හතේ අපේ පොතේ අල්ලපු ගෙදර අංකල්

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 අනිද්දා පුවත්පතේ පළ වන ලිපියකි

හත ශ්‍රේණියේ සිසුන්ට අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක් වී හඳුන්වා දුන් හතේ අපේ පොත නම් ලිංගික අධ්‍යාපනික අතිරේක කියවීම් පොත සම්බන්ධයෙන් මැදගොඩ අභයතිස්ස හිමි විසින් මතු කරන ලද ප්‍රශ්නය හේතුවෙන් සමාජයේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ කතිකාවක් ඇති වී තිබෙනවා. බොහෝදෙනෙකු ඒ හිමියන් ඉතා දරුණු අන්දමින් විවේචනය කරනවා. ඒ හිමියන් මතු කළ කාරණය පිළිබඳ අවධානය යොමු කරන්නේ නැතුවයි එහෙම කරන්නේ. එහෙත්, ඒ හිමියන් තුළ සහ එකී පුවත්පත් සාකච්ඡාවට සහභාගි වූ අනෙකුත් හිමිවරුන් අතර ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සුබවාදී ආකල්ප නැති බවක් ද පෙනෙන්නට තිබෙනවා.
Translations by Creative Content Consultants
ලිංගික අධ්‍යාපනය ගැන කතා කරන විට ‘වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපනය’ කියන සංකල්පය ඉතා වැදගත්. හතේ ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුත්තේ හතේ ළමයින්ට ගැලපෙන්නටයි. මැදගොඩ අභයතිස්ස හිමියන් මෙහිදී උපුටා දක්වන කොටස ඇත්තට ම මෙම පොත ලියූ ලේඛකයන් හා එය අධීක්ෂණය කළ අය අතරින් සිදු වූ වරදක්. මෙන්න එම පිටුව.




අල්ලපු ගෙදර අංකල්
මෙමගින් හතේ ළමයා තුළ ‘අල්ලපු ගෙදර අංකල්’ පිළිබඳ ඇතිකරන්නේ ඉතා වැරදි ආකල්පයක්. අල්ලපු ගෙදර අංකල් මේ අන්දමින් සාමාන්‍යකරණය කරන්නට බැහැ. ලොව කිසිම සමාජ නාමකරණයක් මේ අන්දමින් සාමාන්‍යකරණය කිරීම වැරදියි. එසේම, එමගින් ඇතිවන්නේ නිශේධාත්මක අදහසක්. අපි හැමෝමත් කාගේ හරි, කවදා හරි අල්ලපු ගෙදර අංකල් කෙනෙකු විය හැකියි. අනෙක, මේ අල්ලපු ගෙදර අංකල් සංකල්පය කාමුක වීඩියෝ ෆැන්ටසි සමගත් යම් සම්බන්ධයක් තිබෙන ලිංගික අරුත් ගැබ්වන යෙදුමක්.
මේ අතර සමාජ මාධ්‍යවල රැඩිකල්වාදීන් විශාල පිරිසක් මෙම කාරණයේදී තර්ක කළා ළමා අපචාර වැඩි ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ දන්නා හඳුනන පුද්ගලයින් අතින් නිසා මේ අන්දමින් පරිස්සම් වීමට ළමයින් පෙළඹවීම ඉතා නිවැරදි බව. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම්, කළ යුතුව තිබෙන්නේ වැඩිහිටි සමාජය ඉලක්ක කරගෙන පුළුල් චර්යාත්මක වෙනස්කම් සන්නිවේදනයක් සිදුකිරීම මිස, පියා, සහෝදරයා, මාමා, සීයා, අසල්වැසියා සැක කළ යුතු ය යන ආකල්පය ළමා මනස තුළ ස්ථාපිත කිරීම නෙමෙයි. එය ඉතා භයානක වරදක්. එමගින් ළමා අපචාර, ස්ත්‍රී දූෂණ අවම වේ යයි සිතන්නට බැහැ.
මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නම්. රියදුරන් හා කොන්දොස්තරවරුන් බස්වල වාදනය කරන්නෙ ජරා සිංදු ය කියලා අපි කියනවා. මේක ඇත්ත ද? බස්වලදී අපි ඉතා සුන්දර ගීත වාදනය වෙනවා අහලා තියෙනවා. ඒවා වාදනය කරන්නේත් බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් ම තමයි. එතකොට සියලු බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් බස්වල වාදනය කරන්නේ ජරා සිංදු යයි සාමාන්‍යකරණය කිරීම ඉතා වැරදියි නේද? හොඳ ගීත වාදනය කරන මිනිසුන්ව නොතකාහැරීමක් එහිදී සිදුවෙනවා. නිවැරදි සන්නිවේදනය හා අධ්‍යාපනය කියන්නේ වැරදි කරන මිනිසුන් ගොඩ තුළට හොඳ කරන අයත් ඇද දමා සාමාන්‍යකරණය කර නිශේධාත්මක අදහස් ගොඩනැගීම නෙමෙයි. මෙය සංස්කරණය විය යුතු බරපතල වරදක්.
තවත් උදාහරණයක් තමයි ඔය සුභාවිත ගීත කියන සංකල්පය. මොනවද මේ සුභාවිත ගීත? තමන් ප්‍රබුද්ධ යයි සිතන එක්තරා ස්වෝත්තමවාදී සමාජ කණ්ඩායමක් තමන් රුචි කරන ගීත ප්‍රභේදයක් සෙසු සියලු ගීත ශානරවලට ඉහළින් තැබීම තමයි මෙතනදී සිදුවෙන්නේ. කලාත්මකබව, ගුණාත්මකබව වැනි හේතු මත උස් පහත්කම් පවතින්නට පුළුවන්. හැබැයි, කලා අවකාශය තුළ විවිධ ශානර තිබිය යුතුයි. ඒවා තෝරාගැනීම පුද්ගල රුචිකත්වය මත රඳාපවතින දෙයක්. තමන්ගේ රුචිකත්වය සමාජය මත බලෙන් පටවන්නට බැහැ. හැබැයි, ඒක සියුම්ව කරන එක වැරදියි කියලත් අදහස් කරන්නේ නැහැ.
සුභාවිත ගීතය පිළිබඳ කතාව මෙතෙන්ට ගෙනාවෙ මේ පෙළපොතේ සිදු වී තිබෙන වරද වැනි වැරදි නොදැනම සිදුවන්නට හේතු වන කරුණක් ගැන මතභේදාත්මක අදහසක් ඉදිරිපත් කරන්නටයි.
මේ ලිපිය ලියන මා ස්ත්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය වෙනුවෙන් අරගල කරන්නෙක්. හැබැයි මා ඉතා පැහැදිලිව ම ස්ත්‍රීවාදයට විරුද්ධ කෙනෙක්. මා ස්ත්‍රීවාදය ඉවසන්නේ මිනිස් සමාජ පරිණාමයේ දීර්ඝ ඉතිහාසයක් තුළ සිදු වූ පුරුෂෝත්තමවාදයේ ස්ථාපිත වීම ප්‍රශ්න කරන තාක් පමණයි. භාෂාව තුළ මෙය සිදු වූ ආකාරය ප්‍රශ්න කිරීම මා ඉතා ප්‍රිය කරන දෙයක්. එහෙත්, වර්තමානය වන විට ස්ත්‍රීවාදය ද වෙනත් ඕනෑම වාදයක් මෙන් ආන්තික ස්වෝත්තමවාදයක් බවට ද පත් වී තිබෙනවා. අන්තවාදයන්ගේ පොදු ලක්ෂණයක් වන්නේ සතුරකු පරිකල්පනය කරගැනීම හා සතුරා යක්ෂාරෝපණයයි. මාක්ස්වාදයට නම් ධනපති ක්‍රමය තමයි සතුරා. ඒ වගේ ආන්තික ස්ත්‍රීවාදය විසින් පිරිමියා සතුරකු ලෙස පරිකල්පනය කරනවා. (මේ ආන්තික ස්ත්‍රීවාදී කාන්තාවන් හඳුනාගත හැකි එක් ආකාරයක් තමයි ඔවුන් නිතර ම දෘෂ්ටිවාදීමය වශයෙන් ඔවුන් ප්‍රශ්න කරන පිරිමින්ට පහර දීමට ස්ත්‍රී විරෝධියා යන අරුත දෙන misogynist යන වචනය පාවිච්චි කරනවා. එහෙත් මෙම කාන්තාවන් පුරුෂ විරෝධීන් හෙවත් misandrist ලෙස හඳුනාගත හැකියි.)
ස්ත්‍රීවාදී අන්තවාදීන්ගේ බලපෑමත් පුරුෂෝත්තමවාදයේ බලපෑම වගේ ම සමාජය තුළ ගැඹුරට ම කාන්දු වෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය පිළිබඳ කතිකාවට සම්බන්ධ වී සිටින අප බොහෝදෙනෙකු දන්නෙ ම නැතුව ස්ත්‍රීවාදයේ බලපෑමට නතු වෙනවා. විශේෂයෙන් ම පුරුෂ විරෝධය හා සියලු පිරිමින් වැරදිකරුවන් ලෙස සාමාන්‍යකරණය කිරීම සිදුවෙනවා. මෙය ඉතාම නරක අන්දමින් සිදු වූ ක්‍රියාමාලාවක් තමයි පොදු ප්‍රවාහනයේ කාන්තා හිංසනයට එරෙහි ක්‍රියාමාලාව. සමාජය සංවේදීකරණය කිරීමත් එක්ක ඇතැම් අධි සංවේදී කාන්තාවන් මානසික වියවුල්වලට පත්වන්නට පුළුවන්. එසේම, පසුගිය සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඇතැම් වීඩියෝවල අරමුණ ද ප්‍රශ්නකාරීයි. මෙම කරුණු පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් අවශ්‍යයි. එහෙත්, ව්‍යාපෘතිවාදී බොහෝ ක්‍රියාමාලා ජනප්‍රිය පුරුෂ විරෝධය තුළ සිරවෙන බවයි පෙනෙන්නේ.
දෙමළ ජනතාවගේ ජාතික ගැටලුව සිංහල ජනතාවගෙන් තොරව විසඳාගන්නට බැහැ. එහිදී දෙමළ ජාතිකවාදය සාධාරණ වන්නේ ජාතික ගැටලුව විග්‍රහ කිරීමේදී පමණයි. දෙමළ ජාතිකවාදීන් ප්‍රතිචාරාත්මක සිංහල විරෝධී ක්‍රියා සිදුකිරීම තේරුම් ගත හැකි තත්වයක් වුණත්, එමගින් සමස්ත ප්‍රශ්නයට විසඳුමක් සොයාගන්නට බැහැ. සමස්ත ප්‍රශ්නයට විසඳුම සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, වැදි ආදී සියලු ජනවර්ගයන්ට අදාළ පුළුල් සමාජ ප්‍රතිසංස්කරණයක්.
ස්ත්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය ඇති කරන්නට හැකි වන්නේ ද ස්ත්‍රී, පුරුෂ හා වෙනත් ලිංගික අනන්‍යතා ඇති සියලු ප්‍රජාවන් සම්බන්ධයෙන් පුළුල් සමාජ ප්‍රතිසංස්කරණයිනුයි. එයට පිරිමින්ගේ මැදිහත්වීම ඉතා වැදගත් වෙනවා. ආන්තික ස්ත්‍රීවාදය විසින් ප්‍රවර්ධනය කරන පුරුෂ විරෝධය බරපතල සමාජ ගැටලුවක් වන්නේ එමගින් පිරිමින් අන්තයට තල්ලු කර දමන නිසායි. එයින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය පිළිබඳ කතිකාව ආන්තික ස්ත්‍රීවාදයෙන් පරිස්සම් කරගැනීම ඉතා වැදගත්.


Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා