2019-12-02

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දේශපාලනික වශයෙන් නැවත උපදින බව පවසයි. ඇත්තට ම ඔහු නැවත ඉපදිය යුතු ය. මන්ද, ඔහු මියගිය දේශපාලනික සත්වයෙකි.
ඔහුගේ මරණය එක්තරා ආකාරයකට අනුකම්පා සහගත ජීවියකුට උගුලක පැටලී මියෙන්නට හැරීම වැනි ය.
ඔහු වනාහි 62 ලක්ෂයක ජනතාවකගේ ප්‍රජාතාන්ත්‍රික බලාපොරොත්තු විනාශ කිරීමට මුල් වූ පුද්ගලයා ය. දෙවෙනියා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ය. මේ දෙදෙනා අතර ඇති වූ පෞරුෂ හා දේශපාලන ගැටුම පසුගිය රජයේ අසාර්ථකත්වයට මූලික හේතුව වූ අතර අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන අංශක 180ක කරණමක් ගසා ඔහු විසින් පරාජය කරන ලද පසුගාමිත්වය සමග එක්වූයේ ය. ඒ වන විට ඔහු 2015දී පෙනී සිටි දේශපාලන අරමුණු සියල්ල පාවා දී තිබිණි.
කෙසේ වෙතත්, ඔහුගේ කාලය තුළ ඔහු රටේ මෑත ඉතිහාසයේ බිහි වූ හොඳම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නිර්මාණය කළ බව ඇත්තකි. ඔහුගේ කාලය තුළ රාජ්‍යය බොහෝ දුරට ඝාතන, භීෂණ, පැහැරගෙන යාම්, හිංසන හා අතුරුදහන් කිරීම්වලින් දුරස්ථ වූයේ ය. ඔහු ධුරයෙන් ඉවත් වී සති දෙකක් ගතවන්නටත් පෙර පැහැරගෙන යාම් පිළිබඳ භීතිය යළි පැතිරෙන්නට පටන්ගෙන තිබේ.
ඔහුගේ කාලය තුළ ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ශ්‍රී ලාංකික ජනතාව උස්මුරුත්තාව හදාගත් හ. ඔහු බලයේ සිටි දින දෙදහස් ගණනට වර්ජන හා උද්ඝෝෂණ තුන්දහස් ගණනක් තිබූ බව කියැවේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පොලිසිය සමග සතිපතා වීදි සටන් මෙහෙයවී ය. කොතරම් වැටුප් වැඩි කළත්, රාජ්‍ය සේවකයෝ නිතිපතා වැඩ වර්ජන කළ හ. අවසානයේදී එම බලවේගය ම රට පාලනය කිරීමට නම් ඒකාධිපති පාලනයක් අවශ්‍ය ය යන පදනමේ සිට ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට කටයුතු කළ හ.
මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ විසින් රට පාලනය කරන ලද සමය තුළ බොහෝ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සිදු කරනු ලැබූ මුත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයෙන් ඉවත් වන වකවානුව වන විට ඒ බොහොමයක තිරසරභාවය ප්‍රශ්නාර්ථයක් වී තිබේ.
ඔහු කුමන අන්දමින් දේශපාලනිකව යළි පිබිදෙන්නට අදහස් කරනවා ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත්, මේ වන විට ඔහු නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිහිලිකරුවක්වත් වීමට තරම් වාසනාවන්ත වී නැත. ශ්‍රීලනිපයට සිදු වී ඇත්තේ පොහොට්ටුවෙන් ලැබෙන ඉඳුල් වූ යමක් අහුලා කා සැනසෙන්නට ය. මෛත්‍රීට තියෙන්නේ අල්ලාගෙන ඉන්නට ය. කාලය ගතවෙන්නට ගතවෙන්නට ඔහුගේ ආණ්ඩුවේ අගය ජනතාවට වැටහෙන්නට ඉඩ තිබේ.