2019-09-07

ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ සොයන ජාත්‍යන්තර අවධානය යොමු වුණ ලාංකික යුවල

මෙම ඡායාරූපයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ පවුල මේ වන විට ඔස්ට්‍රේලියාවේත්, ජාත්‍යන්තර මාධ්‍යවලත් අවධානය දිනාගෙන තිබෙනවා. ඔවුන් දේශපාලන රැකවරණ පතා ඔස්ට්‍රේලියාවට පළා ගිය පවුලක්.
Sinhala Tamil English Translations and Content Writing
පස්අවුරුද්දකට පෙර ඔස්ට්‍රේලියාවට පළා ආ කෝකිලපත්මප්‍රියා සහ නඩේසලිංගම් ලෙස හැඳින්වෙන මෙම යුවලට ඔස්ට්‍රේලියාවේදී උපන් දෙහැවිරිදි සහ සිව්හැවිරිදි දියණියන් දෙදෙනෙකු ද සිටිනවා. ඔවුන්ගේ දේශපාලන රැකවරණ අයදුම්පත දැන් සෑම මට්ටමකදී ම ප්‍රතික්ෂේප වී හමාරයි. දැන් ඔවුන්ට ඉතිරි වී තිබෙන එකම අපේක්ෂාව ඇමති මට්ටමේ මැදිහත් වීමක් පමණයි.
ඔවුන් කලින් ජීවත් වුණේ වයඹදිග ඕස්ට්‍රේලියාවේ Biloela නම් දුරබැහැර නගරයකයි. එම නගරයේ සමාජ ක්‍රියාකාරිකයන් මෙම ලාංකික දෙමළ පවුල පිටුවහල් කිරීමට එරෙහිව වසරක් පමණ කාලයක් තිස්සේ අරගළ කරනවා.
ඒ අතර පසුගියදා ඕස්ට්‍රේලියානු රජය ඔවුන් ඉක්මණින් ම ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නට උත්සාහ කළා. ඒත්, අධිකරණය නියෝගයක් මත එම ගමන ඕස්ට්‍රේලියාව තුළ ම අතරමග නතර කරනු ලැබුවා. ඉන්පසු රජය ඔවුන් එවැනි සරණාගත අපේක්ෂකයන් රඳවා තිබෙන ක්‍රිස්මස් දූපත වෙත පිටුවහල් කරනු ලැබුවා. දැන් ඔවුන් එහි රඳවා තිබෙනවා. Biloela නගර වැසියන් එයට විරෝධය පළ කරනවා. ඔවුන් ඒ වෙනුවෙන් #HomeToBilo නමින් ව්‍යාපාරයක් දියත් කරනවා. එය ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ලෝකයේ ම සංක්‍රමණ අයිතිවාසිකම් පිළිබඳ සංකේතාත්මක අරගළයක් බවට පත් වී තිබෙනවා.
මිනිසුන්ට ජාතික සීමාවන්ගෙන් තොරව තමන් කැමති තැනක ජීවත් වීම සඳහා සංක්‍රමණය වීමේ අයිතිය ලැබෙන ලෝකයක් වඩා හොඳ වෙන්නට පුළුවන්. ඒත්, අප තවම ජීවත් වන්නේ භූගෝලීය හා ජාතීන් වශයෙන් බෙදුණු, ආර්ථික, සමාජමය ආදී වශයෙන් දැඩි විෂමතා සහිත ලෝකයකයි. සංක්‍රමණයේ නිදහස සීමා වෙන්නේ එම සංදර්භය තුළයි. ඒ විෂමතා නොතිබුණා නම් ඇතැම් විට ලංකාව බොහෝ අය සංක්‍රමණය වීම සඳහා ඉල්ලන රටක් වෙන්නට පුළුවන්.
මෙම සිද්ධිය ලංකාවේ අපට වැදගත් ඇයි? මේ යුවල ඕස්ට්‍රේලියාවට පළා යන්නේ මීට වසර පහකට කලින් ඒ කියන්නේ යුද්ධය නිමා වෙලාත් අවුරුදු පහකට පසුව. කුසලතා හා මුදල් ඇති අයට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම එතරම් අමාරු නැහැ. එහෙත්, මෙම යුවල අයත් වන බව පෙනෙන්නේ ඒ කිසිවක් නොමැතිව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී දේශපාලන රැකවරණ ඔස්සේ එහි අලුත් ජීවිතයක් සොයන ලාංකික පීඩිත පන්තියටයි.
මෙසේ පළා යන පිරිස් ලංකාවේ බලාපොරොත්තු සුන් වූ පිරිස් ලෙස හඳුන්වන්නට බැහැ. නීති විරෝධී සංක්‍රමණ වෙනුවෙන් ඔවුන් විශාල මුදලක් වැය කළ යුතු වීමයි. ඇතැම් විට ඔවුන් සිය ගමන සාර්ථක කරගන්නේ වරක් දෙකක් පොලිසියට අසු වී ආපසු පැමිණීමෙනුත් පසුවයි. සාමාන්‍යයෙන් රුපියල් මිලියනයක් පමණ මේ වෙනුවෙන් යුවලකට වැය කරන්නට වෙනවා. රුපියල් මිලියනයක් ඉතිරි කරගැනීම ලංකාවේ සාමාන්‍ය පවුලකට ලේසි වැඩක් නෙමෙයි. සමහර විට මේ මුදල් උපයාගන්නේ ණයට. නැතිනම් තමන් සතු වත්කම් විකුණා හෝ උගස් තබලායි.
ලංකාව එතරම් ම බලාපොරොත්තු සුන් වුණ දේශයක් ද? ලංකාවේ මිනිසුන්ට කරකියා ගන්නට දෙයක් ඇත්තේ ම නැති තරමට රට හා ආර්ථිකය පිරිහිලා ද? එහෙමත් නැතිනම්, අපේ අපේක්ෂා රටේ තත්වයට වඩා සුවිසල් ද?
ලංකාවේ මිනිසුන්ට මීට වඩා තත්වයක් වෙනුවෙන් සිහින දකින්නට අයිතියක් තිබෙනවා. හැබැයි, ඒ වෙනුවෙන් නායකයන් වගේ ම තමනුත් වැඩ කළ යුතු බව ජාතියක් ලෙස අප අවබෝධ කරගත යුතුයි.