2019-09-17

රාජ්‍ය සේවයේ හා දේශපාලනයේ යථාර්ථය හෙළිකරන කෘෂිකර්ම බිල්ඩිම

අජිත් පැරකුම් ජයසිංහ

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් සමාගමෙන් කුලියට ගොඩනැගිල්ලක් ලබාගැනීම වත්මන් රජය සමයේ විශේෂ අවධානයට ලක් වූ මහජන මුදල් නාස්තියකි. ඒ සම්බන්ධ වගකීම දේශපාලකයන් හා නිලධාරීන් එකිනෙකා අතින් අත පාස් කරමින් සිටින බව පෙනේ. එවකට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වගකීම අගමැති රනිල් වික්‍රමසිංහට පැවරූ අතර, අගමැතිවරයා සාක්ෂි දෙමින් එහි වගකීම කෘෂිකර්ම ඇමති හා ජනාධිපතිවරයා වෙත පවරන ලදී.
Translations by Creative Content Consultants
සත්‍ය තත්වය වන්නේ මෙහි වගකීම කිසිදු දේශපාලකයකු හෝ රාජ්‍ය නිලධාරියකු විසින් නොගැනීමයි. සෑම අයෙකු ම පවසන්නේ ගනුදෙනුවට අදාළව තමන්ගේ වගකීම නීත්‍යානුකූලව ඉටු කර තිබෙන බවයි. මෙම විමර්ශනයෙන් පැහැදිලි වන ප්‍රධාන කාරණය වන්නේ මහජන මුදල් සම්බන්ධයෙන් මේ කිසිවකු වගවීමට සූදානම් නැති බවයි.
මේ දක්වා රජය මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් රු. බිලියන 2.1ක් හෙවත් රු. කෝටි 210ක් වැය කර ඇති බව හෙළි විය.
මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ විචක්ෂණභාවය පිළිබඳ විගණකාධිවරයා විසින් කර තිබෙන ප්‍රශ්න කිරීම් සැලකිල්ලට ගෙන නැති බව ද, කුලියට ගත් ගොඩනැගිල්ලේ ඉන්වෙන්ට්‍රියේ සඳහන් බඩු තිබේ ද යන්න පරීක්ෂා කර තිබෙන්නේ කුලියට ගෙන මාස ගණනකට පසුව බව ද, විදුලි සෝපාන දෙකෙන් එකක් අබලන් ව තිබූ බව ද, අකුණු සන්නායකය ද ක්‍රියාත්මක නොවන බවට සැකයක් තිබූ බව ද, ගිනි නිවන පද්ධතියේ ද ගැටලු තිබුණු බව ද ඒ දිනවල වාර්තා විය. ගොඩනැගිල්ල කුලියට දෙන විට එය කෘෂිකර්ම අමාත්‍යාංශයට අවශ්‍ය ප්‍රමිතියෙන් තිබී නැත. මාස ගණනක් තිස්සේ එය කුලී ගෙවමින් ම නැවත සැකසීමට සිදු විය. අලුතෙන් ම හෙළි වන කරුණු අනුව, මෙම ගොඩනැගිල්ල අයත් ඉඩම සම්බන්ධයෙන් නඩුවක් ද තිබේ. එසේම ගොඩනැගිල්ල අනවසර එකකි. නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර ලැබුණු මහල් ගණන වන හත වෙනුවට එහි මහල් 10ක් ගොඩනගා තිබේ. මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමෙන් පසු එය පාවිච්චියට සුදුසු තත්වයට පත්කරන්නට තවත් රු. මිලියන 402.5ක් වැය කර තිබේ.
මෙම ගොඩනැගිල්ල ම කුලියට ගන්නැයි දේශපාලකයකු හෝ නිලධාරියකු බලපෑම් කළ බවක් හෝ එය පසුපස කොමිස් ජාවාරමක් තිබුණු බව තවම හෙළිදරව් වී නැත. එය එසේ නම්, මෙමගින් හෙළිදරව් වන කාරණය වන්නේ රාජ්‍ය අංශය කෙතරම් අකාර්යක්ෂම ද යන්නයි. වගකිවයුතු නිලධාරීන් කිසිවෙකු මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වගකියයි ද? එසේම, ඇමතිගේ සිට අගමැති හරහා ජනාධිපති දක්වා කර තිබෙන අධීක්ෂණය, ප්‍රතිපත්ති සම්පාදනය, සපයා තිබෙන නායකත්වය කුමක් ද? දේශපාලකයන් පමණක් නොව, මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරි තන්ත්‍රය ද නම් කර ලජ්ජාවට පත් කළ යුතු ය.
මෙම ගොඩනැගිල්ලෙන් හා එහි පවත්වාගෙන යන කාර්යාලවලින් ද, කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් වෙනත් ආයතනවලින් ද, පළාත් සභා නවයෙහි කෘෂිකර්ම  අමාත්‍යාංශවලින් ද, එම කෘෂිකර්ම අමාත්‍යාංශවලට අයත් ආයතනවලින් ද මේ රටේ කෘෂිකර්මාන්තයට ඇති බලපෑම කුමක් ද? කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කලක් කරමින් සිටි ප්‍රධාන කාර්යය වූයේ වී ගොවීන්ට පොහොර සහනාධාරය දීමයි. රජය පොහොර වෙනුවට ඍජුව ම මුදල් ගොවීන්ට ලබා දීම නිසා කෘෂිකර්ම අමාත්‍යාංශයට තිබෙන වැඩ තවත් අඩු විය.
කෘෂිකර්ම අමාත්‍යාංශ, කෘෂිකර්ම දෙපාර්තමේන්තු, ගොවිජනසේවා දෙපාර්තමේන්තුව, ගොවිජනසේවා මධ්‍යස්ථාන, ව්‍යාප්ති සේවා ආදිය විසින් කාර්යක්ෂම සේවාවක් ඉටු කරයි ද? කුඹුරු ඉඩම් ගොඩකිරීම යම් දුරකට පාලනය කරන බව පෙනෙනමුත්, නාස්ති වන ඉඩම්වලින් ප්‍රයෝජනයක් ගැනේ ද? ගොවි සංවිධාන පද්ධතිය නගාසිටුවීමට හෝ සුළු වාරිමාර්ග නඩත්තු කිරීමට හෝ ප්‍රමාණවත් කාර්යභාරයක් මෙම දැවැන්ත ව්‍යූහයෙන් ඉටුවේ ද? 
විවිධ බෝග පිළිබඳ පර්යේෂණායතන ආදිය ද තිබේ. එහෙත්, ඒවායින් සේවාවන් ලබා ගැනීම සඳහා නිලධාරීන් පසුපස යමින් සෑහෙන රස්තියාදුවක් විය යුතු ය. මෙම බොහෝ ස්ථානවල රැකියා කරන ඇතැම් රජයේ සේවකයන් ඒ ස්ථානවලට සේවාදායකයන් පැමිණීම දිරිගැන්වෙන පරිදි කටයුතු කරන්නේ නැත. සාමාන්‍යයෙන් ගත් කල, මේ සේවා ස්ථාන සේවා දායකයන් සොයා යාමක් ඇත්තේ ම නැත. ඒවායේ ඇත්තේ ඉතා නිද්‍රාශීලී, අලස වාතාවරණයකි. සමස්තයක් ලෙස ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රජයේ සේවකයන් අතරින් කම්කරුවාගේ සිට ඇමති දක්වා ම අති බහුතරය තමන් ලබා ගන්නා වැටුප් හා වරප්‍රසාදවලට සරිලන මෙහෙයක් කරන්නේ නැත. මේ ආයතනවල ඉහළ නිලධාරීන් විසින් කරනු ලබන ප්‍රධාන කාර්යයන් වන්නේ විවිධ පුහුණුවීම්, සම්මන්ත්‍රණ ආදිය සඳහා විදේශගත වීම හා දේශපාලකයන් වෙනුවෙන් උත්සව සංවිධානය කිරීමයි.
කෘෂිකර්මය සම්බන්ධයෙන් පවතිනවා ය කියන මෙම රාජ්‍ය ආයතන සපයන සේවාවන් වැඩිපුර ම ලැබෙන්නේත් මහජන මුදලින් යැපීම පිණිස ම වී ගොවිතැනේ එල්ලී සිටින ග්‍රාමීය දිළින්දන්ටයි. මේ ග්‍රාමීය දිළින්දන් අඩු තරමේ දිළිඳුකමෙන් එගොඩවීමවත් සිදු වන්නේ නැත. මේ අතරවාරයේ රජයේ උපකාර බලාපොරොත්තු නොවී වෙළඳපොළ මත පදනම්ව කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට මේ අමාත්‍යාංශයේ තියෙන අදාළකම මොකක් ද? පසුගිය දිනවල වට්ටක්කා ගොවීන් අමාරුවේ වැටුණු විට ඔවුන්ට අතදෙන්නට කාගිල්ස් සමාගම කළ දේවත් කරන්නට රජයට පුළුවන් වුණා ද? ගොවීන් එවැනි අමාරුවේ වැටීම්වලට ලක් වන්නෙ වෙළඳපොළ ප්‍රවණතා නිරීක්ෂණය කරමින් ඔවුන් නියාමනය කරන්නට කිසිවෙකු නැති නිසා. කෘෂිකර්ම අමාත්‍යාංශය කරනවා නම් කළ යුතු ඒ වැඩ ය. ඊටත් වඩා ක්ෂේත්‍රයට මැදිහත් වෙන්නට අවශ්‍ය නම් ඕනෑ නම් ශීතාගාර වැනි පහසුකම් පිහිටුවන්නට කටයුතු කරන්නට පුළුවන්. මා හිතන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශෙ බිල්ඩිමට ගෙවන කුලිය නතර වෙනවා නම් මාස දෙක තුනකට සැරයක් හෝ එවැනි ශීතාගාරයක් කොහේ හරි විවෘත කරන්නට පුළුවන.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැදගත් ම සේවය අමාත්‍යාංශය පවත්වාගෙන යාමයි. එහි සේවකයන්ට වැටුප් ගෙවීමයි. නිලධාරීන්ට හා දේශපාලකයන්ට වැටුප්වලට අමතරව තවත් වරප්‍ර‍සාද දීමයි. සෙසු සියලු රාජ්‍ය ආයතනවලින් මෙන් ම මෙම අමාත්‍යාංශයෙන් ද සේවය සලසන්නේ වෙන කිසිවක් සඳහා නොවෙයි. අමාත්‍යාංශය පවත්වාගෙන යාම සාධාරණීකරණය කිරීම පිණිසයි. ඒ නිසා මේ සේවාවන්වල කිසිම වැදගත්කමක් නැත.
ගොවිජන සේවා කාර්යාලයක්