2019-06-01

අතු අග නටන වෙසක් කැකුළු වඳ වී යයි ද?

අජිත් පැරකුම් ජයසිංහ

වෙසක් මාසය ගෙවී යන්නත් ආසන්නයි. මේ ඡයාරූපය මා ගත්තෙ මගේ ගෙවත්තෙ. අපේ ගෙවතුවල අප කුඩා කාලයේ සිට ම වෙසක් මල් (Dendrobium maccarthiae) තිබුණා. කිසියම් ගසක කඳ මත පොල්ලෙලි තබා පැළ කරන මේ ඕකීඩ් වර්ගය කලක් යන විට ස්වාධීනව පඳුරක් සේ ගසට සවි වී වැවෙනවා.
වෙසක් මාසයට මල් වරදින්නේ නැති තරම්. වෙනත් කාලවලත් වෙසක් මල් පිපෙනවා. එය ඉතා සුන්දර මලක්. එය තෙත් කලාපයේ බස්නාහිර, දකුණ හා සබරගමුව පළාත්වල සුලබව හමුවෙනවා. ඇත්තෙන් ම සබරගමු පළාත් පුෂ්පය ලෙස නම් කර තිබෙන්නේත් වෙසක් මලයි.
වෙසක් මල පිළිබඳව පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මෙසේ හඳුන්වා දෙනවා. “ මෙය
අපිශාකයකි. විශාල ගස්වල අතුවලින් එල්ලී වැවෙන තුනී කඳන්වල කුඩා පත්‍ර හට ගනී.පත්‍ර හැලී ගිය පසු මේ කඳන් ව්‍යාජ බල්බ (pseudobulbs) ලෙසින් කටයුතු කරමින් පඳුරු ලෙස වර්ධනය වේ. මල් හට ගන්නේ මේ පරිණත කඳන් වලිනි. විශාල​,රෝස පැහැති මේ මල්වල පෙති හයක් තිබෙන අතර පහලින් පිහිටි පෙත්ත විශාල වී පැතලි නෞතලයක් වී තිබේ. මේ නෞතලයේ පැතලි හැඩය මේ ශාකය නිවැරදිව හඳුනා ගැනීමට තිබෙන ඉතාමත් හොඳ ලක්ෂණයයි.”
මෙවැනි ඕකීඩ් වර්ග කීපයක් ම අපේ ගෙවතුවලත් වනගහණයන්ගේත් ස්වාභාවිකව ම වැවුණා. උඩවැඩියා (Arundina graminifolia) කියා අප හඳුන්වන ඕකීඩ් ගස වැවුණේ බෑවුම්වල මිනිසකුගේ උසට වඩා වැවෙන මේ පැළයේ අග ලස්සන මල් පිපුණා. එයත් වර්ණයෙන් හා හැඩයෙන් බොහෝ දුරට වෙසක් මලට සමානයි.
වන ඕකීඩ් විශේෂයක් පරවි ඕකීඩ් මල සුදු පාටයි. කුඩායි. වර්ණය සුදුයි. හැඩය පරවියකු වගේ නිසායි එයට ඒ නම වැටුණේ.
ගෝනුසු මල නම් ඕකීඩ් විශේෂයත් ගස් කඳන් අල්ලාගෙන ඉහළ යන විචිත්‍ර‍ ඕකීඩ් වර්ගයක්.
කැන්ඩියන් ඩාන්සර් නමින් හැඳින්වෙන ඕකීඩ් ශාඛයත් තෙත් කලාපයේ ගෙවතුවල ආයාසයකින් තොරව වැවී මල් හටගන්නවා.
ලංකාවේ ආවේණික ඕකීඩ් වර්ග රැසක් තිබෙනවා. පරිසර සංරක්ෂණ ජාත්‍යන්තර සංගමයේ (IUCN ) 2007දී පළ කළ ශ්‍රී ලංකාවට අදාළ ශාඛ හා සත්ව රතු ලැයිස්තුව අනුව දැනටමත් 
ඕකීඩ් වර්ග හතරක් වඳ වී ගිහින්. තව 22ක් දැඩි තර්ජනයට ලක් වී තිබෙනවා. 47ක් තර්ජනයට ලක් වී තිබෙනවා.
ඕකීඩ් මල් වර්ග කීපයක් ම මුද්දර චිත්‍ර‍ ලෙස ද තෝරාගෙන තිබෙනවා.
කොහොම වුණත්, මේ ලිපිය ලියන මා ඕකීඩ් හෝ මල් හෝ ශාක හෝ විශේෂඥයකු නෙමෙයි. රසවතකු පමණයි. එහිදී මට වැදගත් කාරණයක් පසුගිය දිනෙක පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන සටහන් කර තිබුණා. ඒ වෙසක් මල් මුහුණ දී තිබෙන අවදානමක් පිළිබඳවයි. ඔහු මෙසේ පවසයි:
“වෙසක් මල් වඳවීමට ප්‍රධානම හේතුව නම් එහි ස්වභාවික ව්‍යාප්ත ප්‍රදේශවල සිදුවූ මෙන්ම තවමත් සිදු වන වනාන්තර විනාශයයි. තවද​, අතීතයේදී මේ ශාක පඳුරු ගලවා පාරවල් අසල විකිණීම සිදුවිය. ඇතැමුන් වනාන්තරවල තිබෙන මේ ශාක ගෙවතුවල සාර්ථකව වගා කළ ද එසේ ගෙන එන බොහෝ ශාක විනාශ වේ.
“1937දී වනසත්ව හා වෘක්ශලතා ආරක්ශා කිරීමේ ආඥා පනතින් මුල් වරට ආරක්ෂාව ලද ශාකයන් අතුරින් එකක් වන වෙසක් මල තවමත් නිසි ලෙස ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් නොමැත​. එවන් වැඩපිළිවෙලක කඩිනම් අවශ්‍යතාව පෙන්වා දීම වසර ගණනාවක් පුරා සිදුකර තිබුණත් තවමත් ඒ ගැන නිසි අවධානයක් යොමු වී නැත​.
“2012 ජාතික​ රතු දත්ත ලේඛනයට අනුව වඳවී යාමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ කොටසට (Endangered)(EN) මේ ශාකය ඇතුලත්ව තිබේ. මේ වෙසක් සමයේදී වෙසක් මල ගැන සඳහනක් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මේ ශාකය සහ එය ගැන විමිසිලිමත්වන ලෙස මෙන්ම එය රැක ගැනීමේ කාර්යාවලියක් ආරම්භ කිරීමේ කඩිනම් අවශ්‍යතාව අවධාරනය පිණිසත්‍ වේ.”