පළමු කොවිඩ්-19 රෝගියාගේ කතාව හා අප උගත යුතු පාඩම්

ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ්-19 රෝගියා වන ජයන්ත රණසිංහ මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොසිනි. ඔහු තව දින 21ක් ස්වයං නිරෝධානයනට ලක්වනු ඇත.
ඔහු මත්තෙගොඩ පැරණි පදිංචිකරුවෙකි. ඔහුගේ පියා මෙන් ම සීයා ද එහි ජීවත් වී තිබේ. එහෙත්, ඔහු කොවිඩ්-19 රෝගියකු බව දැනගත් විට ගෙදරට ගල්ගහන්නට, පන්නා දමන්නට පවා ඇතැම් අසල්වැසියන් කතා වී තිබේ. ලංකාවේ එහෙම අයත් සිටිති.

Translations by Creative Content Consultants
එහෙත්, ඔවුන් වෙනුවෙන් බොහෝ අය කතා කළ බව ජයන්ත රණසිංහ පවසයි. එහිදී කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විශේෂ සේවාවක් ඉටු කර තිබේ. ඔවුන් මහජනතාවට කරුණු පැහැදිලි කර දී තිබෙන අතර ජයන්ත රෝහල්ගත කළ දින සිට ඔහුගේ පවුලේ සහ නිවසේ අවශ්‍යතා සොයා බලා ඇත.
ජයන්ත රණසිංහට කොවිඩ්-19 වැළඳුණ ආකාරය වැදගත් ය. ඔහු පසුගිය පෙබරවාරි අග සිට මාර්තු මුල දක්වා ඉතාලි ජාතික සංචාරක කණ්ඩායම් තුනකට සේවා සපයා තිබේ. ඔවුන් දින හයක් ලංකාවේ සිට මාලදිවයිනට යන අයයි. ගුවන් තොටුපළෙන් ඔවුන් රැගෙන දඹුල්ලට ගොස් අමායා හෝටලයේ දින තුනක් නතරව හිඳිමින්, පොළොන්නරුව, දඹුල්ල බලා මහනුවරට ගොස් එතැනින් ගුවන් තොටුපළ හරහා මාලදිවයින බලා යාම මෙම සංචාරක ගමන් මාර්ගයයි.
කුමන ඉතාලි සංචාරක කණ්ඩායමෙන් තමන්ට කොවිඩ්-19 වැළඳුණාදැයි ජයන්තට සහතික නැත. දෙවන කණ්ඩායමේ අසනීප අයෙකු සිටියත්, එම පුද්ගලයා පැමිණිලි කර තිබෙන්නේ කොන්දේ වේදනාවක් ගැනයි. ඇතැම් විට ඔහුට කොවිඩ්-19 වැළඳෙන්නට ඇත්තේ සම්පූර්ණයෙන් ම වෙනස් අයෙකුගෙන් විය හැකි ය.
උගුරේ අමාරුව නිසා දඹුල්ලේදී ඔහු බලන වෛද්‍යවරයකු සෙම්ගෙඩිවලට ප්‍රතිජීවක නියම කරයි. මහනුවරදී හොඳටම අමාරු වී උණගෙන සිටියදීත්, ඔහු වෙනුවෙන් ඉතාලි බස කතා කරන සංචාරක මගපෙන්වන්නකු එවන්නට නොමැති නිසා ඔහුට ම සංචාරය සම්පූර්ණ කරන්නට සිදු වන බව ඔහු සේවා සපයන සංචාරක සේවා සමාගම පවසයි. සංචාරකයන් මග දමා එන්නට බැරි නිසා ඔහු ඉතා අපහසුවෙන් සංචාරය හමාර කරයි. ඔහු තවත් අමාරුවේ දමමින් සංචාරකයන් උදේ මාලදිවයින බලා යන්නට සිටි ගුවන් ගමන හවසට යෙදේ.
ඔහු කටුනායක සිට ආපසු නිවසට වාහනය පදවාගෙන එන්නේ ඉතා අමාරුවෙනි. ගෙදරට ගොඩ නොවන ඔහු වෑන් රිය නවත්වා ගෙදර තිබූ ඔවුන්ගේ කාරයේ පසුපස ආසනයේ වැතිරෙයි. ඔහුගේ බිරිඳ ඔහු පවුලේ වෛද්‍යවරයා වෙත රැගෙන යයි. එම වෛද්‍යවරයා රෝගය හඳුනාගෙන ඔහු ජාතික බෝවෙන රෝග ආයතනය හෙවත් අයි.ඩී.එච්. වෙත යොමු කරයි.
එහිදී ඔහු කොවිඩ්-19 සඳහා පොසිටිව් බව හඳුනාගෙන ප්‍රතිකාර කරයි. ඔහුට රෝහල මගින් සියලු පහසුකම් ලබා දුන් බව ද, ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන වෛද්‍යවරුන්, හෙදියන් ඔහු අසලට පැමිණ ප්‍රතිකාර කළ බව ද ඔහු පවසයි. එම ඇඳුම් සියල්ල භාවිතයෙන් පසු ඉවත දමන බව ද, ඒවා ගලවන විට වෛද්‍යවරුන් දහදියෙන් නෑවී සිටිනු තමා දුටු බව ද ඔහු පවසයි. වරක් ඔහුට හොඳටම අමාරු වී තිබේ. හුස්ම ගැනීමේ අමාරුව, ඇඳෙන් නැගිට ඇවිද යන්නට බැරි තරම් අමාරුව සහ කිසිවක් ගිලින්නට බැරිකම දින කීපයක් තිබූ බව ඔහු කියයි.
මේ අතර ඔහුගේ දුරකථන අංකය සොයා ගත් නාඳුනන යුවලක් ඔහුට කතා කර, ඔහුගේ සිත සනසා ඔහු වීරසූරියකන්දේ පාලත ධම්ම නම් භික්ෂුවක් සමග සම්බන්ධ කළ බවද එම භික්ෂුවගේ උපදෙස් මත කළ භාවනා තමාට ශක්තියක් වූ බව ද ඔහු පවසයි.
ජයන්ත රණසිංහ රෝහලට ගෙන යන විට බිරිඳ රිය පදවන අතර ඔහුගේ පුතා ඉදිරිපස අසුනේ වාඩි වී ගොස් තිබේ. කෙසේ වෙතත්, පවුලේ අයට රෝගය බෝ වී නැත. ආනන්ද විද්‍යාලයේ කලබැගෑනියක් ඇති වුණේ මෙම දරුවා නිසා ය.
කෙසේ වෙතත්, ලංකාවෙන් මාලදිවයින බලා ගිය ඉතාලි සංචාරක පිරිසට කුමක් වූවා ද යන්න ජයන්ත රණසිංහ දන්නේ නැත.
ජයන්ත තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකා පොලිසියේ සේවය කර, ඉන් පසු ඉතාලියේ අවුරුදු 14ක් රැකියාව කර තිබේ. ඔහු විවාහ වන්නේ සහ ඔහුගේ දියණිය සහ පුතු ලැබෙන්නේ ද ඉතාලියේදී ය. එරට සෞඛ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට වඩා ඉතා දියුණු බව ඔහු පවසයි. එහෙත්, ඉතාලියට කොවිඩ්-19පාලනය කරගත නොහැකි විය. ආපසු ලංකාවට පැමිණීමෙන් පසු ඔහු සිය වෑන් රියේ ඉතාලි ජාතිකයන්ට ඉතාලි බස කතා කරමින් සංචාරක මාර්ගෝපදේශනය සපයයි. ඔහු අවුරුදු 20ක පළපුරුද්ද ඇති සංචාරක මගපෙන්වන්නෙකි.
ඔහු ඉතිහාසගත වූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවන ආකාරයටයි. එහෙත්, ඔහු අපේ ම මිනිසෙකි. රටට අතිශය වැදගත් රැකියාවක නියැලුණ, රටට ආදරය කළ අයෙකි. ඔහු අසනීප වූයේ ඔහුගේ වරදක් නිසා නොවේ. නිසි වේලාවට ප්‍රතිකාර වෙත යොමුවන්නට ඔහුට ඉඩ නොලැබුණේ රැකියාව නිසා ය. එහෙත්, එමගින් වයිරසය පැතිරිණි. ඔහුගේ කතාවෙන් සමාජයට ඉගෙන ගන්නට බොහෝ දේ තිබේ.
ඡායාරූපය ඔහුගේ ෆේස්බුක් පිටුවෙනි.

Adapted from praja.lk

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)