේ සංඥාවකි. චීනයට හෙම්බිරිස්සාව හැදෙන විට අපට නිව්මෝනියාව වැළඳේ නම් චීනයට නිව්මෝනියාව වැළඳෙන විට අපට කුමක් වනු ඇද්ද? කොරෝනා වයිරසයේ බලපෑමෙන් පසු ලෝකය තුළ ලංකාව ගැන පුරෝකථනය කිරීමට තවමත් කල් වැඩි ය. ලංකාවට කොරෝනා රැගෙන ආවේ චීනයෙන්, ඉතාලියෙන් ආ සංචාරකයන් ය. සංචාරක කර්මාන්තය අපට කොයි තරම් වැදගත් ද? අපේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය විදේශ රැකියා ය. ඇඟලුම්, තේ, රබර්, පොල්, සුළු අපනයන බෝග වැනි මේ සියල්ලට ම විදේශ වෙළඳපොළ වැදගත් ය. අපි ආර්ථික වශයෙන් ලෝකයත් සමග දැඩිව බැඳී සිටින්නෙමු.
නිරෝධායනයට ලක්කරනු ලබන වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා විදේශ රැකියාවලට ගිය ‘රටවිරුවන්’ බව ද රජය අමතක නොකළ යුතු ය. අප ඔවුන්ට මානුෂික ලෙස සැලකිය යුතු ය. එසේම, නිරෝධායනයට ලක්වන්නන් ද නිරෝධායනය තම වගකීමක් ලෙස සැලකිය යුතු ය. ලංකාව වැනි මෘදු අරාජිකත්වයක පවතින රාජ්‍යයක ආණ්ඩුවලින් හෝ රජයෙන් ඉබි පිහාටු පතා වැඩක් නැත. කොරෝනා වසංගතයෙන් ගොඩ එන්නට අපට හැකි වන්නේ අප අපගේ ම ශක්තියෙනි. පුරවැසියන්ට ආදරය කිරීමට සිදුවන්නේ පුරවැසියන්ට ම ය. මහා දේවල් නොකළාට පුංචි දේවල් වෙනස් කරගැනීමෙන් අපට සමාජ විප්ලවයකට මුල පිරිය හැකි ය.