ආදරය වෙනුවෙන් කිරුළ අත්හළ අටවෙනි එඩ්වඩ් රජු

1936 දෙසැම්බර් මාසෙ 11දා තමයි එංගලන්තයේ අටවෙනි එඩ්වඩ් රජු සිය ආදරවන්තිය වෙනුවෙන් කිරුළ අත්හළේ.
Translations by Creative Content Consultants
ඒ වනවිටත් අවිවාහක මේ ආදරවන්තයාගේ වයස අවුරුදු 42ක්. පමා වී හෝ ඔහු පෙමින් බැඳුණු කාන්තාව තමයි 40 හැවිරිදි වොලිස් වෝෆීල්ඩ් සිම්සන්. ඇය ඇමරිකානු සම්භවයක් ඇති කාන්තාවක්. එඩ්වඩ්ට ඇය හමු වන විට ඇය ඉංග්‍රීසි ඇමරිකානු ව්‍යාපාරිකයකු වන අර්නස්ට් සිම්සන් සමග විවාපත්ව ලන්ඩනයේ ජීවත් වුණා. එය වොලිස්ගේ දෙවෙනි විවාහය. ඇය පළමු වරට විවාහ වූයේ එක්සත් ජනපද නාවික හමුදා නියමුවකු සමගයි.
රජ පවුල, ඒ වන විට බ්‍රිතාන්‍ය අගමැති ස්ටැන්ලි බෝල්ඩ්වින් ප්‍රමුඛ රජය, එංගලන්ත සභා පල්ලිය සහ පොදු ජනතාව මේ විවාහයට විරුද්ධ වුණා. ඔහුට සහාය දුන් මන්ත්‍රීන් කිහිපදෙනා අතරින් එක් කැපී පෙනුණු අයෙකු වූයේ ඒ වන විට කොන්සවෙටිව් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයකු වූ වින්ස්ටන් චර්චිල්.
අද වගේ දෙසැම්බර් 11දාවක සවස රේඩියෝවෙන් ජාතිය ඇමතූ එඩ්වඩ් රජු මෙසේ කීවා: “I have found it impossible to carry on the heavy burden of responsibility and to discharge the duties of king, as I would wish to do, without the help and support of the woman I love.”  (මා ආදරය කරන කාන්තාවගේ සහයෝගය නැතුව, මා කිරීමට අපේක්ෂා කරන ආකාරයට, රජකුගේ භාරදූර වගකීම් දැරීමට හා රාජකාරි ඉටුකිරීමට මට නොහැකි බව මා තේරුම්ගෙන තිබෙනවා.)
ඒ වන විට ඔහු අවුරුද්දක්වත් රජකම දරා තිබුණේ නැහැ. ඔහු රජකමට පත්වුණේ ඔහුගේ පියා වූ පස්වන ජෝර්ජ් රජුගේ මරණයෙන් පසුව 1936 අවුරුද්දේ ජනවාරියේයි. ඔහු ජෝර්ජ් රජුගේ වැඩිමහල් පුතායි. ඔහුගෙන් පසු ඔහුගේ සොයුරු යෝක්හි ආදිපාදවරයා හයවන ජෝර්ජ් ලෙස කිරුළු පැළැන්දා.
වොලිස් ඒ වන විටත් සිම්සන්ගෙන් දික්කසාද වී සිටියා. 1937 ජුනි මස ඔවුන් දෙදෙනා ප්‍රංශයේදී විවාපත් වුණා. ඔවුන් වැඩිපුර ජීවත් වුණේ ප්‍රංශයේයි. වින්ඩ්සර්හි ආදිපාදවරයා ලෙස හැඳින්වුණ එඩ්වඩ්ට 1967 වනතුරු ම රජ පවුලේ උත්සව සඳහා නිල ආරාධනා ලැබුණේ නැහැ.
1937 ඔක්තෝබරයේදී ඔහු ජර්මනියට ගොස් ඇඩොල්ෆ් හිට්ලර් ද හමුවුණා. දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමෙන් පසු ඔහු ප්‍රංශයේ සම්බන්ධතා නිලධාරිවරයකු හෙවත් ලියෙයිසන් ඔෆිසර්වරයකු ලෙස සේවය කළා. 1940දී ප්‍රංශය ජර්මනියට යටත් වීමෙන් පසු ඔහු ස්පාඤ්ඤයට ගියා.
මේ අතර ජර්මනිය ඔහු පැහැරගෙන ගොස් බ්‍රිතාන්‍යයේ රූකඩ රජු ලෙස කිරුළු පැළඳවීමට සැලසුම් කළා. මේ වන විට අගමැති වූ චර්චිල්, එඩ්වඩ්ගේ නාසි හිතවාදිත්වය ගැන යම් ඉවක් තිබුණු අගමැති චර්චිල් ඔහු බහමාස්හි ආණ්ඩුකාරවරයා ලෙස පිටත් කළ නිසා ජර්මානු කුමන්ත්‍රණයෙන් ඔහු බේරුණා.
1945දී ආණ්ඩුකාර තනතුරෙන් ඉවත් වූ එඩ්වඩ් සහ වොලිස් ප්‍රංශයේ ජීවත් වුණා. 1972දී එඩ්වඩ් මියගියා. වොලිස් මියගියේ 1986දීයි.
Adapted from praja.lk

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා