2019-12-02

මැතිවරණ හා ජනමාධ්‍

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 1 ලංකා පුවත්පතේ ද පළ වේ

එක්තරා වකවානුවකදී මැතිවරණ පැවැත්වෙද්දී අලියා බීම සමාගමේ දැන්වීම්වත් ප්‍රචාරය කළේ නැහැ. හේතුව තමයි අලියා ඡන්ද ලකුණක් වීම. සර්ව ජන ඡන්ද බලය හඳුන්වා දීමෙන් පසු මුල් කාලයේ තිබුණු අභියෝග වුණේ ඡන්ද ලබාගැනීම සඳහා අල්ලස් දීම වැනි ගැටලුයි. ඒ ගැටලු අදත් නැත්තේ නැහැ. ශ්‍රී ලංකාව කියන්නේ ඡන්ද ගන්නට සිල් රෙදි පවා අල්ලස් ලෙස දුන් රටක්.
Translations
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකදී ඕනෑම අපේක්ෂකයකුට මැතිවරණ තරග කර ඡන්දනේ තේරී පත්වීමේ සමාන අවස්ථා හිමි විය යුතුයි. තරග කරන මැතිවරණ කොට්ඨාසයේ ඡන්දදායකයන්ට අපේක්ෂකයා හඳුන්වාදීම සඳහා ප්‍රචාරණය අත්‍යවශ්‍යයි. අතීතයේදී නම් එය කළේ රැස්වීම්, පත්‍රිකා, දැන්වීම් ආදිය මගින්. ජනගහනය වැඩි වෙනකොට, ප්‍රචාරණය සඳහා වඩා දියුණු ක්‍රම භාවිතය ආරම්භ වුණා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සමානුපාතික නියෝජනය හඳුන්වාදීමෙන් පසු මැතිවරණ කොට්ඨාසය දිස්ත්‍රික්කය දක්වා පළල් වුණා. අපේක්ෂකයන්ට මනාප වෙනුවෙන් දිස්ත්‍රික්කය පුරාම ප්‍රචාරණයේ යෙදෙන්නට සිදු වුණා. එපමණක් නොවෙයි, ජාතික ලැයිස්තුව නිසා දේශපාලන පක්ෂවලට රට පුරාම අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නටත්, රට පුරාම ප්‍රචාරණයේ යෙදෙන්නටත් සිදු වුණා.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම හඳුන්වා දුන් ජනාධිපති ධුරය සඳහා ජාතික මට්ටමේ මැතිවරණයක් පැවැත්වෙනවා. එය තමයි, ශ්‍රී ලංකාවේ වියදම් අධික ම මැතිවරණය. එසේම, එය තමයි තරගකාරී ම මැතිවරණය. ඒ නිසා එහි ප්‍රචාරණය වෙනුවෙන් දැවැන්ත වියදමක් කරන්නට අපේක්ෂකයන් පෙළඹෙනවා. පසුගිය ජනාධිපතිවරණ මෙන් ම සෙසු මැතිවරණත් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ජයගත් අපේක්ෂකයන් ප්‍රචාරණය වෙනුවෙන් අති විශාල වියදමක් දරා ඇති බවයි.
ජනාධිපතිවරණයේදී ජනමාධ්‍ය භූමිකාව පිළිබඳ සුවිසල් කතිකාවක් ඇති වී තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර, මැතිවරණ කොමිෂම විසින් මැතිවරණ සමයේ භාවිතා කළ යුතු මාධ්‍ය උපමාන පද්ධතියක් ද හඳුන්වා දුන්නා. සාමාන්‍යයෙන් කවුරුත් හිතන්නේ මෙම මාධ්‍ය උපමාන ඉතා හොඳ බවයි. මාධ්‍ය ආයතන සියයට සියයක් ම එම උපමාන අනුව කටයුතු නොකළත්, යම් දුරකට හෝ ඒ සමග අනුගත වීම නිසා යහපත් තත්වයක් ඇති විය හැකි බව බොහෝ දෙනෙකු සිතනවා. එහෙත්, මාධ්‍ය මෙම උපමාන අනුව කටයුතු නොකරන බවත් කවුරුත් දන්නවා. ඇත්තෙන් ම එසේ කටයුතු කළ හැකි ද යන්නත් ප්‍රශ්නයක්. උදාහරණයක් ලෙස, මැතිවරණ සම්බන්ධ මාධ්‍ය උපමාන 30 අතරින් ප්‍රධාන ම කීපයක් අපි සලකා බලමු.
සෑම මාධ්‍ය ආයතනයක්ම සිය ප්‍රවෘත්ති සහ දේශපාලන කටයුතු සම්බන්ධ වැඩසටහන්වල නිවැරදි, සමතුලිත සහ අපක්ෂපාති තොරතුරු ලබා දිය යුතුය.
යම් අපේක්ෂකයෙකුට විශේෂ වාසියක් ලැබෙන පරිදි මාධ්‍ය ආයතනයක ඉඩ ලබා නොදිය යුතුය.
රූපවාහිනි, ගුවන්විදුලි වැඩසටහන්වල එක් පාර්ශ්වයක් ප්‍රවර්ධනය කරන හෝ තවත් පාර්ශ්වයකට අගතියක් ගෙන දෙන හෝ පෞද්ගලික අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුය.
මේ අනුව කටයුතු කළ කිසිදු මාධ්‍ය ආයතනයක් තිබුණි ද යන්න විමසා බැලීම වටී. ඇත්තෙන් ම මාධ්‍යවලට මේ කියන තරම් මධ්‍යස්ථ විය හැකි ද? එසේ වීම අවශ්‍ය ද?
Translations by Creative Content Consultants
මැතිවරණවලදී ජනමාධ්‍ය ආයතනවලට පමණක් නොව, ජනමාධ්‍යකරුවන්ට ද පක්ෂපාතිත්වයන් තිබේ. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට ද පක්ෂපාතිත්වයන් තිබෙන්නට ඇත. එහෙත්, ඔහු එය කිසි සේත් ම ප්‍රදර්ශනය කළේ නැත. ඉතා පළපුරුදු මැතිවරණ නිලධාරියකු වූ ඔහු ක්‍රියා කරන පරිද්දෙන් ම මාධ්‍යකරුවන්ට ද ක්‍රියා කළ හැකි ද? එසේම, එසේ කිරීමට අවශ්‍ය ද?
සම්භාව්‍ය පුවත්පත් කලා මූලධර්ම අනුව, වාර්තාකරුවකුට වාර්තාව තුළට තම මතය ඇතුළත් කළ නොහැකි ය. එහෙත්, වාර්තාකරුවාට ඕනෑ නම් ඇතැම් පුවත් වාර්තා නොකර සිටීමෙන් ඒවා ප්‍රවෘත්ති බවට පත්වීම වැළැක්විය හැකි ය. ප්‍රවෘත්තිය පිළිබඳ තම මතය වෙනත් අයෙකු ලවා කියවා ගත හැකි ය. පුවත්පත් කලා ඉතිහාසය පුරා ම මාධ්‍ය කළමනාකරුවන්, සංස්කාරකවරුන් හා වාර්තාකරුවන් ප්‍රවෘත්ති වාර්තාකරණය අපකිෂපාතීව කර නැත.
වර්තමානයේ ජනමාධ්‍ය යනු අධි වේගයෙන් පරිවර්තනය වෙමින් තිබෙන අවකාශයකි. සම්ප්‍රදායික මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය, අන්තර්ජාලයේ හා නව මාධ්‍ය ලෙස හඳුන්වන පුරවැසි මාධ්‍ය, සමාජ මාධ්‍ය ආදියේ සම්ප්‍රාප්තියත් සමග වේගවත් පරිවර්තනයකට ලක්වෙමින් තිබේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තවමත් වැඩිම ග්‍රාහක පිරිසක් වෙත ළඟාවන මාධ්‍ය වේ. එහෙත්, අද වන විට නව ප්‍රවණතා නිර්මාණය වීම බොහෝ දුරට සිදුවන්නේ සමාජ මාධ්‍ය තුළ ය. සමාජ මාධ්‍ය නව ප්‍රවණතා පසුව ප්‍රධාන ධාරාවේ හැඩතල වෙනස් කරනු දැකිය හැකි ය. දැන් ගීතයක් ජනප්‍රිය වන්නේ පළමුව යූටියුබ් ඔස්සේ විය හැකි ය. එය රූපවාහිනියෙන් විකාශය වන්නේ පසුව වීම සාමාන්‍ය තත්වයකි.
දැන් දැන් විශේෂයෙන් ම රූපවාහිනී ප්‍රවෘත්තිවල සිදු වන පරිවර්තනය මෙහිදී ඉතා විශේෂ ය. රූපවාහිනී ප්‍රවෘත්ති හා බ්ලොග්, වීලොග් අතර වෙනස අවම වෙමින් තිබේ. ප්‍රවෘත්තිය තුළට මතවාද එබීම හෝ මතවාදය අනුව ප්‍රවෘත්තිය විග්‍රහ කිරීම හෝ සාමාන්‍ය තත්වයට පත් වී තිබේ. මෙය ඇත්තෙන් ම අලුත් තත්වයක් ද නොවේ. අතීතයේදී පවා කම්කරු වර්ජනයක් පිළිබඳ පුවතක් ව්‍යාපාරික පුවත්පතක් හා වාමාංශික පුවත්පතක් වාර්තා කළේ එකම ආකාරයෙන් නොවේ.
සමාජයේ ධනවත් හා බලවත් පුද්ගලයන්ට හා කණ්ඩායම්වලට ජනමාධ්‍යවල ලැබෙන අවස්ථා කිසි විටෙක දිළිඳු හා බලසතු නොවූ ප්‍රජාවන්ට ලැබෙන්නේ නැත. පසුගිය ජනාධිපතිවරණයේදී ද තත්වය එය ම විය. ප්‍රචාරණය සඳහා වියදම් කිරීමට අධික ධනයක් නොතිබූ පක්ෂවල ජනාධිපති ධුරය සඳහා වඩා යෝග්‍ය අපේක්ෂකයන් සිටිය ද ඔවුන්ට ජනමාධ්‍යවල අවස්ථා ලැබුණේ නැත. දීර්ඝ කාලීනව අවස්ථා නොලද අය වන ඇතැම් අපේක්ෂකයන්ට ඡන්ද ලැබුණේ ද නැත.
ඉහත දක්වන ලද ‘යම් අපේක්ෂකයෙකුට විශේෂ වාසියක් ලැබෙන පරිදි මාධ්‍ය ආයතනයක ඉඩ ලබා නොදිය යුතුය’ යන උපමානය මොන පල් බොරුවක් ද? ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන්ට වැඩි ඉඩක් සියලු මාධ්‍ය විසින් ලබා දෙන ලදී. එය වැරදි ද? වෙනත් පක්ෂ වෙනුවෙන් වරප්‍රසාද ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද රූකඩ අපේක්ෂකයන්ට පවා සම අවස්ථා දිය යුතු ද?
අපගේ තර්කය වන්නේ මාධ්‍ය සාධාරණ අන්දමින් කටයුතු කළ යුතු බවට ඉදිරිපත් කරන උපමාන වනාහි බේගලයකට උපමා අලංකාර එකතු කිරීමට වැඩි දෙයක් නොවේ. මෙම සංදර්භය තුළ ධනය හා බලය හිමි අය පමණක් මාධ්‍ය ප්‍රචාරණය සරුවට කරති. එමගින් ජන මනස හසුරුවති. එහි ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ඇතැම් මාධ්‍ය ආයතන ඇතැම් අපේක්ෂකයන්ට පක්ෂපාතී ලෙස ප්‍රචාරණයේ යෙදුණේ ය යන්න තේරුමක් නැති කතාවකි. සක්‍රිය ෆේස්බුක් හෝ ට්විටර් ගිනුමක් දක්වා ම කිසිදු මාධ්‍යයක් මධ්‍යස්ථ වූයේ නැත. මැතිවරණ මාධ්‍ය උපමාන අනුව කටයුතු කළේ ද නැත. කාටත් පක්ෂපාතිත්වයන් තිබිණි. මාධ්‍ය ආයතනයකට දෙකකට පමණක් පක්ෂපාතිත්වය ගැන දෝෂාරෝපණ එල්ල වන්නේ අන් කිසිවක් නිසා නොව, එම මාධ්‍ය ආයතනවලට වැඩි ග්‍රාහක පිරිසකට බලපෑම් කිරීමට තිබෙන හැකියාව නිසා ය.
මැතිවරණ, ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනය, ජනමාධ්‍ය හා ජනමතය හැසිරවීම යන කරුණු සම්බන්ධයෙන් අප පිවිස තිබෙන්නේ ඉතා සංකීර්ණ තත්වයකට ය. පැරණි සංකල්ප මත පදනම්ව අලුත් තත්වය විග්‍රහ කරගත නොහැකි ය. එසේ විග්‍රහ කරගන්නේ නැතිව, අභියෝගයට මුහුණ දිය හැකි ප්‍රගතිශීලී විකල්ප නිර්මාණය කරගැනීම ද කළ නොහැකි ය.